රාජාංගන වේල්ලෙන් සාලිය ගුහාවට



2018-07-25-ent-162

මියෙන ඉරේ අවසන් රැස් දහරා පතිත වී වන පෙතත්, වේල්ලත්, ජලයත් යන ත‍්‍රිත්ව සංයෝගයෙන් මනරම් චිත‍්‍රයක් මවා ඇත. මම වසඟ වූ දෑසින් ඒ දෙස බලා සිටිමි.

දහවල සැඩ කිරණෙන් විඩාබර වූ ලෝකයට මේ සන්ධ්‍යාව මිහිරක් බව අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ මිනිසුන් මේ වේල්ලට නැගී සංසුන් ගමනින් කරන ගමනෙන්ම සන්ධ්‍යාවේ සංසුන්කම, සන්ධ්‍යාවේ මිහිර මොනවට වැටහෙයි.2018-07-25-ent-164

අප මේ සිටින්නේ රාජාංගණ ජලාශයේ වේල්ල මතය. බැලූ බැලූ අත පේනේනේ උස් වූ වේල්ලයි. මීටර් 1175 ක් තරම් දිග වූ වේල්ල එක අතකින් කරන්නේ උත්තුංග මෙහෙවරකි. මන්ද විශාල ජල කන්ඳරාවක් රැුක බලාගන්නට මේ වේල්ල සමත්කම් දක්වන නිසාය.

1964 දී පමණ නිර්මාණය කරන ලද වේල්ල මගින් කලා වැවෙන් වාන් දමන ජල කන්ඳරාව රැුක ගැනීමේ මෙහෙවර ආරම්භ කෙරිණි.

ඒ සඳහා සුන්දර කලා ඔය හරහා වේල්ලක් බඳිනු ලැබිණ.

ජලාශයේ වාන් දොරටු තිස් එකකි. මේ වාන් දොරටු පසු කරගෙන ඉදිරියට යන විට හමු වන්නේ ජලාශය හරහා නැගී සිටින පර්වතයකි. තනිකර කළු ගලෙන් නිර්මිත මේ පර්වතය බැලූ බැල්මට මීටර් තිහක් හතළිහක් තරම් උසය. එක මත එක තැබූ ලොකු කුඩා ශිඛර දෙකක් මෙන් පෙනෙන මේ අපූරු නිර්මාණය මතුපිට හරිත වර්ණයක් ද දැකිය හැකිය. ගල මුදුනට යනු පිණිස ගලේ කෙටූ පඩිපෙළක් ද ඇති බැවින් මේ ගල් පව්ව ඉතිහාසයෙන් මනරම් කතාවක් ද සඟවා ගෙන සිටිය යුතු යැයි හැෙඟයි.

ඒ නිසාම රාජාංගණය ජලාශ කාර්යාලයේ සිටින නිලධාරීන් මහත්වරුන්ට ළංව තොරතුරු විමසන්නට උත්සහා කළෙමි.

‘‘සාලිය කුමාරයා අශෝකමාලා එක්ක ඇවිත් ඔය කියන ගලේ තියෙන ගුහාවක හැංඟිලා හිටියා කියලා කියනවා.’’

ඔහුගේ පිළිතුර එය විය.

‘‘ඒ ගල් ගුහාව බලන්න පුළුවන්ද?’’

‘‘බෑ ඒක දැන් වතුරෙන් යටවෙලා. ඔය හරියෙ වතුර තියෙනවා අඩි විස්සකට වැඩිය.’’

මම අතීතයට ඇවිද යමි. එදා මේ ජලාශය වත් මේ වේල්ලවත් තිබුණේ නැත. අද ජලාශය තිබෙන තැන එදා තිබුණේ සරුසාර වෙල් යායක් සහ දැවැන්ත වනාන්තරයකි. අලි ඇතුන්ගේ වග වලසුන්ගේ දිවියන්ගේ නිවහල් රාජධානියයි. උන් මේ වන පෙත මැදින් නිදහසේ ඇවිද යන්නට ඇත. ආහාර සොයාගෙන වතුර සොයාගෙන සැතපුම් ගණන් දුර ඇවිද යන්නට ඇත. ඒ ගිය ගමනේදී මේ පෙනෙන ගල් පර්වතයට ද නගින්නට ඇත. වලසුන්ට දිවියන්ට මේ පර්වතය මත ඇති ගල් ගුහා වාස භූමි බවට ද පත්ව තිබෙන්නට ඇත.

දුටු ගැමුණු මහ රජු පුත් සාලිය කුමාරයා අර තරම් ලස්සන ගැහැණුන් සිටින රටේ අශෝකමාලා නම් සැඩොල් කුලයේ කෙල්ලට වසඟ වී පෙම් බැඳ ඇයත් සමග එක්ව ජීවත් වන්නට සිහින දකින්නට ඇත. ඔහුට රජකමත් රජ සැපත් එපා වන්නට ඇත. රටක් රකිනවා යනු තනිකරම කතාන්දරයකි. එහෙන් සතුරු රාජ්‍යවලට එරෙහිව සටන්ය. තව පැත්තකින් රට වැසියන්ගේ කුස ගින්දර නිවා දැමීමේ සටනකි. ඒ වෙනුවෙන් වැව් කර්මාන්ත කෘෂි කර්මාන්ත කළ යුතුය. අතින් පැත්තෙන් වැසියන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව ඇති කරනු පිණිස වෙහෙර විහාර ඉදි කළ යුතුය.

මේ සියල්ලට වඩා අර සුන්දර සැඩොල් කෙල්ලට ළංව ඇය හා පේ‍්‍රම රාජ්‍යයක් ගොඩ නගා ගෙන නිදහසේ ජීවත් වීම රජකමක් යැයි ඔහුට සිතෙන්නට ඇත.

ඔහු අශෝකමාලාත් සමග පැමිණ මේ ගල් පර්වතයේ පාමුල පිහිටි විසල් ගල් ගුහාවේ තම නිවෙස තනාගෙන සැඟවී පෙම් රජ දහන තනා ගන්නට ඇත. අපි දැන් සිටින්නේ ඒ ගල් පර්වතය පාමුලය. එහි මුදුන දක්වාම ලතාවකට කපා ඇති පඩිපෙල දිගේ ඉහළට නගින්නෙමු.

බැස යන ඉර දැන් සිතිජයට වඩාත් ආසන්නයෙනි. ඉන් වැගිරෙන රාස්සිගේ අව් රැුල්ල පවා දැන් වියැකී අවසානය. ඒ නිසාම පරිසරයේ ඇත්තේ අඳුරට අතවනන ස්වභාවයකි.

අපි පය ඉක්මන් කළෙමු. ගල් පව්වේ අඩක් දුර නගින විට පෙනුණු ජලාශයේ දසුන සුන්දර විය. සැතපුම් ගණනාවක් දුරට පැතිර ගිය ජලය නිහඬ බවක් පළ කරයි. ඉඳහිට හමන සුළං රැුල්ලකට වත් මේ ජල තලය නොසෙල්වෙන තරම්ය. පිරුණු කලේ දිය නොසැලෙන පරිද්දෙන්ම කරවටක් පිරුනු ජලාශය ද නිහඬ වූවා විය හැකිය.

ගල් පව්වේ මුදුනටම නැග්ගෙමු. මෙතෙක් වේලා ඊට මුවා වී තිබූ ඉසව්වද දැන් පෙනෙයි. ජලාශයේ වේල්ල ඈතින් ඈතට දිවයයි. ඊට පහළින් ගුරු පාරක්ද ඊට පහලින් තාර දැමූ පාරක් ද පෙනෙයි. අපූරු දසුනකි.

ගල් පව්ව මත පුංචි වන ලැහැබකි. එහි අරුත මේ පුංචි ඉඩ කඬේ පස් ඩිංගක් තිබෙන බවය. එතරම් උස නැති තෘණ විශේෂයකින් කඳු මුදුන වැසි පවතී. දහවල පුරා හමා යන සුළෙඟ් දැඩි බව නිසා දෝ ඒ හැම තෘණ පඳුරක්ම පැත්ත වැටී ඇත. සුළං ප‍්‍රවාහය හමුවේ සෘජුව නැගී සිටීමට මේ තෘණවලට නොහැකි වීම නිසා විය යුතුය.

ඒ තෘණ අතරින් වැටී ඇති අඩි පාර කියා පාන්නේ මේ මතුපිට මොනවා හෝ ඇති බවය. අපිද අඩි පාර දිගේ ගියෙමු. ගුහා කිහිපයක්ම හමු විය. එදා සාලිය අශෝකමාලා මේ ගල් ගුහා අතරින් ඇවිදින්නට ඇත. වන ලැහැබෙන් පලතුරු කඩාගෙන රස බලන්නට ඇත.

තව පොඞ්ඩකින් රාත‍්‍රිය එළැඹේ.

හිරු අවසන් කර ගිය මෙහෙවරට වග කියන්නට මෙන් සඳගල මුදුනට වී බලා හිඳී. තවමත් පරිසරයේ හිරු ඉතිරි කර ගිය රැුස් කදම්බ ඉතිරිව ඇති බැවින් සඳ තම මුදු කිරණ විහිදන්නට පටන් ගෙන නැත.

තව හෝරාවකින් පමණ මේ ජලාශය මත කිරණ විහිදූ පසු සොඳුරු සිහිනයක් ඉතිරි වනු ඇත.

එදා සාලියත් අශෝකමාලාත් මේ ගල් තලාව මත රාත‍්‍රීන් කීයක් නම් පහන් කරන්නට ඇත්ද? වන පෙතින් ඇසෙන මොණර හැඬුම් අලි කුංචනාද දිවි ගෙරවුම් මුව විලාප මැද අශෝකමාලා ඇගේ සීනු හඬින් කවි කියන්නට ඇත. සාලිය කුමරු ඇගේ පුළුල් උකුල මත තම හිස තබාගෙන ඒ පෙම් කවි රස විඳින්නට ඇත.

එදා මේ සඳම ඒ පෙම් රැුඟුම් ඊර්ෂ්‍යාවෙන් බලා හිඳින්නට ඇත.

ගල් පව්වේ පහළටම පැමිණ අහස බැලූවෙමු. සඳ යම්තමට සුදු බෝලයක් වී තිබේ.

එහෙත් රාත‍්‍රී මිහිර මෙහි විඳින්නට අපට පින් නැත. දුර බැහැර ඊට හේතුවයි. ඉතින් අපි නික්මුණෙමු.

තඹුත්තේගම පැත්තේ යන දවසක රාජාංගණ ජලාශයටත් ගොස් ලංකාවේ ලස්සන ඔබේ ඇස් දෙකේ සඟවා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

 

ශාන්ත කුමාර විතාන

 

2018-07-25-ent-161  2018-07-25-ent-163  2018-07-25-ent-165