යාමි ගෞතම් ගේ මංගල උත්සවය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යාමි ගෞතම් සහ ආදිත්‍ය ධාර් අතර විවාහ මංගලෝත්සවය පසුගියදා චිරාගත සම්ප්‍රදායානුකූලව හිමාචල් ප්‍රදේශයේදී පැවැත්විණි. මේ මංගල්‍යය ඇගේ රසිකයන් මෙන්ම හිතමිතුරන් ද පුදුමයට පත් කරන්නට සමත් වුණේ ඇය මේ පිළිබඳව කිසිවක් කලින් හෙළිදරව් කර නොතිබූ නිසාය. එහෙත් උත්සවයෙන් පසුව ඇය ඇගේත් ආදිත්‍යගේත් අලංකාර ඡායාරූප රැසක් අන්තර්ජාලයට මුදා හැර තිබිණි. රතු පැහැති සාරියකින් සැරසුණ ඇය ඉතා සුන්දර මනාලියකව සිටියාය. 
යාමි ගෞතම් ක්ෂේත්‍රයට පැමිණියේ නිරූපිකාවක ලෙසිනි. ඇය පළමුවෙන්ම ෆෙයාර් ඇන්ඞ් ලව්ලි නිෂ්පාදනවල වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියාය. ඉනික්බිතිව චාන්ද් කේ පාර් චලෝ සහ යේ ප්‍යාර් න හෝගා කම් රූපවාහිනී මාලා නාටකවල රඟ පෑවාය. ඇය තෙළිඟු සහ දෙමළ චිත්‍රපටි කිහිපයක රඟ පෑවේ ඒ අතරතුරය. යාමි හින්දි සිනමාවට පිවිසියේ විකී ඩෝනර් චිත්‍රපටියෙනි.  එය වාණිජ වශයෙන් සාර්ථක වුවත් විවේචනවලටත් බඳුන් වූයේය. එහෙත් එහි ඇගේ රඟපෑමට බොහෝ ප්‍රශංසා හිමි වූ අතර හොඳම නවක නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයටත් නිර්දේශ වූවාය. බාද්ලාපූර්, කාබිල්, යූරි- ද සර්ජිකල් ස්ට්‍රයික් ඇය රඟ පෑ චිත්‍රපටි අතර තිබෙන්නේය.  යුද්ධය පසුබිම් කර ගත් චිත්‍රපටියක් වන යූරි හි ඇය රඟ පෑවේ බුද්ධි අංශ නිලධාරිනියකගේ චරිතයකි. එහි අධ්‍යක්ෂවරයා වූයේ ආදිත්‍ය ධාර්ය. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය අවුරුදු තුනක් පමණ පැරණි වුවත් එය මාධ්‍යවල ප්‍රසිද්ධ වෙන්නට ඔවුන් ඉඩ තැබුවේ නැත. 
“ඒ දෙන්නගෙ සම්බන්ධෙ පටන් අරගෙන තියෙන්නෙ යූරි රූගත කිරීම් ඇරඹුණ දවස්වලමයි.. ඒත් අපි හාංකවිසියක්වත් දැනගෙන හිටිය නෑ..”
යූරි චිත්‍රපටියේ නිෂ්පාදකවරයා පවා පැවසුවේය. 
“මේ ක්ෂේත්‍රයේ ප්‍රේම සම්බන්ධකම් තියෙන්න ඕන ඒ විදියට තමයි..” එසේ පැවසුවේ යාමිටත් ආදිත්‍යටත් සමීප අයෙකි. 
භූත් පොලිස් චිත්‍රපටියෙන් මී ළඟට යාමි දැක ගත හැකි වනු ඇත.