සංගීත නිර්මාණ කටයුතු කියන්නේ දුක්බර අවස්ථාවක් වුනත් සුවපත් කරන්න පුළුවන් ඖෂධයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයේ සංගීත අංශයෙන් විවිධ ඉසව් ඔස්සේ පියවරෙන් පියවර ඉදිරියට යන නව පරපුරේ දක්ෂයෙක් පිළිබඳ කතා කරන්නට සැඳැල්ලෙන්  ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ වනවිට ගීත 15 පමණ එළිදක්වා ඇති ඔහු නමින් ඩී. එම්. ඩී. දිසානායක. ඔහු විසින් පද රචනය කළ අලුත්ම ගීතය එළිදක්වා ඇත. මේ ඒ පිළිබඳ සටහනකි. 
 
සතර වරම් දෙවිදුනේ.....
ගම්බාර දෙවියනේ.... 
මට සරණක් වෙම්දෝ....
 
හත්ඉලව්වයි මට වුණේ මගේ නංගියේ 
රන් කෙතත් අද පාළු වීලා ගංදියේ 
ගියත් අද කිසි පලක් නෑ කඩමංඩියේ 
මක් කරන්නද තනිව මේ මහ වංගියේ 
 
• මොකක්ද මේ හත්තිලව්ව? 

ඈත පිටිසර ගම්මානයක ජීවත් වුණ තරුණයකුගේ හිතේ එම ගම්මානයේම ජීවත් වුණු තාරුණ්‍යයට පිවිසෙමින් සිටින තරුණියක වෙනුවෙන් ඇතිවුණ අව්‍යාජ ප්‍රේමණීය හැඟීමක් තමයි මේ ගීතයට පාදක වුණේ. මෙම තරුණයා පාසල් යන කාලේදි ගමේ, කඩපිලේ, වෙලේ, ඇළේ, දොලේ, වැව්වල හොඳ හැටි දුව පැන ජිවත් වූ කෙනෙක්. ඒ නිසා ඔහු ඒ අතීතයට බොහෝ සෙයින් ඇලුම් කරනවා. කාලයාගේ ඇවෑමෙන් මේ තරුණයා ගමෙන් නගරයට යනවා. ඒ ගොස් ටික කාලයකින් නැවතත් ගමට යනවිට තමාගේ මුල් කාලයේ දුටු තරුණ කාන්තාව දැක ඇය පිළිබඳ උපදින ආදරය සහ නගරයේ සිටින කාන්තාවට වඩා ගමේ තරුණියගේ සුන්දරත්වය සහ ඈ කෙරෙහි ඇති හැඟීම් මේ ගීතයෙන් කියන්න උත්සාහ ගත්තෙ. 

 
• ඔබ මේ වෙද්දි ගීත කොයිතරම් සංඛ්‍යාවක් කරලා තියෙනවද?

මේ වෙද්දි ගීත 15ක් වගේ කරලා තියෙනවා. ඒ අතර 2015 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ගීතයක් කළා. ඒ ගීතයට විශාල ප්‍රතිචාරයක් ලබා ගන්න හැකිවුණා. එහි පද රචනයත් රූප රචනයත් මා විසින්මයි සිදු කළේ. මා සමඟ තවත් ගායක ගායිකාවන් 10 දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා. ඉතින් 2015 ගීතය එළිදැක්වුවත් අද වනතුරුම ලොකු ප්‍රතිචාරයක් තවමත් ගීතයට ලැබෙනවා. 

ඒ ප්‍රතිචාර නිසාම වෙන්න ඇති 2015 රාජ්‍ය සම්මානවලට පවා නිර්දේශ වෙන්න ඇත්තේ. මගේ මුල්ම ගීතය කළේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්. ඉන්පසුව සඳ බැබළෙන, ඔබ දන්නවාද, සිදුහත් කුමරාණනේ වැනි ගීත කිහිපයක් ගායනා කළා. ඒ මගේම ගීත. ඉතින් ගීත ගායනයෙන් මේ විදියට ඉදිරියට යද්දී මට තව තවත් ගීත නිර්මාණ කරන්න හිතුණා. ඒ නිසා මම වෙනත් අයටත් ගිත නිර්මාණ කිහිපයක් කළා. 
දෙව්ලියේ කියලා ගීතයක් කළා. කීත් පේ තමයි ගායනා කළේ. 
 
එහි පද රචනයත් රූප රචනයත් මගේමයි. සගීතයෙන් කෙන් ලැපන් සම්බන්ධ වුණා. ඒත් එක්කම මම නිර්මාණය කළ ඔබ මගේ ගීතයත් සිතින් ළඟින් උන්නා කියන ගීත දෙකටත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ගීත ගායනා කළේ ශක්ති සුපර් ස්ටාර් වුණු රෝයි ජැක්සන්. 
ඒ වගේම මේ දිනවල මම නිර්මාණය කරපු ගීතයක් තියෙනවා. ‘ඔබ මගේ කුමාරියයි’ කියලා. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කළේ. ගීතය ගායනා කරන්නේ  ජනක විතානගේ. 
 
• මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න හිතුවේ ඇයි? පාසලේදී තිබුණෙ කොයිවගේ දායකත්වයක්ද? 

මම පාසල් ගියේ බිබිල ධර්මප්‍රදීප  මධ්‍ය මහා විද්‍යාලයට. පාසලේදී සංගීතය හැදෑරුවා. ඒ කාලෙ මගෙ සංගීත කණ්ඩායමක් තිබුණා ‘සාරංගා’ කියලා. ඒ කණ්ඩායමේ ඉන්න කාලෙ සංගීතය ටික ටික කරන්න ගත්තා. මගේ අම්මා තාත්තාත් සංගීතයට ගොඩක් ලැදි දෙන්නෙක්. තාත්තා මුල් කාලෙදි රෝහණ බැද්දගේ මහත්මයාගෙන් සංගීතය ඉගෙන ගෙන තියෙනවා. ඒ ආභාසයත් මට තියෙන්න ඇති. 

ඉතින් අම්මට තමයි ලොකු කැමැත්තක් තිබුණෙ මාව කලා ක්ෂේත්‍රයට යොමු කරන්න. මොකද මම පොඩි කාලෙත් ගීත නිර්මාණයන් කරනවා. ගීත ගායනා කරනවා. ඒ අංශයට ගොඩක් ලැදියි. ඒ නිසාම අම්මා මුලින්ම රූපවාහිනි ආයතනයකට කතා කරලා තිබුණා මාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරවන්න. මම මුලින්ම කලා ක්ෂේත්‍රයට එන්නෙ අංග රචනා ශිල්පියෙක් විදියට. ප්‍රවීණ අංග රචනා ශිල්පී නිමල් සුබසිංහ මහත්මය තමයි මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වලා දෙන්නෙ. 
එතැනින් පසුව තමයි මම ගීත නිර්මාණ පැත්තටත්, රූප රචනා පැත්තටත් යොමුවෙන්නෙ. ඒ මම අංග රචනා ශිල්පියෙක් වෙලා ඉද්දි ගොඩක් දක්ෂ අධ්‍යක්ෂවරුන්, කැමරා ශිල්පීන්, සංගීත කණ්ඩායම්, ගායක ගායිකාවන් එකක වැඩ කරන්න ලැබෙනවා. ඒ සීමාවක් නැතිව ලැබුණු අත්දැකීම් එක්ක තමයි මාව මේ සංගීත ක්ෂේත්‍රයට යොමු වෙන්නෙ. 
 
• ඔබ වෘත්තියෙන් අංග රචනා ශිල්පියෙක්. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක කලා කටයුතුවලට ඉඩක් වෙන් කරන්න පුළුවන්ද? 

ඔව්. ඇත්තටම වැඩකරන තැනක් එක්කත් මට එහෙම ලොකු ගැටලුවක් නැහැ. සංගීත නිර්මාණ කටයුතු කියන්නේ දුක්බර අවස්ථාවක් වුනත් සුවපත් කරන්න පුළුවන් ඖෂධයක්. ඉතින් අපි වැඩ කර කර ඉන්න වෙලාවකදී වුනත් ගීත නිර්මාණයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ දේට වෙලාවක් නැහැ. 

සමහර වෙලාවට වැඩ කරන අතරතුරදී නිදාගෙන ඉද්දි කොහෙ හරියන අතරතුර තැනක්, වේලාවක් නැතිව ඒ ගීත සිතිවිලි ඔළුවට එනවා. මගේ අත්දැකීම්, සමාජ අත්දැකීම් ඒ දේවල්වලට පාදක වෙනවා. ඕනෑම අවස්ථාවක ඕනෑම මාතෘකාවක් ඔස්සේ ගීතයක් නිර්මාණය කිරීමේ හැකියාවක් මට තියෙනවා. ඒ හැම දේටම මූලික වෙන්න ඉතින් අත්දැකීම් තමයි. විශේෂයෙන් කියන්න ඕනෑ මම රූපවාහිනි ආයතනයක වැඩ කළත් එහි ඇතුළත කොටුවෙලා නැහැ. 
ආයතනයෙන් ඔබ්බට ගිහින් පිටිසර ප්‍රදේශවල ගිහින් විවිධාකාර මිනිස්සු එක්ක ගැටෙමින් තමයි මගේ වෘත්තිය කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මට ඒ තුළින් අත්දැකීම් රාශියක් ලැබෙනවා. ඒ සියලුම දේ පාදක වෙලා තමයි මගේ ගීත නිර්මාණ බිහි වෙන්නේ.
 
ධනු විජේරත්න
 
20210420Dissanayake-1 20210420Dissanayake-2