පියා මරා පුතා හැදූ කෝවිලක්!



2018-07-11-ent-182

අපි තවම සීතාවක. මතකනේ ඔයාට සීතාවක මිරකල් ලස්සන නවාතැනකින් පටන් ගත්තු ගමන තමයි අපි තවමත් යන්නේ. සීතාවක අතීත රාජ යුගයක ශේෂයන්, සාක්ෂීන් අතර සැරිසරමින් ඔන්න අපි ගියා සීතාවක බැරුන්ඩි කෝවිලට. එදා දෙවියන් වැඩ උන් පුද බිම කවර ලෙසකින් තේජාන්විතව වැජඹෙන්නට ඇද්දැයි අදටත් එහි ශේෂිත බරුති ගල් කණු සාක්ෂි දරන විත්තියක් තමයි කෝවිල් බිමට ගොඩවෙද්දිම හිතට දැනිච්ච සිතුවිල්ල.2018-07-11-ent-179

අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව මේ රාජධානි හැම එකකටම යාවෙච්ච මහා ඉතිහාසයක් වෙනුවෙන් ඉතිහාස ග්‍රන්ථ මෙන්ම නටබුන්, සෙල්ලිපි සියල්ල වග වෙනවා.... එදා ඒ රජ දරුවන් සිහසුනෙන් බැස ගියේ අනාගතය උදෙසා එදා ශ්‍රී විභූතිය ගැන කියන්නට පවුරු පදනම් රාජධානි මත ගොඩනැගූ ඉනික්බිතියි. ඒත් සීතාවක රාජධානිය සතුව ශේෂිත පුරාවස්තු එහෙමට කියලා ඉතුරු වෙලා නෑ. ඉතිහාසය සාක්ෂි දෙන විදිහට සීතාවක රාජධානිය නිරන්තර යුද ගැටුම්වලට ලක්වීම තමා ඊට හේතුව විදිහට ඉතිහාසඥයන් ගෙනහැර දක්වන්නේ.

බැරුන්ඩි කෝවිල කියන්නේ ඒ අතීත යුගයේදී හින්දු බැතිමතුන් වෙනුවෙන් ඉදි කළ කෝවිලක්. සීතාවක රාජධානිය ආරම්භක යුගයේදීම තමයි බැරුන්ඩි කෝවිල ඉදි වී තියෙන්නේ. ඒත් එහි ආරම්භය ගැන නිශ්චිත දින වකවානු නම් ඉතිහාසය කොතැනක පිරික්සුවත් හොයන්න බෑ. මොකද ඉතිහාසඥයන් වුණත් ඒ ගැන දරන මත විවිධාකාරයි. එහෙත් සාමාන්‍ය පිළිගැනීම තමා සීතාවක රාජසිංහ රාජ යුගයේදී බැරුන්ඩි කෝවිල ආරම්භ කළා කියන එක. තවත් මතයක් තියෙනවා සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගේ තාත්තාගේ කාලයේදී මේ කෝවිල ආරම්භ කළා කියලා.

එහෙත් පසුව පෘතුගීසින් පැමිණ විනාශ කළ පසු යළි එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ගොඩනැගුවා කියලත් කියනවා. නමුත් වැඩිපුරම පිළිගන්නේ මෙය සීතාවක රාජසිංහ රජු සකස් කළ කෝවිලක් බවයි. ඊට සහේතුක හේතුත් තියෙනවා. සීතාවක රාජසිංහ රජු හින්දු දහම වැළඳගැනීම තමා ඒ මතය පිළිගන්න ප්‍රධාන හේතුව. සීතාවක මායාදුන්න රජු හින්දු ආගමට විතරක් සැලකිල්ලක් දක්වලා නෑ. ඒත් ඔහු රාජ්‍ය සේවයට යොදාගත් දෙමළ ජනයා වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්න ශිව කෝවිලක් ඉදිකර දුන්නාය කියලත් මතයක් තියෙනවා. ඉතිහාසය කියන විදිහට සීතාවක රාජසිංහ රජු බවට පත්වෙන්නේ තමන්ගේ පියතුමා ඝාතනය කරලා.

පීතෘ ඝාතනයෙන් පසු ඔහු බෞද්ධාගමෙන් දුරස් වී හින්දු ආගම වැළඳගන්නවා. අරිට්ඨකී පෙරුමාල් කියන හින්දු පූජකයා තමයි හින්දු ආගම වැළඳගන්නට සීතාවක රාජසිංහ රජුට උපදෙස් දුන්නා කියලා කියන්නේ. පීතෘ ඝාතනයේ පව් සෝදාහරින්නට නම් භික්ෂූන් වහන්සේලා 120 නමක් දියේ ගිල්ලා මරා සීතාවක කාලි මෑණියන්ට පූජාවක් ලෙස බැරුන්ඩි කෝවිල ඉදි කළ යුතු බවටත් අවවාද අනුශාසනා දී තියෙන්නේ මේ අරිට්ඨකී පෙරුමාල් කියන පූජකයාලු.

බැරුන්ඩි කෝවිල රජ යුගයෙන් පසු නටබුන් ගොඩක් බවට පත්වූ පසු වර්ෂ 1800දී බ්‍රිතාන්‍ය ජාතික පර්සියන් තමා මුල්වරට මේ ස්ථානය හඳුනාගෙන තියෙන්නේ. 1551 වර්ෂයේදීත් කෝවිලක් ගැන සඳහන් වුවත් ඒ කෝවිල බැරුන්ඩි කෝවිලමද කියලා පැහැදිලි නෑ. කෝට්ටේ බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ධර්මපාල කුමාරයා පෘතුගීසීන් සමඟ එකතු වී සීතාවක රාජධානිය මංකොල්ල කෑමට සැලසුම් කළා. ඒ යම් යම් එකඟතා, කොන්දේසි අනුව. සීතාවක මාලිගාව මංකොල්ල කන්න පෙර ධර්මපාල කුමරුගේ පෘතුගීසි සේනාව ස්ථාන දෙකක ස්ථානගත වී තිබෙනවා. ඉතිහාසයේ එක් තැනක සඳහන් වෙනවා දේවාල භූමියක එක් කණ්ඩායමක් රුඳුණා කියලා. ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඉතිහාසයේ කියන ඒ දේවාල භූමිය බැරුන්ඩි කෝවිල වෙන්න පුළුවන් කියලා.

එච්. සී. පී බෙල්ගේ යුගයේදී ඒ 1895 වගේ යුගයේදී. සිදුවූ සංරක්ෂණයකින් පසු මෑතක් වනතුරුම බැරුන්ඩි කෝවිල ලොකු සංරක්ෂණයකට ලක්වෙලා නෑ. ඉතිහාසය කියන විදිහට මෙය මහල් දෙකකින් යුක්ත බව කීවත් දැනට හඳුනාගෙන තියෙන්නේ ඉහළ මාලකය සහ ශිව දෙවියන්ගේ ප්‍රතිමා තිබුණ කොටස පමණයි.

බැරුන්ඩි කෝවිලට පිහිටා තිබෙන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ අටුළුගම් කෝරලයට අයත් ප්‍රදේශයක. ඉන්දියාවේ විජය නගර්වල ඇති හින්දු කෝවිලක ස්වරෑපයේ නිර්මාණාත්මක ලක්ෂණ තමා බැරුන්ඩි කෝවිලේ තියෙන්නේ. ඒත් දේශීය කලාත්මක සම්ප්‍රදායේ හුරුවත් බැරුන්ඩි කෝවිලේ තියෙන බවට ලියවැල්, පලාපෙති මෝස්තර සාක්ෂියි. ඉන්දීය කැටයම් හා නිර්මාණ ශිල්පීන් මෙන්ම දේශීය ශිල්පීන් ද බැරුන්ඩි කෝවිල නිර්මාණයේදී තම දායකත්වය ලබා දී තිබෙනවා. ජනප්‍රවාද අනුව වසර 20ක් පුරා බැරුන්ඩි කෝවිලේ ඉදිකිරීම් කර තියෙනවා. හැබැයි සීතාවක රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය තිබිලා තියෙන්නේ අවුරුදු 11යි. එසේනම් මායාදුන්න රජු මෙය ආරම්භ කළා විය හැකියි. ඉතිරි කොටස රාජසිංහ රජු කළා වෙන්න ඕනේ. ඒ තමා ඉතිහාසඥයන්ගේ තව මතයක්. ඒත් සීතාවක රාජධානිය සම්බන්ධ සියලු තොරතුරු තවමත් විවාදසම්පන්නයි. අවිවාදිතව ඔප්පු කළ හැකි ඉතිහාසයක් තවමත් සීතාවක රාජධානියට හිමි නෑ.

කළු ගලින් නිමැවූ බැරුන්ඩි කෝවිලට අයත් කළු ගල් එදා මනාව ඔපමට්ටම් කරලා නිර්මාණය කරගෙන තියෙන්නේ අවට ගමකින්.

බැරුන්ඩි කෝවිල පිහිටි බිම කුඩා කඳු ගැටයක් ලෙසින් එදා පවතින්නට ඇති බවත් එය මත මෙය නිර්මාණය කරන්නට ඇති බවත් විශ්වාස කරනවා. ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කරන්නට ඇතැයි සාක්ෂි සහිත බැරුන්ඩි කෝවිල අදටත් විජයනගර් සම්ප්‍රදායේ ස්වරෑපය වගේම සිංහල හුරුවත් මිශ්‍රණය වූ අපූරු තැනක්. ඉතින් සීතාවක ගියොත් යන්න ගිහින් බැරුන්ඩි කොවිලත් බලලා එන්න.

 

Text -Saa / Pic- Channa Kassapa Koralearachchi

 

2018-07-11-ent-177 2018-07-11-ent-178  2018-07-11-ent-180 2018-07-11-ent-181  2018-07-11-ent-183 2018-07-11-ent-184 2018-07-11-ent-185 2018-07-11-ent-186 2018-07-11-ent-187 2018-07-11-ent-188 2018-07-11-ent-189