සෝනාම්ගෙන් නීර්ජාට ප්‍රණාම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ධෛර්යවන්ත කාන්තාවක වන නීර්ජාගේ උපන් දින සැමරුම යෙදෙන සැප්තැම්බර් 7 දා ඇයට සිය ප්‍රණාමය පුද කරන බැව් සිය ඉන්ස්ටග්‍රෑම් අඩවියේ සටහනක් තබමින් සෝනාම් කපූර් සඳහන් කර තිබේ. සිය 22 වන උපන් දිනයට දින දෙකකට පෙර එනම් සැප්තැම්බර්  5 දා ඇය අනෙක් අය වෙනුවෙන් මිය ගියාය. 
සෝනාම් කපූර් නීර්ජා චිත්‍රපටියේ රඟ පෑවේ 2016 දීය. එය ජාතික සම්මන දෙකක් ද ෆිල්ම් ෆෙයාර් සම්මාන හයක් ද දිනා ගත්තේය. ජාතික චිත්‍රපටි සම්මාන උළෙලේදී සෝනාම් එහි රඟ පෑ චරිතය පිළිබඳව විශේෂ සඳහනක් ද කරනු ලැබිණි. 
එම චිත්‍රපටිය නිර්මාණය වූයේ නීර්ජා බානට් නමැති එඩිතර ගුවන් සේවිකාවගේ සැබෑ චරිතය පසුබිම් කරගෙනය. ඇය සිය ගුවන් යානයේ ගමන් ගත් මඟීන් බේරා ගැනීම පිණිස සිය ජීවිතය පූජා කළ උතුම් කාන්තාවකි. නිර්භීත බව උදෙසා පිරිනැමෙන ඉන්දියාවේ උසස්ම සම්මානය වන අශෝක චක්‍ර සම්මානය දිනා ගත් ලාබාලම කාන්තාව ලෙසට ද ඇය ඉතිහාසගත වන්නීය. 
නීර්ජා බානට් උපත ලද්දේ 1963 සැප්තැම්බර් 7 දා චන්දිගාර්හිදීය. ඇය හැදී වැඩුණේ බොම්බායේය. (දැන් මුම්බායි) ඇගේ පියා මාධ්‍යවේදියෙකු වූ හරිෂ් බානට් වූ අතර මවගේ  නම රාමාය.  ඇයට සහෝදරයෝ දෙදෙනෙක් ද සිටියහ. චන්දිගාර් සිට මුම්බායි පදිංචියට ආවාට පසුව ඇය ස්කොටිෂ් පාසැලෙන් ඉගෙනගෙන ශාන්ත ක්ෂේවියර් සරසවියෙන් උපාධිය ලබා ගත්තාය. නිරූපිකාවක වීමට ඇයට අවස්ථාව ලැබුණේ එකලය. රාජේෂ් ඛන්නාගේ හොඳ රසිකාවියක වූ ඇය ඔහු විසින් චිත්‍රපටිවලදී කියන ලද විශේෂ කියමන් සියල්ලම පාහේ එකතු කරන්නට ඇය පුරුදුව සිට ඇත. 
නීර්ජා යෝජිත විවාහයකින් කුලගෙයට ගියේ වී නමුදු එම විවාහය පැවතියේ මාස දෙකක් පමණ කෙටිකාලයකි. ඇය නැවතත් සිය දෙමව්පියන්ගේ නිවසට පැමිණියාය. 
1985 දී ඇය පෑන් ඇම් ගුවන් යානා සමාගමේ ගුවන් සේවිකා වෘත්තියකට අයැදුම් කළාය. පුහුණුව සඳහා ඇයට මියාමිවලට යාමට සිදු වූ අතර ඇයට ලැබුණේ ගුවන් යානයේ ගණන්හිලව් කටයුතු කරන නිලධාරිනියකගේ රාජකාරිය. ඒ අතරම ඇය නිරූපිකාවක ලෙසින් ද සාර්ථක වෙමින් සිටියාය. 
පෑන් ඇම් 73 යානයේ ජ්‍යෙෂ්ඨ ගණන් තබන්නිය වූයේ නීර්ජාය. මේ යානය පියාසර කළේ මුම්බායි සිට කරච්චි, ෆ්‍රැන්කෆර්ට් හරහා ඇමෙරිකාව දක්වාය. 1986 සැප්තැම්බර් 5 දා කරච්චි ගුවන් තොටුපලේදී අවි ගත් ත්‍රස්තයන් හතර දෙනෙකු විසින් යානය පැහැර ගනු ලැබිණි. ඒ වන විට යානයේ මඟීන් 380 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු ද සිටියහ. මේ ත්‍රස්තයෝ ලිබියාවෙන් සහයෝගය ලබන, අබු නඩාල් පලස්තීන ත්‍රස්ත සංවිධානයකට අයත් වූහ. ඔවුන්ට වුවමනා වී තිබුණේ සයිප්‍රසයේ සිරගතව සිටින පලස්තීන ත්‍රස්තයන් පිරිසක් මුදා ගැනීම වෙනුවෙන් යානය සයිප්‍රසයට පියාසර කරවන්නටය. 
ත්‍රස්තයන් යානය තුළට පැමිණි වහාම නියමු කුටියේ සිටියවුන් දැනුවත් කරන්නට නීර්ජාට හැකි වූයේය. ඒ අනුව ගුවන් නියමුවා, සහාය නියමුවා සහ ඉංජිනේරුවරයා බඩු බෑමට යොදා ගන්නා මෙවලමේ ආධාරයෙන් යානයෙන් පිටතට පැන ගත්හ. යානයේ තත්වය පාලනය කිරීමේ වගකීම පැවරුණේ ඒ වන විට සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය වූ නීර්ජාටය. සියල්ලන්ම බියපත් වී, කලබල වී සිටියත් නීර්ජා සන්සුන් වූවාය. 
ත්‍රස්තවාදීන්ගේ විරෝධතාව තිබුණේ ඇමෙරිකානු ජාතිකයන් සහ ඔවුන්ගේ දේපොළ කෙරෙහිය. යානය සිය ග්‍රහණයට ගෙන විනාඩි ගණනාවක් ඇතුළත ඇමෙරිකන් ඉන්දියා සම්භවයක් ඇති පුරවැසියෙකු සොයා ගත් ත්‍රස්තයෝ ඔහුට වෙඩි තබා සිරුර යානයෙන් පහළට හෙලූහ. ඔවුන්ට වුවමනා වී තිබුණේ කොමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල වීම වළක්වාලීමටය. 
යානයේ සිටින සියලුම මඟීන්ගේ ගමන් බලපත්‍ර එකතු කරන ලෙස ත්‍රස්තයෝ නීර්ජාට අණ කළහ. එසේ කළේ ඇමෙරිකානු පුරවැසියන් සොයාගෙන මරා දමන්නට පහසු වනු සඳහාය. නීර්ජාත් අනෙක් කාර්ය මණ්ඩලයත් කළේ එහි සිටි ඇමෙරිකානු පුරවැසියන් 44 දෙනාගේ ගමන් බලපත්‍ර සැඟවීමය. සමහර ඒවා අසුන් යටට දමන ලද අතර සමහර ඒවා කුණුකූඩවලට දමනු ලැබිණි. 
පැය දාහතක් තිස්සේ ඔවුන්ට ගුවන් යානයේ සිර වී සිටින්නට සිදු වූ අතර ත්‍රස්තයන් වටේටම වෙඩි තබමින් යානයට පුපුරන ද්‍රව්‍ය සවි කරමින් කාර්යබහුලව සිටියදී නීර්ජා කළේ ගුවන් යානයේ හදිසි පිට වීමේ දොරටුව විවර කර මඟීන් එකිනෙකා පිට කිරීමය. පළමුවෙන්ම පිට වී ගොස් දිවි බේරා ගැනීමට ඇයට පුළුවන්කම තිබුණත් ඇය එසේ කළේ නැත. බාරකාරයන් නොමැතිව යානයේ ගමන් කරමින් සිටි දරුවන් තුන් දෙනෙක් පිට කරන්නට ඇය උත්සාහ කරද්දී ත්‍රස්තයෙකුට ඇගේ ක්‍රියාව ඇස ගැටිණි. ඔහු ඇගේ කොණ්ඩයෙන් ඇද එතැනම මැරී වැටෙන්නට වෙඩි තැබුවේය. 
ඒ දරුවන් අතර සිටි හත් හැවිරිදි පිරිමි දරුවා මේ වන විට ඉහළ ගුවන් සමාගමක ගුවන් නියමුවෙකු ලෙස සේවය කරන්නේය. තමාට ඒ අදහස ලැබුණේ නීර්ජාගේ එඩිතර බව තුළින් යයි ඔහු සඳහන් කර තිබිණි. 
ඇගේ අනතුරු ඇඟවීම නිසා නියමුවා ඇතුළු පිරිස පලා ගිය බැවින් ත්‍රස්තයන්ට යානය ගුවන්ගත කර ගන්නට නොහැකි වූයේය. 
ඉන්දියාවේ, පකිස්තානයේ, ඇමෙරිකාවේ, එංගලන්තයේ සම්මාන ගණනාවක් නීර්ජාගේ නමට හිමි වූයේය. ඇයට ලැබුණ රක්ෂණ වන්දිය යොදා පදනමක් පිහිටුවන්නට ඇගේ දෙමව්පියෝ කටයුතු කළහ. හැම වසරකම එයින් සම්මාන දෙකක් පිරිනැමෙන අතර එක් සම්මානයක් පිරිනැමෙන්නේ රාජකාරියට පමණක්ම කැප නොවුණ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටය. අනෙක එඩිතර ලෙස අනෙක් අය වෙනුවෙන් කැප වෙන ඉන්දියානු ජාතික කාන්තාවකටය. 

චන්දි කොඩිකාර