මාලිගාව මත තැනූ මහාබලකොටුව



2018-07-19-ent-69

අදත් අපි සීතාවක. අද කොහෙද දන්නවද, අපි ඔයාවත් එක්ක යන්න හදන්නේ? ගිය සතියේ බැරුන්ඩි කෝවිලට ගිය අපි මේ සතියේ ඔන්න ඔයත් එක්ක යනවා සීතාවක රජමාලිගාව තිබුණා කියලා විශ්වාස කරන තැනට. අදටත් මෙතන රජමාලිගාව තිබුණද කියලා හරියටම කියන්න සාක්ෂි තාම හඳුනාගෙන නෑ. අද මේ නටබුන් තියෙන තැන හඳුන්වන්නේ ලන්දේසි බලකොටුව විදිහට.

සීතාවක රජමාලිගයක් තිබුණා කියලා අතීත ජනශ්‍රැති ජනප්‍රවාදවල සඳහන්. සීතාවක රාජධානි සමයේදී පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බලපෑම් තදින්ම එල්ලවුණා. ජනප්‍රවාදය කියන්නේ සීතාවක රජමාලිගාව පෘතුගීසින් පැමිණ සම්පූර්ණයෙන්ම ගිනිබත් කළා කියලා. ලන්දේසින් පෘතුගීසින් ගිනිබත් කළ මාලිගාවේ නෂ්ටාවශේෂ මත තමා ඔවුන්ගේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ලන්දේසි බලකොටුව ඉදිකිරීමත් එක්ක මාලිගාවේ පවුරැ පදනම් සියල්ල ඒ බිමෙන් අතුගෑවිලා ගිහින්. ගල්පුවරැවල පුංචි සාධක කිහිපයක් හැරෙන්න ලාංකික නිර්මාණ ශිල්පයේ කිසිවක් ඒ බිමේ ඉතුරැ වී නැහැ. විජයබා කොල්ලයේදී කෝට්ටේ හිටපු හත්වැනි විජයබා රජ්ජුරැවන්ගේ පුතුන්ට තමා රජකම හිමිවෙන්න තිබුණේ. ඒත් ඒ කුමාරවරැන්ගේ මව මියයාමෙන් පසු රජු තවත් බිසවක් මාලිගාවට කැඳවාගෙන ආවා. ඒ බිසව රජුගේ බිසව වෙන්න එන්නේ ඇයගේ පුතුත් සමඟ. මේ බිසව රජු හා කුමන්ත්‍රණය කර තම පුතුට රජකම ලබාදුන්නා. ඒ අවස්ථාවේ විජයබා රජුන්ගේ පුතණුවරැ ආරක්ෂාව පතා මාලිගාවෙන් පැන යනවා. මේ පුතණුවරැ පසුව තම පියා තමන්ට කළ ද්‍රෝහිකම නිසා පෘතුගීසි සෙබළු යොදා පියා ඝාතනය කළා. ඉන්පසු මේ සහෝදර කුමාරවරැ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදාගෙන පාලනය කරලා තියෙනවා. පෘතුගීසින් රජමාලිගය ගිනිබත් කළත් මෙතන බලකොටුවක් හැදුවෙ නෑ. වර්ෂ 1521න් පසු ආරම්භ කළ සීතාවක රාජධානිය 1590 ගණන්වල මුල් කාලයේ අවසන් වුණා. ලංකාවේ රාජධානි ගත්තම පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි හා සිංහල පාලකයන් යන හතර පාර්ශ්වයම පාලනය කරපු රාජධානියක් තියෙනවනම් ඒ තමා සීතාවක රාජධානිය.

එදා දළදා වහන්සේගේ භාරකාරත්වය පැවරී තිබු‍ණේ කා වෙතද? ඔහුගේ රාජ්‍යත්වය පිළිගන්න තරම් දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස සැලකුණා. කෝට්ටේ රජකළ බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඔහු පුත් ධර්මපාල කුමරැ තමයි කෝට්ටේ රාජධානිය පාලනය කළේ. ධර්මපාල කුමරැ පසුව කතෝලික දහම වැළඳගෙන දොන් ජුවන් ධර්මපාල බවට පත්වුණා. දළදා වහන්සේ සීතාවක රාජමාලිගයේ තියෙද්දී දළදා වහන්සේ බාරව හිටියේ හිරිපිටිය නිලමේ කෙනෙක්. ඔහුට හිතේ සැකයක් ඇතිවෙනවා ධර්මපාල රජතුමා කතෝලික ආගම වැළඳගැනීමත් එක්ක දළදා වහන්සේට දක්වන සැලකිල්ල අඩුවෙයි කියලා. ඒ නිසා මොහු උපක්‍රමශීලීව දළදාව තිබූ කරඬුවට දන්ත ධාතුන් වහන්සේ වෙනුවට වෙනත් දතක් දාලා සැබෑ දළදා වහන්සේ සඟවාගෙනවිත් මායාදුන්නේ රජුට බාරදෙනවා. මායාදුන්නේ රජු දුරදිග බලා කල්පනා කර දළදා වහන්සේ කුරැවිට දෙල්ගමු රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට ඒ දළදාව බාරදෙනවා. එහිදී දළදා වහන්සේ සඟවා තැබුවේ කුරහන් ගලක් යට. දළදා වහන්සේ තැන්පත් කරන්න වෙනම මාලිගාවක් ඉදිනොකළේ දළදා වහන්සේ රාජධානියෙන් පිටමංව ඇතිබව දැනගත්තොත් රටේ ජනතාව තුළ ඇතිවන කැළඹීම නැතිකරගන්න. සීතාවක රාජධානිය යටතේ දළදා වහන්සේ ආරක්ෂා වුණේ මෙහෙමයි.

2013 අවුරැද්දෙදී සීතාවක රජමාලිගය තිබෙන්නට ඇතැයි විශ්වාස කරන සහ ලන්දේසි බලකොටුව තිබූ තැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් කර පරීක්ෂාවකට ලක් කළා.

පවුර කැණීම්, මධ්‍ය කොටස් කැණීම්වල මූලික අරමුණ වුණේ රජමාලිගාවේ අවශේෂයන් මතුකරගන්න එක. ඒත් රජමාලිගාවේ අත්තිවාරමක කිසිම සාධකයක් හමුවුණේ නෑ. හමුවුණේ කබොක් පවුරක් විතරයි, ලන්දේසි බලකොටුවට යොදාගත්.

සීතාවක රජමාලිගය තිබුණේ යැයි විශ්වාස කරන බිමේ තියෙනවා සීතාවක පුරවරයේ වෙනත් තැනක තිබී හමුවී එතනට ගෙනත් තැබූ පුවරැවක්. ඒ ගල්පුවරැවේ ගිරවෙකු කොටා තිබෙනවා.

ගිරවකුගේ රැවක් සහිත පුවරැවක් මෙතෙක් හමුවී ඇත්තේ සීතාවක රාජධානියට අයත් පුවරැවකින් වීමත් විශේෂත්වයක්. ජනප්‍රවාද කියන විදිහට බැලුම්ගල හෙවත් රජමාලිගාව වෙනුවෙන් ඔත්තු බැලූ ස්ථානයේ සිට රජමාලිගය දක්වා පණිවිඩ එව්වේ ගිරවකු අතේ. ඒ නිසා තමා ඒ පුවරැවට එසේ ගිරවකුගේ රැව පැමිණ තියෙන්නේ.

අතීතය කොයිවිදිහට විරාජමාන වුණාද? තවත් යුග කඩාබිඳ වැටුණාද? කියන්න දන්නෙත් ඒ යුගයේ ජීවත්වුවන්ම පමණයි. මේ යුගයේ ජීවත්වුවන් කරන්නේ ඒ අතීතය එසේ විය හැකියැයි හමුවන සාධක නටබුන් ඔස්සේ සාක්ෂි සහිත හෝ රහිත උපකල්පනවලට එළඹීම. එයත් සුන්දර අත්දැකීමක්. ඉතින් වෙලාවක් තිබුණොත් ගිහින් එන්න සීතාවක.

 

Text - Saa / Pic - Channa Kassapa Koralearachchi

 

2018-07-19-ent-65 2018-07-19-ent-66 2018-07-19-ent-67 2018-07-19-ent-68