ධර්මේන්ද්‍රගේ ව්‍යායාම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසංගත සමයේ ශාරීරික හා මානසික සෞඛ්‍යය මනාව පවත්වාගෙන යාම සඳහා ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය බැව් ප්‍රවීන නළු ධර්මේන්ද්‍ර පවසයි. 85 හැවිරිදි ඔහු ජල ක්‍රීඩා, යෝග ව්‍යායාම හා සැහැල්ලු ව්‍යායාම කිරීම අරඹා තිබේ. ජල ක්‍රීඩා කරන වීඩියෝවක් සමඟ ශක්තිමත්ව, නීරෝගීව සහ සතුටින් සිටින්නට ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය බැව් කියැවෙන පණිවිඩයක් ද ඔහු අන්තර්ජාලයට මුදා හැර ඇත. 
හින්දි සිනමාවේ හී මෑන් (සුපිරි වීරයා) ලෙසින් හැඳින්වෙන ධර්මේන්ද්‍ර ගේ උපත් නාමය ධරම් සිං ඩියෝල්ය. ඔහු ධර්මේන්ද්‍ර නම ලද්දේ සිනමාවේදීය. ඔහු නළුවෙකු පමණක් නොව නිෂ්පාදකයෙකු හා දේශපාලඥයෙකු ද වන්නේය. සාර්ථක චිත්‍රපටි 100 කට අධික ප්‍රමාණයක ඔහු රඟ පා තිබේ. ඉතා කඩවසම් පෙනුමක් දැරූ නිසාම ඔහු හින්දි සිනමාවේ ග්‍රීක දෙවියා ලෙසින් ද ප්‍රසිද්ධ වූයේය. ඔහු සිනමාවට පිවිසියේ දිල් භි තේරා තුම් භි තේරා චිත්‍රපටිය තුළිනි. ජනප්‍රිය නළුවා, හොඳම නළුවා ඇතුළු සම්මාන රැසක් ද ඔහු හිමි කරගෙන තිබේ. හැටේ දශකය ඔහුගේ සිනමා දිවියේ ස්වර්ණමය යුගය වූයේය. නූටාන් ඇතුළු ඒ යුගයේ ජනප්‍රියව සිටි නිළියන් බොහෝ දෙනෙකු සමඟ රඟ පෑවත් තිරයේ හොඳම යුවළ ලෙසින් ප්‍රේක්ෂක විචාරක ප්‍රසාදයට බඳුන් වූයේ හේමා මාලිනී සහ ඔහුය. 
ප්‍රීත්විරාජ් සහ කරීනා කපූර් හැර කපූර් පවුලේ අනෙක් සියලු දෙනා සමඟම ධර්මේන්ද්‍ර වැඩ කර තිබේ. 
ධර්මේන්ද්‍ර මුලින්ම විවාහ වූයේ ප්‍රකාශ් කවුර් සමඟ 1954 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 19 ක් වූවා පමණකි. ඒ විවාහයෙන් ඔහුට පුතුන් දෙදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු සිටින්නේය. බොබී ඩියෝල් සහ සනී ඩියෝල් දෙදෙනාම සාර්ථක චිත්‍රපටි නළුවෝ වූහ. දියණියන් දෙදෙනා විජීතා සහ අජීතාය. 
ඉනික්බිතිව ඔහු හේමාමාලිනී විවාහ කර ගත්තේය. පළමු බිරිඳගෙන් දික්කසාද නොවී ඇය විවාහ කර ගන්නට වුවමනා වූ නිසා ඔහු ඉස්ලාම් ආගම වැළඳ ගත් බවට ප්‍රවෘත්තියක් ද එකල පළ වී තිබිණි. 1970 ගණන්වල අතිශයින් ජනප්‍රිය වූ ෂෝලේ ඇතුළු චිත්‍රපටි ගණනාවක ඔහුත් හේමාමාලිනීත් රඟ පෑහ. ඒ විවාහයේ දියණියන් වන වන්නේ ඊශා ඩියෝල් සහ අහානා ඩියෝල්ය. ඊශා නිළියක වන අතර අහානා සම්බන්ධ වී සිටින්නේ චිත්‍රපටි අධ්‍යක්ෂණයටය. 
බොබී ඩියෝල්ගේ පුතු ගේ නමත් ධරම් සිං ඩියෝල්ය. සනී ඩියෝල් ගේ පුතු කරන් ඩියෝල්, පල් පල් දිල් කේ පාස් චිත්‍රපටියෙන් සිනමාවට පිවිසියේය.  
ධර්මේන්ද්‍ර දේශපාලනයට පිවිසුණේ භාරතීය ජනතා පක්ෂයෙන් රාජස්තාන් හි බිකානෙර් ආසනයට තරඟ කරමිනි. 2004 සිට 2009 දක්වා ඔහු ලෝක් සභාව නියෝජනය කළේය. 
ලොනාවාලා ප්‍රදේශයේ දර්ශනීය ගොවිපොළකට ඔහු හිමිකම් කියන්නේය. කාබනික පොහොරින් ගොවිතැන් කරන එහි භූමි ප්‍රමාණය අක්කර සීයකි. එහි ඇති සුඛෝපභෝගී නිවසේ වැඩි කාලයක් ගත කරන්නට ඔහු ප්‍රිය කරයි.