ගල මුදුනේ පුදුම සතුටක්



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-12-ent-85

අනුරාධපුරයේ ඉඳන් ඔන්න අපි ආවා සීගිරියට. කී වතාවක් ගියත් එපා නොවන සංචාරක පාරාදීසයක් තමයි සීගිරිය කියන්නේ. ඒත් කනගාටුව නම් සීගිරියට යන දේශීය සංචාරකයන් පත්වෙන අපහසුවයි. ලොකු මිල ගණනක් ගෙවලා වි‍දෙස් චාරකයන්ගේ වාහන නවත්වන්න වාහන නැවතුම් ටික වෙන් කරලා දේශීය සංචාරකයන්ගේ වාහන සීගිරියට දුර පාරක් ළඟ නවත්වනවා.2018-09-12-ent-80

ඒ තමා දේශීය සංචාරකයන් වෙනුවෙන් වෙන් වෙච්ච රථ ගාල. එතැන ඉඳන් යන්න ඕන ත්‍රීවිලර් එකක. ඒ ත්‍රීවිලර් සීගිරිය අවට ත්‍රීවිලර්. ඒ ත්‍රීවිල් දේශීය සංචාරකයන්ගෙන් හොඳ ගාණක් දවසට හම්බ කරගන්නවා. ඒ ත්‍රීවිලර් මීටර් එකට දුවන ඒවා නෙවෙයි. එයාලා කියන ගාණ දීලා අපි යන්න ඕන ත්‍රීවිල් එකේ. ඒත් සීගිරිය දකින්න, බලන්න, නගින්න තියෙන ආසාව නිසාම සීගිරිය බලන්න ඒ අපහසුතාවය විඳගෙනම කවුරුත් සීගිරියේ යනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයේ ඉඳන් කිලෝමීටර් 10ක් දුර ගෙවා යද්දී හම්බවෙන සීගිරිය ක්‍රි.ව. 5 වැනි සියවසට අයත් නිර්මාණයක්.

අනුරාධපුරයේ රජ කළ ධාතුසේන රජුගෙන් පස්සේ සිහසුනේ නීත්‍යනුකූල උරුමය ලැබෙන්න තිබුණේ මුගලන් කුමරුට. කාශ්‍යප කියන්නේ රජුගේ පරිවාර බිසවකගේ පුතෙක්. කාශ්‍යප කුමරු කියන්නේ රජකමට ලෝබ සිතින් ඇළුම් කළ කුමරුවෙක්. කාශ්‍යප කුමාරයා සිහසුනට ආවේ තමන්ගේ පිය රජුව බලහත්කාරයෙන් මරණ මංචකයට යවලා. තාත්තාට එහෙම මරණයක් හිමිවෙද්දී මුගලන් කුමාරයා තමන්ගේ ආරක්ෂාව පතාගෙන ඉන්දියාවට පැනලා ගියා. මුගලන් කුමරු දවසක රජකමේ අයිතිය ඉල්ලාගෙන එයි කියන සිතුවිල්ලත් පිය රජු මැරෑ සැහැසිකම නිසා රටේ ජනතාව තමන්ට එරෙහිව පෙළ ගැහෙයි කියලා හිතුණ සිතුවිල්ලත් නිසා මහා ගිරි දුර්ගයක් සොයා ගිය කාශ්‍යප කුමරු එහි තමන්ගේ රාජධානිය පිහිටුවා ගත්තා. මාලිගාවට පිවිසෙන දොරටුව සිංහයකුගේ හිසකින් සහ පාද දෙකකින් නිර්මාණය කිරීම නිසා මෙයට පුරාණයේදී සිංහගිරි පබ්බත කියන නම යෙදුණා.

ඒ සිංහගිරි පබ්බත තමයි සීගිරිය වුණේ. සීගිරිය රාජධානිය විශාල ප්‍රාකාර, ජල උද්‍යාන, පරිපාලන ගොඩනැගිලිවලින් සමන්විත සුන්දර රාජධානියක් ලෙස පැවතුණ බවට සාක්ෂි බොහෝමයි. සීගිරියට පිවිසෙන විටම හමුවන්නේ ජල උද්‍යානයයි. එය පොකුණු, සීතල මාලිගා, ජල මල්වලින් සැදුණක්. නියඟයක් ආව කාලයකදී වුණත් සැප පහසුවට ඉන්න පුළුවන් විදිහට සීතල රුකෙන විදිහට නිර්මාණය කළ පොකුණ මැද ඇති ගොඩනැගිල්ලක නිර්මාණය කළ මාලිගාවට තමයි සීත මාලිගාව කියන්නේ. සීගිරියේ තියෙන ජල මල් හුඟාක් වැස්ස වහිද්දී අදටත් ක්‍රියාත්මක වෙනවා කීවොත් සමහරවිට ඔයාලට පුදුමත් හිතෙයි නේද?

සීගිරිය නගිද්දී එක පැත්තකදී අපට කැටපත් පවුර හමුවෙනවා. සීගිරිය කැටපත් පවුරේ තියෙන්නේ සීගිරි කුරුටු ගී නමින් හඳුන්වන සීගිරියට පැමිණි රසවතුන් සීගිරියේ සුන්දරත්වය ගැන කුරුටු ගෑ ගී සංකල්පනා, සීගිරි චිත්‍ර ඉන්දියාවේ අජන්තා වෙල්ලෝරා වැනි ගිරි සිතුවම්වලට සමානකමක් දක්වනවා.

අටවැනි ලෝක පුදුමය ලෙස සම්භාවනාවට පත් සීගිරිය විල්, පොකුණු, ජල උද්‍යාන ඉදි කරන්න යොදාගත්ත තාක්ෂණය අදටත් ඉතිහාසඥයන්ගේ, විද්වතුන්ගේ පුදුමයට කාරණයක්.

යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස නම් කළ සීගිරිය තනපු කාශ්‍යප රජු මුගලන් කුමරු ඉන්දියාවේ සිට සේනා සන්නද්ධව පැමිණ කාශ්‍යප පාලනයට එරෙහිව යුද කරන අතර කාශ්‍යප රජු යුද පිටියේදීම සියදිවි නසා ගත් බවයි පැවසෙන්නේ.

සීගිරිය ගැන කියන්න, ලියන්න පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික කරුණු බොහෝමයි. ඒ කිසිත් නොදැන සීගිරියට ගියත් සීගිරිය කියන්නේ සෞන්දර්යාත්මක පාරාදීසයක්. ඒ සෞන්දර්යය රසවිඳින්න ඔබත් ගිහින් එන්න.

 

Text -Saa / Pic - Channa Kassapa Koralearachchi

 

 2018-09-12-ent-86 2018-09-12-ent-77 2018-09-12-ent-78 2018-09-12-ent-79  2018-09-12-ent-81 2018-09-12-ent-82 2018-09-12-ent-83 2018-09-12-ent-84