ඓතිහාසික පොළොන්නරු රාජධානියේ නටඹුන් 02



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකා ඉතිහාසයේ පොළොන්නරු රාජධානියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන් එකල තිබූ ආගම් පදනම් කරගත් සමාජීය ජීවන රටාව පිළිබඳව සහ ලංකාවට බලපෑ විදේශ ආක්‍රමණ පිලිබඳව මනා විවරණයක් පොළොන්නරු යුගය පිළිබඳව අධ්‍යනය කිරීමේදී ලබා ගත හැක. පසුගිය ලිපියෙන් පොළොන්නරු යුගයෙහි නටඹුන් පිළිබඳව යම් විවරණයක් ගෙන ආ අතර මෙය එහි දෙවැන්නයි.  

ගල්පොත පුවරු ලිපිය

20200103polonnaruwa3

නිශ්ශංකමල්ල රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1187 - 1196 කාල වකවානුව තුළදී කරවූ බවට සැලකෙන ගල්පොත පුවරු ලිපිය තුළ නිශ්ශංකමල්ල රජුගේ ප්‍රතිපත්ති, ඔහු විසින් ජනතාවට දෙන ලද අවවාද, අනුශාසනාවන්, රජුගේ වීරක්‍රියාවන්, රාජ්‍ය පරපුර ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වේ. නිශ්ශංකමල්ල රජුගේ දීර්ඝතම සෙල්ලිපිය ලෙසින් සැලකෙන ගල්පොත පුවරු ලිපියෙහි ප්‍රමාණය දිග අඩි 26යි අඟල් 08ක් පමණ වන අතර පළල අඩි 04යි අඟල් 07කි. මෙහි සාමාන්‍ය ඝණකම අඩි 01යි අඟල් 09ක් පමණ වේ. මෙම ශිලාලේඛනය කෙටීම සඳහා නිශ්ශංකමල්ල රජුගේ සෙබළුන් ලවා කරවා ඇති අතර මෙම සුවිසල් ගල් පුවරුව පොළොන්නරුවට කිලෝමීටර් සියයකට වඩා දුරින් පිහිටි සෑගිරිය හෙවත් මිහින්තලයේ සිට එන ආවකි. මෙහි ඇති අකුරු සඳහා ලෝහමය දියරයක් පුරවා තිබුණ බව පෙනේ. සෙල්ලිපියේ ආරක්ෂාවට පියස්සක් පැවති බවටත් සාධක තවමත් ඉතිරිව තිබේ. මෙහි පසෙකින් කැටයම් කොට ඇති ඇතුන් දෙදෙනෙකු විසින් පිරිවරන ලද ස්ත්‍රී රූපයෙන් ගජලක්ෂ්මි දෙවඟන නිරූපණය වේ.

අටදාගේ

20200103polonnaruwa2

පොළොන්නරුව දළදා මළුව තුළ දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ල මෙයයි. මහා විජයබාහු රජු ( ක්‍රි.ව. 1055 - 1110) විසින් ඉදි කරවූ බවට සැලකෙන දළදා මැදුර මෙය බවට පුරාවිද්‍යාඥයින් සිය ගවේෂණයන් මඟින් තහවුරු කරගෙන තිබේ. දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මාණය කොට තිබූ මෙහි ඉහළ මහළ දළදා වහන්සේ මෙන්ම පාත්‍රා ධාතූන් වහන්සේද වැඩහිටි බවට සාධක ඇත. ඉහළ මහළ දැවයෙන් නිර්මාණය කර තිබෙන්නට ඇති අතර පියස්ස දැව පරාල යොදා උළු සෙවිලි කොට නිර්මාණය කර තිබේ. මෙය අසලම පිහිටි ද්‍රවිඩ ග්‍රන්ථාක්ෂරයෙන් ලියැවුණු ලිපියේ දළදා මාලිගාවේ ආරක්ෂාව, රජුගේ පුද්ගලික ආරක්ෂකයන් වූ වේලයික්කාර භටයන්ට පැවරුණු බව සඳහන් වේ.

හැටදාගේ

20200103polonnaruwa1

හැටදාගේ පිළිබඳව තොරතුරු සෙවීමේදී මෙම නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකරන ලද දළදා මන්දිරය මෙය බවට සිතිය හැකිය. මෙම මන්දිරය හැට පැයක් ඇතුළත සාදා නිමකර ඇති බැවින් මෙයට හැටදාගෙය නමින් හැඳින්වෙන බව පවසයි. මෙම ගොඩනැගිල්ලද දෙමහල් ගොඩනැගිල්ලක් ලෙසට නිර්මාණය කර තිබෙන අතර ඉහළ මහළයේ දළදාව සහ පාත්‍ර ධාතුව තැන්පත් කර තිබිණි. මෙහි බිත්තිවල යොදා ඇති ගල් පුවරු අතර නිශ්ශංකමල්ල රජුගේ ලිපි තුනක් තිබේ. ඉන් එක් ලිපියක %නිශ්ශංක හැටදාගේ^ යනුවෙන් සඳහන් ව තිබෙන අතර එය අදටත් දැක බලා ගැනීමට සුරක්ෂා වී තිබේ. රජුගේ පුණ්‍ය ක්‍රියාවන් සහ භික්ෂූන්ට දුන් අවවාද, අනුශාසනා අනෙකුත් ලිපිවල ලියා තිබේ. මෙහි වහළය දැව පරාල යොදා උළු සෙවිල්ලා තිබෙන්නට ඇති බවට පුරාවිද්‍යාඥයින් මත පල කරයි. මෙම ගොඩනැගිල්ල ක්‍රිස්තු වර්ශ 1187 - 1196 කාලය තුළදී නිර්මාණය කරන්නට ඇත.

කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදයංග