රජුන් පා පහස ලද මානියංගම රජමහා වෙහෙර



2018-08-01-ent-01

පෝයත් ගෙවිලා ගිය එකේ අපිට හිතුණා මේ සති අන්තයේ ඔයත් එක්ක දිගු ඉතිහාසයක් තියෙන රජ මහා විහාරයකට ගිහින් එන්න. සීතාවක ගිය ගමනේදී තමයි මේ රජ මහා විහාරයට යන්න අපිට හිත් පහළ වුණේ. ක්‍රිස්තු වර්ෂ 1521 – 1581, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රිස්තු වර්ෂ 1706 – 1739) කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රිස්තු වර්ෂ 1747 – 1782) සීතාවක රජ කළ රජවරැ තමයි මානියංගම රජ මහා විහාරය ගොඩනගන්න දර දිය ඇද්දා කියලා ඉතිහාසය දෙස් දෙන්නේ.

2018-08-01-ent-05ශ්‍රී ලංකාද්වීපයේ කඩයිම් පොතේ සඳහන් වන විදිහට හතර කොනේ මානියංගල්වලින් කෙටූ ශිලා ස්ථම්භ හතරක් තිබුණු මානියංගොමුරට නියං ගම් දහදසක් තිබිලා තියෙනවා. මානියංගම කියන්නේ පුරාණයේ නියං ගමක්. නියං ගමක් කියන්නේ ගම්මාන රුසක් එක්වීමෙන් සෑදුණු දේශයක්. මේ ගම පිහිටලා තියෙන්නේ කෑගලු දිසාවේ පනාවල් කෝරලේ. සීතාවක රාජ යුගයේදී එනම් ක්‍රිස්තු වර්ෂ 1521 – 1592 කාලයේදී පනාවල් කෝරලය ඇතුළු දෙහිගම්පල්, අටුළුගම්, පනාවල් කියන තුන් කෝරලය රාජධානියේ පාලන කේන්ද්‍රය බවට පත් වී තිබුණා. සීතාවක රජ මාලිගාවට නුදුරින් පිහිටි එකම විහාරය තමයි මානියංගම ලෙන් විහාරය කියන්නේ. ඒ හින්දම එදා ඒ ඈත යුගයේදී මේ රජ මහා විහාර බිමේ රාජකීයන්, ප්‍රභූවරැන් නිතර ගැවසෙන්න ඇති.

පුංචි කඳු බෑවුමක් තරණය කරලා තමයි අපි මානියංගම රජ මහා විහාර බිමට ගියේ. මුළු විහාර භූමියට ගහ කොළවලින් පිරිලා. සිසිලසල් දනවන වටපිටාවක්. ජනප්‍රවාද කියන විදිහට යකහටුවාව කඳු බෑවුමේ ගල් පර්වත පිරිච්ච දොළ පහරවල්වලින් හැදුණු බිමක පිහිටි මේ ලෙන් විහාරයේ ඉතිහාසය වළගම්බා රාජ සමය දක්වා ඇදී යනවා. මේ විහාරයට නුදුරින් පිහිටි තිඹිරිපොළ රජ ලෙනේ බ්‍රාහ්මී සෙල් ලිපිය කියන විදිහට මානියංගම ලෙන් විහාරය ක්‍රිස්තු පූර්ව යුගයට අයත්. ලක්මන ගල් ලෙන නම් කටාරම් කෙටූ ලෙන තියෙන්නෙත් මානියංගමට කිට්ටුවෙන් තැලුම්පිටියේ යෝගම රබර් වතු යායේ. ක්‍රිස්තු වර්ෂ 1521දී මායාදුන්නේ කුමරැ සීතාවකට ඇවිත් රාජධානි ආරම්භ කරද්දීත් මේ ලෙන් විහාරය හරි ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයක්. ඒ යුගයේදී එහි වැඩ සිටි සිටිනාමළු‍වේ සහ කොටකේදෙණි‍යේ සඟ පරපුර මායාදුන්නේ රජුගෙන් ලොකු ගෞරවයක් ලබලා තියෙනවා. මායාදුන්නේ රජ කුමාරයෙක් විදිහට හිටපු කාලයේ ඉඳන්ම මානියංගම විහාරයට ආව ගිය කෙනෙක්. විහාරය හදන්නත් උදව් කරපු කෙනෙක්. දහ අට රියන් බුද්ධ රෑපයක්, සත් රියන් විශ්ණු රෑපයක් නිමවලා විහාරයේ නඩත්තුවට පෙතංගොතඩ මහ කුඹුර තඹ පත්‍රයට ලියා පූජා කරලා තියෙන්නෙත් මේ රජ්ජුරැවෝ.

සිටිනාමළුවේ සෝභිත හාමුදුරැවෝ වර්ෂ 1510 – 1594 කාලයේ මානියංගම පුස්කොළ ලිපියේ ලියලා තියෙනවා මායාදුන්නේ රජ්ජුරැවෝත් ඔහුගේ පුත් රාජසිංහ රජ්ජුරැවෝත් විහාරයට කොච්චර කිට්ටුවෙන් හිටියද කියලා ඒ සෙල්ලිපිය හොඳ සාක්ෂියක්. ගල් පර්වත අතරින් ගලාගෙන යන දොළ පාරත්, තෙත බරිත වටපිටාවත් නිසාත් මේ බිමේ කූඩළු වර්ග ගොඩාක් දකින්න ලැබෙනවා. විහාරයට ඉහළින් තියෙන්නේ යකහටුවා කන්දේ කොබෝතුරාගල කියන පර්වතය.

ජනප්‍රවාද කියන විදිහටනම් මේ කන්ද අත්භූත කතා ගොඩක එකතුවක්. සීතාවක රජ කාලේ පෘතුගීසි සේනා එනවද කියලා බලන්න සෙබළුන් රඳවලා සිටි බැලුම්ගල විදිහටත් මේ කන්ද අඳුරගන්න පුළුවන්.

මානියංගම රජමහා විහාරය පෘතුගීසි ආක්‍රමණවලින් විනාශ වෙලා ගියා. ක්‍රිස්තු වර්ෂ 1747 – 1781 කාලයේ මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරැවෝ තමා ගරා වැටුණු විහාරයට ආයෙත් පණක් දුන්නේ. විහාර සන්නසකට අනුව නරේන්ද්‍රසිංහ රජ්ජුරැවෝත් විහාරය නඩත්තු කරලා තියෙනවා. ලෙන් විහාරය පිහිටලා තියෙන්නේ විශාල ගල් පර්වතයක් යට. ඒත් දිගින් අඩි 164ක් සහ පළලින් අඩි 70ක්. පිළිම ගෙය, දාගැබ, පොත් ගුල සහ සංඟා වාසයත්, දාන ශාලාවත් කටාරම් කෙටූ ලෙන ඇතුළේ තමා පිහිටලා තියෙන්නේ.

කළු ගලින් කළ ධර්ම ශාලාව විහාරයට නුදුරින් තියෙනවා. අඩි කිහිපයක් ඝනකමින් යුක්ත මැටි බිත්තිවලින් හැදුණු විහාර මන්දිරයට ඇතුළු වෙන්න දොරටු දෙකක් තියෙනවා. ඒ දොරටු දෙකේම මකර තොරණ් දෙකක් දකින්න පුළුවන්. විහාරය ඇතුළේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් සහ විශ්ණු දේව රෑපයක් තියෙනවා. මේ ප්‍රතිමා උඩරට සම්ප්‍රදායට අයත්. ඒත් විවිධ කාලවල කළ ප්‍රතිසංස්කරණයන් නිසා මේ ප්‍රතිමාවල මුල් ස්වරෑපය හුඟක් වෙනස් වෙලා. බිත්තිවල ඇඳි සිතුවම් අතර මාර යුද්ධය, සීවලී, අනුරැද්ධ සහ මහා කාශ්‍යප රහතන් වහන්සේලා බුදුන් වහන්සේට නමස්කාර කරන ආකාරය සුමන සහ සෝපාක සාමනේරවරැ බෝධීන් වහන්සේට වඳින ආකාරය දකින්න පුළුවන්.

උඩරට සම්ප්‍රදායේ පසුකාලීන ලක්ෂණ මේ චිත්‍ර හා මූර්තිවල දකින්න තියෙනවා. ඒත් ඒවා පහතරට ගැමි සිත්තරකුගේ නිර්මාණ කියලා තමයි විශ්වාස කරන්නේ. විහාරය සතු ඉතා පැරුණි පුරාවස්තු අතර රාජසිංහ රජ්ජුරැවන් පූජා කළ ශ්‍රී අකුර කෙටූ පාත්‍රයත්, පැරුණි ඇත් දළ යුගලයත් හඳුන්වන්න පුළුවන්.

මානියංගම ඓතිහාසික සාධක එක්ක අපූරැ සංස්කෘතිකාංගයකුත් බැඳී තියෙනවා. ඒ තමයි දුරැතු කරල් පෙරහර. ඒ පෙරහර ආරම්භ කරලා තියෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරැවන්ගේ කාලයේදී. හරියටට කීවොත් වර්ෂ 1766දී. පෙරහරේ කටයුතු අවසන් වෙන්නේ විහාරයට පූජා කරපු අන්දරගහ කුඹුරට මහ පෙරහරෙන් ගිහින් පැහිච්ච වී කරල් කපාගෙන ඇතකු පිට තබා මහ පෙරහරින් විහාරයට ගෙනත් වී කොටා සහල් කර කිරිබතක් පිස බුදුන්ට පූජා කිරීමෙන්.

සීතාවක ගියොත් මේ මහා ඉතිහාසයක් දරාගෙන හිඳින රජ මහා විහාරයට ගිහින් එන්න. එන සතියෙත් Walk 111 එක්ක අපි යමු කොහෙහරි ඇවිදින්න.

 

Text -Saa / Pic - Channa Kassapa Koralearachchi

 

 2018-08-01-ent-02 2018-08-01-ent-03 2018-08-01-ent-04  2018-08-01-ent-06 2018-08-01-ent-07