ඓතිහාසික පොළොන්නරු රාජධානියේ නටඹුන් - 01



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පොළොන්නරුව රාජධානිය යනු ලංකාවේ රාජ්‍ය වංශයන් තුළ ඉතා සුවිශේෂී ඉතිහාසයකට හිමිකම් කියන්නා වූ රාජධානියකි. විශේෂයෙන් රට ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකට ගෙන යාමට පොළොන්නරු රාජධානිය තුළ දී එකළ පාලකයන්ට හැකි විය. එමෙන්ම වෙහෙර විහාර, දේවාලයන් ඇතුළු පූජනීය වශයෙන් වැදගත්කමක් ඇති ස්ථානයන්ද රැසක් පොළොන්නරු යුගයේදී නිර්මාණය වී තිබේ. වර්තමානයේදී අපට දැක බලාගැනීමට ඇත්තේ එහි නටඹුන්ය. බොහෝ දෙස් විදෙස් සංචාරකයන්ගේ වන්දනාමානයට පාත්‍ර වන පොළොන්නරුවේ නටඹුන් කිහිපයක තොරුතුරු අද අප ඔබට ගෙන එන්නෙමු.

 

රජ මාලිගය

2019-12-18-ent-95

පොළොන්නරුවෙහි නටඹුන් නැරඹීමට යාමේදී ප්‍රථමයෙන්ම අපට හමුවන්නේ ඉපැරණි රජමාලිගයක කොටස්ය. මෙම ගොඩනැගිල්ලේ පියගැටපෙළෙහි ඉහළ අන්තයේ දොරටුව අභියස ඇති ගල්ලෑල්ල මත කොටා ඇති ලිපියකට අනුව මෙය රාජ වෛශ්‍යා භූජංග මණ්ඩපය නම් වූ මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153 - 1186) විසින් ඉදිකළ රාජ සභා ගොඩනැගිල්ල ලෙස හඳුනාගෙන තිබේ. කැටයම් සහිත ගලින් නිම කරන ලද මාලක තුනෙන් ඉහළම මාලකය මත ගල් ටැම් නංවා ඉදිකර ඇති මේ අලංකාර ගොඩනැගිල්ල දැව පරාල යොදා උළු සෙවිල්ලූ පියස්සකින් යුක්තව තිබෙන්නට ඇති බව පුරාවිද්‍යා මතයයි. එහෙත් දැනට පෙනෙන අන්දමට ගොඩනැගිල්ල පරාක්‍රමබාහු රජුට පසු කාලෙක නැවත කරන ලද ප්‍රතිසංස්කරණයක් බව මෙහි සිදුකළ පර්යේෂණ වලින් තහවුරු වී ඇත. ඇතැම් විට මෙය සිදුවන්නට ඇත්තේ දඹදෙණි යුගයේදී හෙවත් ක්‍රිස්තු වර්ශ 13 වන සියවසේදී විය හැකි බව පුරාවිද්‍යාඥයන් පවසයි. පොළොන්නරු යුගයෙහි සිටි කැටයම්කරුවන්ගේ දස්කම් මෙම ගොඩනැගිල්ල පුරාවට පෙනෙන්නට තිබේ.

 

 

කුමාර පොකුණ

2019-12-18-ent-92

ඉහත පැවසූ රජ මාලිගයට මදක් ඔබ්බට වන්නට පිහිටා ඇති කුමාර පොකුණ නමින් හැඳින්වෙන මෙම පොකුණ මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1153 - 1186) විසින් ඉදිකළ බව මහාවංශයේ සඳහන් වන 'ශිලා පොක්ඛරණි' නම් වූ පොකුණ විය හැකි බව පුරාවිද්‍යාඥයන් පවසයි. ඇතුල් නගරයට පිටතින් ඊට යාබදව පිහිටි මෙම පෙදෙස එකල නන්දන උද්‍යානය නම් වූ උයනට අයත් වන්නට ඇති බව ඇතැම් ඉතිහාස ගවේශඥයෝ පවසයි. ඉතා අලංකාර ලෙස චතුර්මුඛ සැලැස්මට ගොඩනගා ඇති මෙම ශෛලමය පොකුණ අසල පිහිටි ඇල මාර්ගයෙන් ජලය ලබාගැනීමටත් අපවිත්‍ර ජලය පිට කිරීමටත් හැකිවන ආකාරයට සකස් කරනු ලැබ ඇත. තවද මේ අසලම ඇති අනෙක් ගොඩනැගිල්ල ජලස්නානය සඳහා සළුපිලි මාරු කිරීමට පැවති මණ්පයක් බව පැහැදිලිය.

 

නයිපෙණ විහාරය

2019-12-18-ent-94

මෙම නයිපෙණ විහාරය ක්‍රි.ව. 936 - 1155 කාලයේ පොළොන්නරුව චෝල රජවරුන් විසින් පාලනය කරන සමයේ ඉදිකරන ලද්දක් බවට විශ්වාස කරයි. මෙහි ප්‍රධාන ගොඩනැගිල්ල විෂ්ණු දේවාලයක් වන අතර එහි ඉදිරිපස ගොඩනැගිල්ල ශිව දේවාලයක් බවට සොයාගෙන ඇත. ප්‍රධාන ගොඩනැගිල්ලට උතුරු දෙසින් ඇති පරිවාර ගොඩනැගිල්ල තුළ මෙහි පුද පූජා සඳහා භාවිතා කොට ඇත. ප්‍රධාන ගොඩනැගිල්ලේ ගර්භ ගෘහය, ගෙඩිගේ සම්ප්‍රදායට ඉදිකර ඇති අතර වාහළ ගඩොලින් තනා ඇත. නාග පෙණ පහක් සහිත පුවරුවක් මෙහි තිබී සොයාගෙන තිබේ. මෙම ස්ථානයෙන් සොයාගෙන ඇති හින්දු ලෝකඩ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් පොළොන්නරුව කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. පොළොන්නරුවෙන් හමුවුණු වැඩිම ලෝකඩ ප්‍රතිමා ප්‍රමාණයක් හමුවී ඇත්තේ මෙම විහාරයෙන් බව සඳහන් වේ. 'නයිපෙණ විහාරය' ලෙස ජනප්‍රවාදගතව හැඳින්වූවත් මෙය පැරණි හින්දු දේවාල සංකීර්ණයකි. මෙහි පැරණි නම හෝ නිර්මාපකයා පිළිබඳව සඳහනක් නොමැත. මෙහි පිහිටි විෂ්ණු දේවාලයේ ගඩොල් පියස්ස මත නිර්මාණය කොට තිබුණු නයි පෙණයක හැඩැති මූර්තියක් නිසා නයිපෙණ විහාරය නමින් මෙය ප්‍රචලිත වන්නට ඇතැයි සිතිය හැකිය. දේවාල භූමියේ දකුණු කොටසේ පිහිටා ඇත්තේ පොළොන්නරුවේ විශාලතම ශිව දේවාලය වන අතර ඒ අසල ඇති ළිඳ ද පැරණි නිර්මාණයකි.

දෛනිකව දෙස් විදෙස් විශාල සංචාරක පිරිසක් පැමිණෙන මෙම නටඹුන් ස්ථානයන් ඉදිරියටත් සංචාරකයින්ට, ඉතිහාස ගවේෂයකයන්ට දැක බලාගැනීමට ඉතිරි කර තබමින් පරිසරය අපවිත්‍ර නොකරමින් නරඹන ලෙස මෙම ස්ථානයන්ට යෑමට බලාපොරොත්තු වන ඔබෙන් ඉල්ලා සිටිමු.

 

කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග