රිදියගම සෆාරි ලෝකය



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-08-ent-36

සතුන් කූඩු වලය. අපි උන්ගේ රූ සොබාවයන්, හැසිරීම් බලමින් සතුටු වන්නෙමු. එහෙත් ඒ ක‍්‍රමය වෙනස් කරමින් සතුන් නිදහසේත්, අපි ආවරණය කළ වාහනවලත් සිටිමින් සතුන් බැලීමේ ක‍්‍රමය දැන් ලෝ පුරා ප‍්‍රචලිතය. තායිලන්තයේ බැංකොක් නුවර සෆාරි ලෝකයේ දවසක් සැරිසැරූ මට ඉකුත්දා රිදියගම සෆාරි උද්‍යානායේ ද සැරි සරන්නට වාසනාව ලැබිණි.

රිදියගම, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රදේශයකි. එහි අක්කර පන්සීයක භූමිභාගයක් පුරා පැතිරුණ මේ නිදහස් සත්වෝද්‍යානයට ඇතුල්වූ විගස අපට දකින්නට ලැබුණේ මුවෙකි. ඒ මුවා ලඳු කැලෑ අතරින් දුවපැන යන හැටි අපි ආශාවෙන් බලා සිටියෙමු.

ඊට විරුද්ධ පැත්තේ සම්පූර්ණයෙන්ම කොටුකරන ලද භූමි භාගයකි.

‘‘මේ කොටස හදල තියෙන්නෙ වලස්සුන්ට...’’

අපේ මඟ පෙන්වන්නා පැවසුවේය. පලූ ගෙඩි, වීර ගෙඩි රසකරමින් ගිලදමන වලසුන්ට ඔබින වනගත පරිසරයක් ඒ කොටසේ තිබුණි.

එහෙත් තවමත් වලසුන්ට එහි වාසයට අවසර ලැබී නැත. එබැවින් අපි වම් අත පැත්තේ පෙනෙන මුවන්ගේ ලෝකයේ විසිතුරු බැලූවෙමු. ඒ කොටස තනිකරම මුව වර්ගයේ සතුන්ටය. ලංකාවේ මුවන්, ගෝනුන්, ඕලූමුවන් පමණක් නොව ලෝකයේ විවිධ රටවල වෙසෙන මුව පවුලේ වෙනත් සතුන් ද ඒ කොටසේ නිදහසේ සැරිසරති. ඇන්ටිලෝප් මෙන් දඟර ගැසුණු අඩි දෙකක් පමණ දිග අං දෙකක් සහිත අපූරු සත්තු ද ඒ ඉසව්වේ නිදහසේ සැරි සැරූහ.

තවත් තැනක අශ්වයන්ය. කොටලූවන්, බූරුවන් සහ සීබ‍්‍රාවුන්ය. මේ සියලූ දෙනාම එකම පවුලේ සාමාජිකයන්ය. ඒ නිසාමදෝ සීබ‍්‍රාවුන්, කළු පැහැති කොටලූවකුට ‘‘ලව් පාට්’’ එකක් පෙන්වන හැටි අපට පෙනුණි.

අප‍්‍රිකානු කුළු හරක් තුන්දෙනෙක් කොළපාට අලූත්ම තණ කොළ වගයක් ආහාර කරගන්නා හැටි දුටිමු. මේ කුළු හරකුන්ගෙන් එකෙකුට තිබුණේ පුංචි මුහුණකි. හැබැයි උගේ අං දෙක නළලෙන් ඇරඹී හිස දෙපසට විහිදී තිබුණේ උගේ මුහුණට අමුතු ලස්සනක් එකතු කරමිනි.

එහෙත් ඌ සමඟ තණකොළ අනුභව කරමින් සිටි අනෙක් මී හරක් දෙදෙනාගේ මුහුණුවර ද අංවල ස්වභාවය ද ඊට වඩා වෙනස්ය. උන් වෙනත් කුළු හරක් විශේෂයක් විය යුතුය.

ගෙල පුරා ලොම් කළඹක් පිහිටි අපූරු ඔටුවෙක් ද කම්මැලිකමෙන් එහාට මෙහාට ගියේය. මේ හැම සතෙක්ම ශාක භක්‍ෂකයන්ය. ඒනිසා ඒ හැමෝටම එකම ඉසව්වක එකට සුහදව ජීවත් විය හැකිය.

අලියා ද ශාක භක්‍ෂක සත්වයෙකි. එසේ වුවත් සෆාරියේ අලින්ට වෙන්කර තිබුණේ වෙනත් ඉසව්වකි.

‘‘අලින්ට අක්කර එකසිය අටක් වෙන් කරලා තියෙනවා’’

අපේ මඟ පෙන්වන්නා කීවේය.

ලොකු කුඩා විවිධ ප‍්‍රමාණවල අලින් හය හත් දෙනෙක් නිදහසේ සැරිසරන හැටි අපූරු දසුනකි. එක් උස් කෙනෙරක් අප දෙසට එන්නට ඇවිත් හොඬවැල ඔසොවා පුංචි පහේ සෙනෙහසක් පෑවාය. එහෙත් ඌ අප ගමන් කළ බස් රථයට කෙණෙහිලිකම් කළේ නැත. ගසක් ළඟට ගොස් පාඩුවේ පිට කසා ගත්තාය.

‘‘එයා තමයි කාන්ති... අර දෙවුන්දර දේවාලෙ කලණ ආපු වෙලාවෙ ගිහිල්ල ආදරයෙන් පිළිගත්තෙ මේ කාන්ති තමා...’’

අපේ මඟ පෙන්වන්නා කීවේය.

දෙවුන්දර දේවාලයේ කලණ හස්තියාගේ කකුල බැඳ සිටි දම්වැලට කැපී තුවාල සිදුවීම පසුගිය දවස්වල පත්තරවල පළව තිබිණි. එබැවින් ඒ හස්තියා මේ සෆාරි ලෝකයට එක්කරන්නට අධිකරණ නියෝගයක් ලැබිණි.

‘‘කෝ ඒ කලණ?’’

අපි, මඟ පෙන්වන්නාගෙන් ඇසුවෙමු.

‘‘එයා අරහෙ ඉන්නවා... තව ටිකකින් පෙන්වන්නම්...’’

අපට වම් පැත්තේ සිටි එක් අලියෙක් නර්තනයකය. අත් පා එහා මෙහා තබමින් හොඬවැල වනමින් සෙල්ලම් දැමූ ඌ තරුණ ජවයෙන් පිරිපුන් එකෙකි.

‘‘මෙයා චණ්ඩියා... ඒකයි බැඳලා තියෙන්නෙ...’’

මඟ පෙන්වන්නා විස්තර කළේය.

උන් පසුපස ටික දුරක් ගිය විට කලණ දකින්නට ලැබිණි. ඒ වනවිට සුවපත්ව සිටි කලණගේ තනි නොතනියට මෙන් යාබද කොටසක රඳවා සිටියේ අප‍්‍රිකානු හස්තියෙකි. උසින් උස ඒ හස්තියා දඟකාරයෙකු බව බලපු ගමන්ම පෙනිණි.

‘‘මෙයා සැරයි. ඒනිසා බැඳලා දාලා ඉන්නෙ. හැබැයි එයාට නිදහසේ ඉන්න අක්කර අටක් දහයක් වෙන් කරලා තියෙන්නෙ.’’

ඒ ඉදිරි සැලසුමකි.

අලින්ගේ ලෝකයෙන් නික්මුණු විට හමුවන්නේ මාංශ භක්‍ෂකයන්ගේ ප‍්‍රදේශයයි. මේ ඉසව්වේ ව්‍යාඝ‍්‍රයන් මෙන්ම සිංහයන් ද සිටිති.

ඒ කොටසේ සිටින සුවිශේෂිතයා සිංහයාය. එක් රූස්ස ගසක් යට කේසර සිංහයෙක්, උගේ ධේනුව සහ දරු පැටවුන් තුන් දෙනෙක් වැතිර සිටියහ... සෆාරි උද්‍යානයේදීම ජන්ම ලාභය ලැබූ මේ සිංහ පැටව් තුන්දෙනාම ¥වරුන්ය. උන් තුන්දෙනා එකිනෙකාට තුරුලූව වැතිර සිටි හැටි අපූරු දසුනක් විය. කම්මැලි සිංහයා යන්තමට මුහුණ හරවා බලා ආපසු බලා ගත්තේ පොටෝ අරගෙන ‘‘ෆේස් බුක් දමා මඩ ගහන්නට එපා’’ යැයි කැමරාව අතේ තියාගෙන සිටි අපේ නදීට කියන්නට මෙනි.

බොහෝ වර බැංකොක් නුවර සෆාරිය සහ මේ රිදියගම සෆාරිය සංසන්දනය කරන්නට මට නොසිතුනා නොවේ. එහෙත් මේ දෙක සැසඳීම වරදකි... රිදියගම සෆාරි ලෝකය තවමත් ඉදිවෙමින් නව නිර්මාණ එකතු වෙමින් පවතින තැනක් වන නිසාය.

අක්කර කිහිපයක පක්‍ෂි උද්‍යානයක් ද ලහි ලහියේ ඉදිවෙමින් පවතී.

‘‘මේ කුරුලූ උද්‍යානයේ දී නම්, වාහනයෙන් බැහැලා පයින් යන්න පුළුවන්. ඒකට යන්න මංපෙත් තමයි ඔය හදන්නෙ’’

ඉදිකිරීම් පෙන්වමින් අපේ මඟ පෙන්වන්නා විස්තර කළේය.

මේ මොහොතේ සෆාරි උද්‍යානයේ පක්ෂීන්ට සිටින්නේ මොනරා සහ පැස්බරා පමණකි. කළු පාට ලොකු පිහාටු තොගයක් ඔසවාගත් පැස්බරා එහා මෙහා දුවයන හැටි බලන්නට අපූරුය.

‘‘පැස් විතරයි ඉන්නෙ... අරා නැහැ’’

අපේ ධනූ කියා සිනාසුණාය.

මේ ගමන, ඉරිදා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ වාර්ෂික විනෝද චාරිකාවේ, එක්තරා ගමන් නිමාවක් බව ද සටහන් කළ යුතුය.

 

ශාන්ත කුමාර විතාන - ඡායාරූප: නදීශා අතුකෝරල

 

2018-10-08-ent-35  2018-10-08-ent-37 2018-10-08-ent-38 2018-10-08-ent-39 2018-10-08-ent-40 2018-10-08-ent-41 2018-10-08-ent-42 2018-10-08-ent-43 2018-10-08-ent-44 2018-10-08-ent-45 2018-10-08-ent-46