අයෙක් පෞද්ගලික හැඟීම් මත ගන්න තීන්දු සමහර ජීවිත විනාශ කරනවා - ලූෂන් බුලත්සිංහල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මම ඉපදුණේ රත්මලානෙ. ළමා කාලය ගෙවුණේ බාධක හැලහැප්පීම් මැද. මා මූලික අධ්‍යාපනය ලබාගත්තෙ රත්මලාන ධර්මාලෝක විද්‍යාලයෙන්. පසුව දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වනවා. විශ්විද්‍යාලයට යවලා උගන්වන්න තරම් වත්කමක් මගේ තාත්තට තිබුණෙ නැහැ. ඒ නිසා මා සරසවි ප්‍රවේශ විභාගය සමඟම රජයේ ලිපිකරු විභාගයත් ලියන්නෙ එකම වසරෙදි. විශ්විද්‍යාල ප්‍රවේශයට කලින් ලිපිකාර විභාගය සමත් වුණු මට රජයේ ලිපිකාර සේවයට පත්වීමක් ලැබුණා. සේවා ස්ථානය වුණේ නුවරඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අනතුරුව ඒ වකවානුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ තිබුණු අඹේවෙල ගොවිපළ.

මේ වකවානුවේ මගේ බාහිර උපාධිය කිරීමේ අභිලාෂයෙන් හිටියෙ. මගේ ගොවිපළේ කළමනාකාරවරයා වුණේ දෙමළ ජාතික මහත්මයෙක්. ඔහුගෙ නම වුණේ වේලුපිල්ලේ ආරුමුගම්. ඔහු මගේ අධ්‍යාපන අවශ්‍යතාව හඳුනා ගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී මගෙ වැඩ ආවරණය කිරීමේ වගකීම ඔහු පවරගෙන මා නිදහස් කළා. පේරාදෙණියට ඇවිත් බාහිර උපාධිය කරන්න අවස්ථාව සැලසුනේ ඒ විදිහට. “

අප දන්න ලූෂන් බුලත්සිංහල කලාකරුවා බිහිවන්නේ කෙසේද?
“මුලින්ම රඟපෑවෙ පාසල් වේදිකාවේ. මගෙ මුල්ම නාට්‍යය එල්. එල්.කේ. ගුණතුංග විශ්‍රාමික විභාග කොමසාරිස්වරයා විසින් නිර්මාණය කරපු ‘අශෝකමාලා‘නාට්‍යය. එහි සාලිය කුමාරයාගේ චරිතය රඟපෑවේ මම. ඒ 1961 දි. මේ අවධියෙම ‘නව රංග සමුළුව‘කියලා සංවිධානයක් අපි හදා ගත්තා. ඒ සංවිධානයෙන් 1962 දි ‘මණ්ඩියා‘ කියලා වේදිකා නාට්‍යයක් කළා. ධීවර ප්‍රජාවගේ ජීවන අරගලය තමයි තේමාව වුණේ. නාට්‍යය පෙන්නුවේ ලුම්බිණියෙ.මේ නාට්‍ය බලන්න ආපු සිරිලාල් කොඩිකාර මහත්මයා ලියලා තිබුණා මේ නාට්‍යය ධීවර ජනතාව ඉන්න හැම ගමකම පෙන්විය යුතු නාට්‍යයක් කියලා. මා ලැබූ මුල්ම ඇගයීම එයයි. “

ඒ අවධිය වනවිට ඔහු පාසල් සිසුවෙකි. ලූෂන් බුලත්සිංහල ප්‍රසිද්ධ වේදිකාවේ නිර්මාණකරණයට එළැඹෙන්නේ 1964 දීය. ඒ එවර රාජ්‍ය නාට්‍ය උලෙළ ඉලක්ක කරගෙන නිර්මාණය වුණු ‘නොනිවෙන ගිනි‘වේදිකා නාට්‍යයෙනි. ඒ අවධියේ ලූෂන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකි. එවකට නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයාව සිටි එම්.ජේ. පෙරේරාගේ තනි තීරණයක් මත එම නාට්‍යය එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයෙන් විසි වුණේය.

එහෙත් නොනිවෙන ගිනි නාට්‍යය පේරාදෙණිය සරසවි එළිමන් රඟහලේ දී වේදිකාගත විය. එම නාට්‍යය නැරඹීමට පැමිණි බන්දුල ජයවර්ධන හඳුනා ගැනීම ලූෂන්ට කලා ක්ෂේත්‍රය තුළ නව අවස්ථාවන් ගණනක් විවර විය.

“1966 රාජ්‍ය නාට්‍ය උත්සවය වෙනුවෙන් බන්දුල ජයවර්ධන නිර්මාණය කරපු ‘බිහිවන බෝසතානෙනි‘නාට්‍යට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. දයා තෙන්නකෝන් සරසවි සිසුවෙක් විදිහටවේදිකාවට එකතු වන්නේ ඒ නාට්‍යයෙන්. සෝමසිරි අලකොලංග විශ්ව විද්‍යාලයට බාහිරින් නාට්‍යයට එකතු වුණා. ඒ රාජ්‍ය නාට්‍ය උත්සවයේ හොඳම නළුවා විදිහට සහතිකයක් මට ලැබුණා. එය හොඳම නළුවාට අමතරව පිරිනැමෙන අගය කිරීමක්. “

1969 වර්ෂයේදී ලුෂන් බුලත්සිංහලයන් යළිත් කොළඹට පැමිණෙන්නේය. වර්ෂ 1971 දී සිය ලිපිකාර වෘත්තියට ආයුබෝවන් කියන ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ස්ථිර නිවේදක තනතුරකට පත් වන්නේය. ඔහුට අනුලා බුලත්සිංහල මුණ ගැසෙන්නේත් විවාහ දිවියට පිවිසෙන්නෙත් මේ වකවානුවේදී ය.

“සුගතපාල ද සිල්වා ගුවන්විදුලියේ මා සමඟ සිටි සමීපතම මිත්‍රයෙක්. එතුමා අධ්‍යක්ෂණය කළ සියලුම නාට්‍යවල මට රඟපාන්න ලැබුණා. ‘දුන්න දුනුගමුවේ‘නාට්‍ය දෙවැනිවර නිෂ්පාදනයේදීත්,

‘හරිම බඩු හයක්‘,‘දෑවැද්දෝ‘,මුතු කුමාරි‘නාට්‍යවල රඟපෑවා.

‘රතු හැට්ටකාරි‘නාට්‍යය මං නිෂ්පාදනය කළේ 1974 දි. ඒ අවුරුද්දෙම බන්දුල විතානගේ ගෙ ‘බෙකට්‘ නාට්‍යයේ රඟපෑවා. ධර්මසිරි බණ්ඩාරනායක, සෝමලතා සුබසිංහ වැනි ශිල්පීන් ගණනාවක් ‘බෙකට්‘වටා රොක් වී සිටියා. මේ නිෂ්පාදන දෙකින් ‘රතු හැට්ටකාරී‘ස්වතන්ත්‍ර නාට්‍යයක්. ‘බෙකට්‘ පරිවර්තන නාට්‍යයක්.

‘රතු හැට්ටකාරි‘1974 රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසාන නාට්‍යය. අවසන් නාට්‍ය දවසේ සම්මාන සහතික පිරිනැමීම එවකට සාමාන්‍ය සිරිත. නමුත් මෙම නාට්‍ය අවසානයේ පැයක් පමණ ගත වුණත් ප්‍රතිඵල නිකුත් වුණේ නැහැ. මහාචාර්ය විමල් දිසානායක සහ ඒ. එච්. පියසේන එළියට පැමිණ මාත් එක්ක කතා කළා. ඔවුන් විනිශ්චය කටයුතු වලින් බැහැර වුණු බව සඳහන් කළා. එදින සම්මාන විනිශ්චයට ඔවුන් දෙදෙනාගේ තීන්දු වලංගු නොවන බවත් ඔවුන් මට කීවා.

එම වසරේ මා රඟපෑ‘බෙකට්‘නාට්‍යයට සම්මාන හිමිවුණේ නෑ. නමුත් ඒ නාට්‍ය විශිෂ්ට නාට්‍යයක්. ‘රතු හැට්ටකාරි‘නාට්‍ය රචනය වෙනුවෙන් මටත් සංගීතය වෙනුවෙන් ඔස්ටින් මුණසිංහටත් හොඳම නළුවා විදිහට ජයලත් මනෝරත්නටත් සම්මාන හිමිවුණා. කවුරුත් දැක්කා රතු හැට්ටකාරි නාට්‍යයේ අනුලා බුලත්සිංහල කළ රංගනයේ ප්‍රශස්ථ බව. නමුත් හොඳම රංගනය සඳහා විනිශ්චය මණ්ඩලය නමක්වත් නිර්දේශ කළේ නෑ.“ වේදිකා නාට්‍යය කලාවක් ලෙස ගලාගෙන ආවේ එවැනි හැල හැප්පීම් මැදය.

මගේ නාට්‍ය ගීත ජනප්‍රිය වීමත් සමඟ බොහෝ දෙනාගෙන් ගීත රචනා සඳහා ආරාධනා ලැබුණා. ඒ ගුවන් විදුලියේ නිෂ්පාදනය වුණු සරල ගීත වැඩසටහන් සඳහා. මාලිනී බුලත්සිංහලගේ ඉල්ලීමකට අනුවයි මං මුලින්ම ගීතයක් ලියන්නේ. ඒ තමයි ‘රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුණේ‘යන ගීතය. නන්දා මාලනී වෙනුවෙන් ලියපු ‘පිපුණු මලේ රුව එ මල දනී දෝ‘ගීතයත් සරල ගී වැඩසටහනක් සඳහා මා අතින් රචනා වෙන්නේ. ගීතය සංගීතවත් කරන්නේ පී. ඩන්ස්ටන් ද සිල්වා. ගුණදාස කපුගේට පළමුවෙන්ම ලියන්නේ ‘සුබ ප්‍රාර්ථනා කියමන්‘ගීතය. මේ නිර්මාණ කිසිවක් වාණිජ පරමාර්ථයෙන් කළ නිර්මාණ නෙවෙයි.“

ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ ලූෂන් බුලත්සිංහල සහ බන්දුල විතානගේ රූපවාහිනී සංස්ථාවේ ආරම්භය සමඟ එයට මුදා හැරියේය. ඔවුන්ගේ ආයතන ප්‍රධානියා ලෙස දෛවෝපගත ලෙස මුණගැසෙන්නේ එම්.ජේ. පෙරේරාය.

“ඒ ගත කළේ හරිම දුර්ග සමයක්.“ලූෂන් අපට කිව්වේය. රූපවාහිනියේදී ලූෂන් බුලත්සිංහල ‘එක මවකගේ දරුවෝ‘සහ ‘තාරාදේවී‘ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේය. 1987වසර වනවිට ලංකාවේ පැවැති එකම රූපවාහිනී සම්මාන උළෙල වූයේ ‘විජය රූපවාහිනී සම්මාන උලෙළෙය. ටෙලි නාට්‍ය සඳහා සම්මාන 11ක් ලබා දෙන එම උත්සවයේ ‘තාරාදේවි‘ ටෙලි නාට්‍ය වෙනුවෙන් සම්මාන නවයක් පිරිනැමිනි.

“ඒ ගැන රූපවාහිනි ප්‍රවෘත්තියකවත් පළ වුණේ නෑ. මිනිස්සුන්ගෙ පෞද්ගලික අභිලාෂ අනෙකාගෙ ජීවිතයට කරන බලපෑම විශාලයි.“ඔහු පැවසුවේ එය ධර්මතාවක් බව හැඟවෙන ලෙසය.

ඔබ කොහොමද ඒ හැල හැප්පීම් දරාගන්තේ. ඔහු සැහැල්ලුවෙන් හඬ අවධි කළේය.

“මම එයට විශේෂ පරිශ්‍රමයක් දැරුවේ නැහැ. නමුත් මගේ වැඩ කොටස කරගෙන ගියා. රූපවාහිනියෙන් මාව නෙරපුවා. ඊට පස්සේ මගේ ජීවීතේ වැඩි කාලයක් ගත කළේ ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු ලෙස. මගේ ජීවනෝපාය සලසා ගත්තේ ටෙලි නාට්‍ය රංගනයෙන්.

“මම මුලින්ම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ 1995දී. ඒ ජැක්සන් ඇන්තනි නිර්මාණය කළ ‘ඇසළ කළුවර‘ නාට්‍යයට. මමයි සබීතායි එහි ප්‍රධාන භූමිකා නිරූපණය කළේ. මට මතකයි එහි රංගනය වෙනුවෙන් පෞද්ගලිකව මට ඇගයීම් ලැබුණා.“

“1997 වනවිට සිවගුරුනාදන් සහ තවත් අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් තමයි මාව නිර්මාණවලට ගත්තේ. වැඩිපුරම රඟපෑවේ සිවගුරුනාදන්ගේ නිර්මාණවල. ටෙලි නාට්‍ය රංගනය නිසයි මම මැකී යන්නේ නැතුව මොනවා හරි යමක් කරනවා කියලා දැනෙන්න ගත්තේ.

“රූපවාහිනියෙ ඉද්දි බොහෝ අයට මාව පෙනුණේ සතුරෙක් වගේ. කිසිම වරදක්, චෝදනාවක් නැතුව දෙසැරයක්ම මගේ වැඩ තහනම් වුණා. එහෙම දුෂ්කරතා කළමනාකරණය කරගත්තා.“

කාලෙකට පස්සේ මට ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ ‘හෝ ගානා පොකුණ‘චිත්‍රපටයට එක් වෙන්න ලැබුණා. 2018දී මම හිතවතකුගේ උදවුවෙන් ‘වෙස්මූණ ගලවන්න‘නාට්‍යය කළා.“

කෙසේ නමුත් ඔහුට ආදරය කළ ප්‍රේක්ෂක පිරිස ඔහුව හැර ගියේ නැති බව අපි විශ්වාස කළෙමු.

“මගේ රසිකයෝ නිසයි මම ජීවත් වුණේ. අදටත් බොහෝ දෙනා මගේ රංගනය මතක් කරනවා. ‘ඇසළ කළුවර‘ නාට්‍යයේ රංගනය, ‘පුංචි වලව්ව‘නාට්‍යයේ රංගනය, සිවගුරුනාදන්ගේ නාට්‍යවල තාත්තාගේ චරිතවලින් මම කළ රංගනය ප්‍රේක්ෂකයන්ට අදටත් මතකයි.

අවසාන වශයෙන් අපි ඔහුව විමසුවෙමු. එවන් ආදරයක් තියෙද්දි ඔබ ආයෙත් කලාවෙන් ඈත් වෙලා. ඇයි ඒ?
කිසිම දෙයකින් ඈත් වෙලා නෑ. මේ කොරෝනා කාලේ නම් වැඩකිහිපයකට කතා කළා. නමුත් කොරෝනා ප්‍රශ්න නිසා මම ඒ නිර්මාණ බාරගත්තේ නෑ. කොහොමත් මම ජනප්‍රිය තරුවක් වගේ රඟපාන කෙනෙක් නෙමෙයි. මට ගැළපෙන චරිතයකට ආරාධනා ලැබුණේ ඉදහිට. මට ගැළපෙන දේවල් තෝරාගෙන රඟපෑවා. දැන් අවුරුදු එකහමාරකින් විතර රඟපෑවේ නෑ. ඉදිරියේදි හොඳ පසුබිමක් තිබ්බොත් ගැළපෙන දෙයකට සම්බන්ධ වෙනවා.“
ඔහු බලාපොරොත්තු සහගතව කියන්නේය. මේ වනවිට ඔහු සිය ස්වයං ලිඛිත චරිතාපදානය සඳහා සැරසෙමිනි.

“කවදා හරි කාටහරි ඒ දේවල් කියවන්න පුළුවන් වෙන්න පොතක් විදිහට මගේ ජීවිත අත්දැකීම එළියට ගේනවා.“

ෂර්ලි සමරසිංහ