කළු ඇඟට සුදු කොණ්ඩේ ආවම කලාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෞරවනීය ආදරයට පාත්‍ර වූ සොඳුරු මිනිසුන් සොයා යන ගමනේ දී අපට හමුවූ තවත් දයාබර චරිතයකි, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්.  ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික අපේකම තුළින් ටෙලි නාට්‍ය රසාස්වාදය නංවමින් විකාශන කාලය එනතෙක්  රූප පෙට්ටි ඉදිරිපිටට වී බලා සිටින තරමට ප්‍රේක්ෂකයා අතරමන් කළ  ඔහුගේ ඇතැම් ටෙලි නාට්‍ය දශක තුනකට වඩා වැඩි කාලයක් ගත ව තිබුණ ද අදටත් අපේම ජීවිත වල එම රූප රාමු ,රංගන චරිතයන් ජීවමානය.

සුදු සීයා, ඩල්සි, පැතුම්, අහිංසා, දීප්ති විටෙක අපේම පවුලේ සාමාජිකයන් කරමින් හදවතට ආමන්ත්‍රණය කළ ඔහු  සමග කැමරාවෙන්  එහා ජීවිතය ගැන බොහෝ දේ කතා කරන්නට අපි ඔහු මුණ ගැසුනෙමු.

ආයු ....බොහෝ... වේවා ඔබට ?

ඔබටත් එසේම වේවා 

මේ දිනවල මොනවද කෙරෙන්නේ?

නාලන් මෙන්ඩිස් නමින් යු ටියුබ් චැනල් එකක් පවත්වා ගෙන යනවා . විනෝදාස්වාදය හා බැඳුණු  වේදිකාව ,සිනමාව ,ටෙලිනාට්‍ය ආදී කලා මාධ්‍ය වල රසබර හරබර තොරතුරු එහි ඇතුළත් වෙනවා .පාළුව කාන්සිය නිවා ගන්නත් එක්ක පටන් ගත්ත  අලුත් වැඩක් ...දැන් නං ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා 

නව තාක්ෂණය ඔබට අලුත් වූයේ නැද්ද?

පරිසරයේ වෙනස්වීම් අනුව හැඩ  ගැසීමෙන් සත්ත්වයාගේ පැවැත්ම තහවුරු වන බවත් ,එසේ නොවන්නේ නම් වැනසී යන බවත් විද්‍යාවේ පොදු ධර්මතාවය නේ. මමත් එයට අනුගත වුණා.

ඔබ අධ්‍යක්ෂණය කළ ඇතැම් ටෙලි නාට්‍ය  ගැන  මිනිසුන් අදටත් ආදරයෙන් කතාබහ කරනවා..එතරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්න ඔබේ  ටෙලි නාට්‍ය නිෂ්පාදනයන්   තුළ තිබූ රහස  කුමක් ද ?

මම හිතන්නේ එයට ප්‍රධානම හේතුව කරන දේ නිවැරදිව කිරීම.  අප සැමගේ සැබෑම ජීවිතය ගෙදර චරිත බවට පත්කිරීමට   මා මගේ අධ්‍යක්ෂණය තුළින් උත්සාහ ගත්තා. ත්‍රාසය....,භීතිය....,මවාපෑම.... අතිශයෝක්තියට.., යනවට වඩා සරල කම තුළ, සැබෑ චරිත තුළ, ජීවමාන බොහෝ දේ මිනිස්සුන්ට ළං කිරීමට පහසුයි. එදා මෙදා තුර මා ටෙලි නාට්‍යය තිහකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ සියලු නිර්මාණ මිනිසුන් වැළඳ ගන්න ප්‍රධානම හේතුව ඒවා ස්වභාවික විදියට නිරූපණය කළ අපේම ජීවිත කතා වීමයි ....

පුංචි කාලේ කවුරු වෙන්න ද ආසාවෙන් හිටියේ ?

පුංචි කාලෙ ඉඳලම මම පික්චර් පිස්සෙක්.... කොච්චර පිස්සුද කියනවා නම්  එකම චිත්‍රපටය උදේ 10:30 ත් බලලා දහවල් 2.30ත්   බලලා හවස 6.30ත්  බලලා රාත්‍රී 10:30ත් බලන අවස්ථා ඕන තරම් තිබුණා. නව යොවුන් වියේ ඉඳලාම මම චිත්‍රපටි, වේදිකා නාට්‍ය බලනකොට  ලස්සනට රඟපාන නළු නිළියෝ දිහා බලනවාටත් වඩා හිතුවේ කල්පනා කළේ   ...මේ ජවනිකාව කොහොමද කරන්න ඇත්තේ ...මේක හැදුවේ කොහොමද? කියන සිතිවිල්ල... කවදහරි දවසක මමත් මේවා හදනවා ...කියල හිතුවත් ඒ හීන ඔක්කොම හංගාගෙන දෙමවුපියන් කියන විදියට සුපුරුද අධ්‍යාපන කටයුතුවල නිරත වුනා. ඇත්තටම කියනවා නං හැටන් ශ්‍රී පාද  විද්‍යාලයේ  ඉඳලා කොළඹ තර්ස්ටන් විද්‍යාලයට මාව ගෙන ඒමට දෙමව්පියන් මූලිකව කටයුතු කළේ මාව  ලොකු දොස්තර මහත්තයෙක් කරන බලාපොරොත්තුවෙන් .

ඔබේ පළමුවන රාජකාරි කටයුත්ත ?

1978 වසරේ දී. සිංහබාහු වේදිකා නාට්‍යයේ ”
වේදිකා පරිපාලක” විදිහට. 
 වේදිකා නාට්‍ය වලට ලොකු ආශාවක් තිබ්බ නිසාම මම පාසල් අධ්‍යාපනයෙන් පසුව ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වෙනවා ....වේදිකා නාට්‍ය සැකසීමේ අකුරු සොයා යාමට. එහි දී මට සිනමා අධ්‍යක්ෂ ධම්ම ජාගොඩ සූරීන් මුණගැහෙනවා. ශාලිකාවට ගිය මුල්ම දවසේ ධම්ම සර්  මගෙන් ඇහැව්වා ”
ඇයි ඔයා මෙතෙන්ට ආවේ කියලා ”
වේදිකා නාට්‍ය හදන්නේ කොහොමද කියලා දැනගන්න ආවේ ” කිව්වාම  ඔහු මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා කිව්වා ”
හොඳයි ඔබට ඒ සියල්ල මෙහිදී දැනගන්න පුළුවන්” කියලා ..

ඔබ අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය වලින් වඩාත්ම නාට්‍ය වලින් වඩාත්ම ජනාදරයට පාත්‍ර වන්නේ ?

අධ්‍යක්ෂණය කළ පළමු ටෙලි නාට්‍යයේ ඉදලම විසිනම වන ටෙලි නාට්‍යය දක්වාම ප්‍රේක්ෂකයන් මගේ නාට්‍ය ආදරයෙන් වැලඳගත්තා.   නමුත් නාලන් මෙන්ඩිස් කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා කවුද කියලා බොහෝ දෙනෙක් හොයන්න ගත්තේ ‘‘දූදරුවෝ’’ ටෙලි වෘත්තාන්තය සෑම ගෙදරකම ආලින්දයේ දී තමන්ගේම පවුලේ සාමාජිකයන්ගේ  ජීවිත කතාව බවට පත් වෙද්දී ....

වේදිකාව , රූපවාහිනිය තදින්ම ස්පර්ශ කළ ඔබට කවදාවත් එහි ප්‍රධාන චරිතයක් ගන්න ,එහෙම නැත්තන් ටෙලිනාට්‍ය හිටපු කෙනෙක් තමන්ගේ ම කරගන්න හිතුනේ නැද්ද ?

නැහැ ....කවදාවත් නළුවෙක් වෙන්න වත්... නිළියක් බඳින්නවත් හිතුනේ  නැහැ ..

නිළියන් සමඟ කටයුතු කරද්දී බිරිඳගේ න් තහංචි  වැටුණු අවස්ථා තිබුණෙ නැද්ද ?

කවදාවත් නැහැ . ඇය වෘත්තියෙන්  ගුරුවරියක් ...ජීවිතය ගැන මනා අවබෝධයකින් කටයුතු කළ කෙනෙක් ..මම යම් කිසි ගමනක්   පැමිණ සිටිනවා නම් ඒ පැමිණීමේ ගෞරවය අනිවාර්යයෙන් ම ඇයට හිමිවිය යුතුයි....ජීවිතයේ වටිනාම කාලය වෘත්තිය වෙනුවෙන් ගත කරද්දී  ඇය ඒ සියල්ල දරාගෙන සතුටින් මට උදව් කළා.

ඔබ වාසනාව ගැන විශ්වාස කරනවාද?

මගේ ජීවිත කාලය පුරාවටම මම වාසනාව ගැනවත් ලැබීම  ගැනවත් විශ්වාස කළේ නැහැ .උත්සාහය, උනන්දුව, කැපවීම ,අධිෂ්ඨානය වගේම, තමන් ගැන තමන්ට  ආත්ම විශ්වාසයක් තිබෙනවා නම් ජීවිතේ ඉලක්කයන් වෙත ලංවීම අභියෝගයක් වෙන්නෙ නැහැ  කියල මම  නිතරම විශ්වාස කරනවා...

ඔබේ නිර්මාණ වල සාර්ථකත්වයට ඔබ තෝරා ගත් නළු නිළියනුත් විශාල පිටුවහලක් වුණා නේද ?

ඔව්... පිටපත  අතට ලැබුනාම  එය හොඳින් කියවල  ඒ ඒ චරිත වඩාත්ම හොඳින්  කළ හැකි රංගන ශිල්පීන් ශිල්පිනියන් කවුද කියලා මම හිතෙනවා.. සමහර වෙලාවට එක චරිතයකට දෙතුන් දෙනෙක් තෝරා ගෙන  සුදුසු ම කෙනා   සොයා බලන අවස්ථාත් තිබෙනවා. රඟපෑම  පටන් අරගෙනත් ඇතැම් වෙලාවට එ චරිතයට යම් ශිල්පියෙක් සුදුසු නැහැ කියලා හිතුණොත් එ අය ඉවත් කරන අවස්ථා තියෙනවා. ඒ අනුව හොඳම අයම තමයි තෝරා ගැනීම කරලා තිබුණේ ....

ඔබේ ටෙලි නාට්‍ය වල ප්‍රේම ජවනිකා වල  සිටී  ප්‍රේමවන්තයින් සැබෑ ජීවිතයේදී  ප්‍රේමවන්තයින් වුණු අවස්ථා තිබුණා ද ?

වසර කිහිපයක් එකම ටෙලි නාට්‍ය  ය දර්ශන  තලයක රඟපෑම් කරනකොට   හඳුනාගෙන, සම්බන්ධතා ගොඩ නගා ගත් අය බොහෝ දෙනෙක් සිටියා ..ඇතැම් අය ප්‍රේමවන්තයින් වුණා . සමහර අය විවාහ වුණ අවස්ථාත්   තිබුණා ....ඒ සියල්ල ඔවුන්ගේ කැමැත්ත අනුව සිදු උන දේවල් ....ඒවට මගේ සම්බන්ධයක් නැහැ .නමුත් අදටත් චන්නයි යශෝධයි උත්සවයකදී හරි  එකට ඉන්නවා දැක්කොත් බොහෝ දෙනෙක් සිතන්නේ ඔවුන් අඹු සැමියන් කියලා ....ඒ තරමටම මිනිසුන් දූ දරුවන්  එකේ හිටපු අහිංසවයි  පැතුම්වයි වැළඳ ගෙන තිබුණා .

අධ්‍යක්ෂණ කටයුතු කරද්දී වැරදිලා එහෙම නැද්ද ?

කිහිපයක්ම තියෙනවා .මේ මෑතක දී වසර දහයකට මෙහා සිදුවුණු සිදුවීමක් .” මුහුණු පොත ”ටෙලි නාට්‍යයේ කොටසක් රූගත කිරීම් වලට රංගන ශිල්පීන් හතර දෙනෙකුත් එක්ක අපි උඩවලවට ගියා .සැලසුම් කළ ආකාරයට එහි දී දිනයක් පමණ රූගත කිරීම් කළා .ඉස්සර වගේ නොවෙයි දැන් තාක්ෂණය අතින් හරිම ඉහළයි නේ .අපි එම රූගත කිරීම සඳහා භාවිතා කළේ ඩිජිටල් කැමරාවක් ...එම කැමරාවේ පටිගත කිරීම් සියල්ල තැන්පත් වන්නේ චිප් එක ක ...රූ ගත කිරීම් අවසානයේ අපි කොළඹ ආවා .පසු දින පටිගත කළ රූප රාමු බලන්න කැමරාව ඔන් කලහම එක දර්ශනයක් වත් පටිගත වී තිබුණේ නැහැ ...අප එදා ගත්ත දර්ශන සියල්ලම ටෙලි නාට්‍යයට ඇතුළත් විය යුතුමයි ..පසුව රඟපෑම් සඳහා සිටි රංගන ශිල්පීන්ට ඉඩක් ලැබෙන කං ඉඳලා මාසෙකට විතර  පස්සේ උඩවලවෙ දර්ශනය කොළඹ පටිගත කළා .

විනෝදාංශ විදිහට මොනවද කරන්නේ ?

චිත්‍රපටි නැරඹීමයි ,පොත් බලන එකයි තමයි ප්‍රධානම විනෝදාංශ දෙක . වසර ගණනාවක් ඉඳල  මම ස්වර්ණ පුස්තක සම්මාන තෝරා ගන්නා විනිශ්ච මණ්ඩලයේ පාදක මණ්ඩලයේ සිටින නිසා වසර ගණනාවක්  ම විශාල පොත් ප්‍රමාණයක් කියවන්න ලැබිලා තියෙනවා ...ඇත්තටම පොත් කියවීම දැන් ඇබ්බැහි වීමක් වගේ ....කෙටි කතා, නවකතා,  පමණක් නොවේ මම හරිම ආසයි ක්‍රීඩා සාහිත්‍ය ගැන ලියවුණු පොත් පතුත් කියවන්න .

නිරෝගිකම ආරක්ෂා කර ගන්න මොනවද කරන්නේ ?

ශරීර සෞඛ්‍යයට අගුණයි කියල හිතෙන කෑම මොකුත් ගන්නේ නැතුව ඉන්න උත්සහ කරනවා.   කෑම ට බොහෝ වේලට ගන්නේ  දුඹුරු පැහැති   නිවුඞ්ඩ සහිත බත්. අනිත් දේ තමයි වෙලාවට කෑම ගන්න එක .වතුර ත් ගොඩක් බොන්න උත්සාහ කරනවා .වෛද්‍ය උපදෙස් අනුව ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලබාගන්න ඇවිදිනවා....

කොන්ඩය කළු කරලා .. ඇඟ  සුදු කරගෙන නළුවෙක් වගේ ඉන්න කැමැත්තක් තිබුණෙ නැද්ද ?

නැහැ .ඇඟ ගැනවත්, කොණ්ඩෙ ගැනවත් ලොකුවට හිතපු කෙනෙක් නෙමෙයි මම. මගේ කොණ්ඬේ සුදු වෙන්න පටන් ගත්තේ තරුණ අවධියේදීමයි. කෙස් ගහක් දෙකක් සුදු වෙනකොට හැමෝම කිව්වා කොන්ඩෙ පාට කරන්න  කියලා. ඒත් මම  ඒකට  එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. එදා ඒක පාට කරානම් අද ඒක දිගටම පාට කරන්න වෙනවා .එක අතකට ඒක  වදයක් .දැන් නං එක කළු කෙස් ගහක් කොණ්ඩෙ නැහැ . කළු ඇඟට සුදු කොණ්ඩය අාවම පොඩි කලාවකුත් තියෙනවා  කියලා මට හිතෙනවා....

විලාසිතා කරන්න කැමති නැද්ද ?

මා නියැලෙන වෘත්තිය අනුව සරල බවයි ,පහසුවයි තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. ඩෙනිමට ,කොට්න් සහ ලිනන් ෂර්ට් අඳින්න මම ගොඩක් කැමතියි ....

අධ්‍යාත්මික  සතුට වෙනුවෙන් ඔබ මොනවද කරන්නේ ?

ලේබල්  අලවාගෙන ආගම අදහන කෙනෙක්  නම් නොවේ මම ....නමුත් නිරතුරුවම හිතේ සතුට රඳවා ගෙන ජීවිතාවබෝධයෙන් කටයුතු කිරීමට උත්සාහ කරනවා.

ඔබ හිතන විදියට ඔබ සතු යහපත් ම ගුණාංගය මොකක්ද ?

වෙලාවට වැඩ කරන එක .ක්ෂේත්‍රයෙන් බොහෝ දෙනෙක් දන්නවා වෙලාවට වැඩ කරන්නේ නැති  අය එක්ක මම මොන තරම් කේන්ති ගන්නවා ද කියලා. දර්ශන තලයක හිටියත් කෑම ටික පවා වෙලාවට ලබා දෙන්න  මම නියම කරලා තිබුණ  දෙයක් ...

ඔබ සාර්ථක මිනිසෙක් ද ?

පොතක් ලියන්න ඕනේ,ගහක් හිටවන්න ඕනේ ,පුතෙක් හදන්න ඕනේ කියලා කියමනක් තියෙනවානෙ. මේ සියලු කරුණු මම සම්පූර්ණ කරලා තියෙන නිසා මම හිතනවා මම සාර්ථක මිනිහෙක් කියලා...

ආදරේ ගැන මොකද හිතෙන්නේ ?

තමන්ට කිසිම ලාභ ප්‍රයෝජනයක් නොතකා අන් අය වෙනුවෙන් කරන ආත්මීය පරිත්‍යාගයක් ආදරයක් විදිහට මම දකිනවා .

ජීවිතයේ වඩාත්ම සතුටු වුණු දවස?

කිහිපයක්ම තියෙනවා .විවාහ වුණු දවස .පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ දවස .පළමු පොත මුද්‍රණය කරපු දවස. දරු දෙදෙනා බිහි වුණු දවස් , වගේම අද වන විට මුනුබුරු මිනිබිරියන් බිහිවූ  දවස්  හදවතට හරිම සතුට දුන්  සිදුවිම් වෙනවා. 

ජීවිතේ සංවේදීම වුණු දවස ?

මගේ ආදරණීය බිරිඳ මෙලොවින් සමු ගත්ත දවස ..ගිය වසරේ මාර්තු මාසේ මුළු රටටම ඇඳිරි නීතිය දාලා තියෙන වෙලාවකයි ඇය  අපෙන් සමු ගත්තේ. සෙනෙහෙබර මවක් ආදරණීය බිරිඳක් ලෙස ට   මගේ ජීවිතේට සෙවනැල්ලක් වුණු ඇයගෙ සමු ගැනීම අදටත් හීනයක් වගේ.

අසුන්තා එදිරිසූරිය