අසනීප කාලේ මාව දාලා ගිය බිරිඳ නැවත ආවොත් මම භාර ගන්නේ නැහැ, ඒ විදවපු කාලේ මට යළිත් විඳවන්න ඕන නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සචිත් පීරිස් කියන නම ඇසුවත් ඒ රූපය දුටුවත් කටහඬ ඇසුවත් ඒ කවුද මොනවාද කරන්නේ කියලා නොදන්න කෙනෙක් නැහැ. සංගීතයම ජීවිතය කරගත් සචිත් ගැන පසුගිය කාලයේ බොහෝ දෙනෙකු කතා කළ චරිතයක් බවට පත් වුණා. ඒ ඔහුගේ අසනීප තත්වය නිසා. නමුත් දැන් නම් ඔහු ගැන කවුරුත් කතා කරන්නේ ඔහුගේ අලුත්ම ගීත ගැනයි. නිර්මාණ එක්ක දවස ගෙවන සචිත්ට අනුකම්පාව නිසාද ප්‍රතිචාර ලැබෙන්නේ, අපි බලමු ඔහු මොනවද කියන්නේ කියලා. මේ ඔහුත් එක්ක ඔහුගේ ජිවිතේ අලුත් තොරතුරු කතා කළ අයුරුයි.

සචිත් කොහොමද ජිවිතේ, දවස ගෙවන්නේ සංගීතය එක්කමද..?

සතුටින් දවස ගෙවනවා. දවසේ වැඩකටයුතු කරගෙන. සංගීතය එක්ක දවස ගෙවනවා කිව්වත් වරදක් නැහැ. කාලයක් මඟ හැරුණු සංගීත ජිවිතේ යළිත් පටන් ගන්න පුළුවන් වුණා. මඟ හැරුණු කාලෙටත් එක්ක මම දැන් වැඩ කරනවා. අඩුම තරමේ මාසයකට වතාවක් හෝ ගීතයක් කරන්න තමයි මම දැන් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

දෙව්ලියේ කියන ගීතය රිලීස් කරන්නේ ඒ බලාපොරොත්තුව ඉටු කරගැනීමක් විදිහට වෙන්න ඇති නේද..?

ඔව්. මම අවුරුදු හයකට පස්සේ පසුගිය දෙසැම්බර් මාසේ නාඩගම් කියලා ගීතයක් කළා. ඒ ගීතයට හිතපු නැති විදිහට ප්‍රතිචාර ලැබුනා. කොරෝනා තත්වය එක්ක රට වහනවා අරිනවා. ඒ හේතු නිසා මට ගීත කරන්න පරක්කු වුණා. නමුත් මට අලුත් ගීතයක් පසුගියදා එළිදක්වන්න අවස්ථාව ලැබුනා. ඒ තමයි දෙව්ලියේ ගීතය. මේ ගීතය මම ගායනා කරන්නේ සමිතා මුදුන්කොටුව එක්ක. මේ ගීතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් රසිකයින් කමෙන්ට් කරලා තිබ්බා ගීතය ලස්සනයි කියලා. ඒ ප්‍රතිචාර දැක්කම හරිම සතුටුයි.

සමිතා මුදුන්කොටුව කියන්නේ ලයාන්විත හඬක් තියෙන ගායිකාවක්, සමාජ මධ්‍යයේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන නිසාද ඇයව මේ ගීතයේ ගායනයට යොදා ගත්තේ..?

ටික කාලෙකට කලින් සමිතා මුදුන්කොටුව වෙළෙද දැන්වීමකට සම්බන්ධ වුණා. ඇයගේ කටහඬ ඒ මොහොතේ අහන්න ලැබුණම මම හිතුවා දෙව්ලියේ ගීතයට ගැළපෙනම කටහඬ ඇය තමයි කියලා. ඒ නිසයි පද හා සංගීතයට ගැළපෙන ඇයගේ කටහඬ මම මේ ගීතයට යොදා ගත්තේ. වෙන හේතුවක් නැහැ. ඇය අතිශය දක්ෂ ගායිකාවක්.

ගීතයට රූපරචනා නිර්මාණය කිරීම දැන් කාලේ රැල්ලක් වෙලානේ, මේ ගීතයටත් රූපරචනයක් කරන්න බලාපොරොත්තු වෙනවද..?

ඔව්. රට ඇරියට පස්සේ මේ ගීතයට රූප රචයක් කරන්න බලාපොරොත්තුවෙන් ඇත්තටම ඉන්නේ. එය ඉක්මණටම රසිකයින්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

රූපරචනා කලාව එක්ක දෝෂාරෝපණය එනවා වැඩියි, පද හා සංගීතයට කොහෙත්ම රූප රාමු ගැලපෙන්නේ නැහැ කියලා, ඔබටත් ඒ වගේ චෝදනා එල්ල වෙලා තියෙනවා..?

වසර ගණනාවකට කලින් මම ඉන්දියාවේ හිටියේ, වයි දිස් කොලවරි කියන චිත්‍රපටියේ සංගීත නිර්මාණය කරන්න මට ආරාධනාවක් ලැබුණා. කොලවරි ගීතයට මම සංගීතය නිර්මාණය කළා. නමුත් රටේ තිබ්බ තත්වය එක්ක ඉන්දියාවේ ඉන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. සිංහල අයට ඉන්දියාවේ ප්‍රශ්න. ඔය හේතු නිසා මට ලංකාවට එන්න සිද්ධ වුනා. නමුත් මම කොලවරි ගීතයට කරපු සංගීතය භාවිතා කරලා "වෙන්න" කියන ගීතය නිර්මාණය කළා. මේ ගීතයේ වචනවල කිසිම හරයක් නැහැ. ගැලපෙන්නේ නැහැ. නමුත් ශබ්ධ රසය නිසා තරුණයින් පිරිසක් එය වැළද ගත්තා. නමුත් බොහෝ දෙනෙක් මට බැන්නා. නිර්මාණ කනවා කියලා. නමුත් වැරදි අදහසකින් නිර්මාණය කරා නෙමෙයි. ඒ ගීතයට නම් මට හැමෝම වගේ බැන්නා. නමුත් දෙව්ලියේ ගීතයට ලස්සන රූප රචනයක් කරනවා ලැබුණු ප්‍රතිචාරවලට හානියක් වෙන්නේ නැතුව හා නිර්මාණයේ රසයට හානියක් නොකර.

සච්ත් ඉස්සර කොහොමත් ජනප්‍රියයි, නමුත් දැන් ඔබ ගැන කතා කරන්නේ හා ප්‍රතිචාර ඔබට දැන් ලැබෙන්නේ අසනීප තත්වයේ අනුකම්පාවට කිව්වොත්..?

මම නම් කොහොමත් අනුකම්පාව ලබා ගන්න ජිවත් වෙන කෙනෙක් නෙමෙයි. නිර්මාණ කරන කෙනෙකුත් නෙමෙයි. මගේ දක්ෂතාවයට මට ප්‍රතිචාර ලැබුනොත් ඇති. මම මගේ ලෙඩේ මාකට් කරෙත් නැහැ, කරන්නෙත් නැහැ. කලාකරුවෙක් හැටියට අපේ දක්ෂතාවයට තමයි රසිකයින් අපි ළඟ ඉන්නේ. අදක්ෂයි නම් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ, නිර්මාණ අසාර්ථකයි නම් ප්‍රතිචාර ලැබෙන්නෙත් නැහැ.

ඔබ 2012 සිට වසර ගණනාවක් පිළිකා මාරයා එක්ක සටන් කළ තරුණයෙක්, දැන් හොඳටම සුවයි කියලා ආරංචියි..?

දැන් හොඳටම හොඳයි. මනස සුවසේ තබා ගැනීම, මනස ලෙඩ කරගන්නේ නැතුව ජිවත් වෙන එක තමයි මම කළේ. හිත වැටුණු අවස්ථා තිබ්බා, ජිවිතේ නැති කරගන්න ඕන කියලා හිතපු අවස්ථා තිබ්බා. නමුත් ඇත්ත කියන දේ තේරුම් ගියාට පස්සේ අද දවස කොහොමද සතුටින් ජිවත් වෙන්නේ කියලා මම ඉගෙන ගත්තා. අදටත් මම ජිවත් වෙන්නේ අතිතයෙවත් අනාගතයේවත් නෙමෙයි. වර්ථමානයේ. ඒ නිසා අද දවස මම සතුටින් ජිවත් වෙනවා. ඒ සතුට හා මනස සුවපත්ව තබා ගැනීමත් මගේ රෝගය සුව වෙන්න බලපෑවා. මම දැන් සුවෙන් ඉන්නවා. පිළිකාව කියන්නේ මාරාන්තිකයි තමයි, නමුත් දියවැඩියාව කියන එක පිළිකාවට වඩා භයානකයි.

ලෙඩ වෙන්න පුළුවන්, සල්ලි නැති වෙන්න පුළුවන්, කැමති කට්ටිය දාලා යන්න පුළුවන්, නමුත් නරක කාලයක් වගේම හොඳ කාලයක් එනවා. මනසින් වැටෙන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම බෙහෙත. පිළිකාවෙන් හෝ වෙනත් රෝගයකින් පෙලෙන අයගෙන් මම ඉල්ලන්නේ එච්චරයි.

අසනීප තත්වය එක්ක ඔබේ බිරිඳ ඔබව දාලා යනවා, දැන් ඔබ සියයට සියයක් හොඳින්, අසනීපය නිසා හැරගිය බිරිඳ නැවත අවොත් ඔබ භාර ගන්නවද..?

මොන දේ තිබ්බත් නැතත් මම ජිවත් වෙන්නේ වර්තමානයේ. අසනීප තත්වය නිසා මගේ විවාහ ජිවිතෙ තිබ්බේ කෙටි කාලයයි. එය අතීතයේ සිදුවීමක් විතරයි. මම ඇය ගැනවත් ඒ අතීතය ගැනවත් කතා කරන්න දැන් කැමති නැහැ. ඇය එන එකක් නැහැ නැවත. අවොත් භාර ගන්නෙත් නැහැ. මම ඇය නිසා විදවපු කාලයක් තිබ්බා. ඒ වගේ කාලයක් ආයේ උදා කරගන්න මගේ කැමැත්තක් නැහැ. සතුටින් ජිවත් වෙන්න තිබ්බොත් මට ඇති.

දැන් පෙම්වතෙක්ද..?

කොහෙත්ම නැහැ, නිර්මාණවලට විතරයි මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ.

නැවත විවාහයක් කරගන්නවද..?

නැවත විවාහයක් ගැනත් මම තවම හිතලා නැහැ.

අසනීප කාලේ ඔබ ලඟින්ම හිටියේ..?

මගේ දෙමාපියෝ සහ මගේ සහෝදරයෝ දෙන්නා. එක අයියා කෙනෙක් විවාහකයි. ඔවුන් තමයි මට හයියක් වුනේ. මම දැඩිව අසනීපයෙන් ඉන්නකොට අම්මා තාත්තා මානසිකව වැටෙන්න ඇති. නමුත් මට ඒ බව දැනෙන්න දුන්නේ නැහැ. අසනීපයක් තියෙනකොට වටේ ඉන්න අයත් මානසිකව වැටෙන්නේ නැතුව ජිවත් වෙන්න ඕන.

හර්ෂණී වීරරත්න