තට්ටු දෙකේ ඉස්කෝලේ ඕස්ට්‍රේලියාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තට්ටු දෙකේ ඉස්කොලේ ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට මේ ඉකුත් දා මට අසන්නට ලැබුණු පුවතකි. ලංකාවේ සිනමාශාලා වැසී ඇති අවදියක ලංකාවේ චිත්‍රපටයක් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ සිනමා ශාලා විසිහතරක ප්‍රදර්ශනය වීමම ප්‍රවෘත්තියකි, සුභාරංචියකි. අරුමයක් ලෙස ද සීතිමේ වරදක් නැත. එබැවින් ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ නිර්මාණය කළ ලලිත් රෝහිත එදිරිසිංහට සඳැල්ලට ඇරයුම් කළෙමු. ඒ අදියුරු හඬ නමින් අලුත්ම විශේෂාංගයකට ද ඉඩකඩ විවර කරමිනි. 

• මං දන්නේ, ලලිත් රෝහිත එදිරිසිංහ කියන පත්තර කර්තෘව.

ඔව්, මම ගමන පටන් ගත්තේ යොවුන් පත්තරේක කර්තෘ කෙනෙක් විදිහට. හැබැයි කිසියම් කලෙක ඒ පත්තර නතර වුණාට පස්සේ මම සිරස ටී.වී එකට කතාවක් ලියන්න සම්බන්ධ වෙනවා. 

• මොකක් ද ඒ කතාව 

ආදරේ අහස තරම්. ඊට පස්සේ සිඳංගනා. නමුත් මේ කතා ලියන්න මං එකතු වෙන්නේ අතරමැදදී. හැබැයි බ්‍රහ්ම මුහුර්තය කියන කාතාව මුල මැද අග ඔක්කොම මගේ රචනයක් ඒක විකාශය වුණේ හිරු ටී.වී. එකේ. 

• එතැනින් සිනමාවට 

මේ ටී.වී කතා පිටපත ලියන කාලේ මට හරියට කැපිලි ආවා. එතකොට තමයි මං තීරණය කළේ කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා අර කැපිලිකාරයන්ට උත්තර දෙනවා කියලා.

• තට්ටු දෙකේ ඉස්කෝලේ ඒ උත්තරේ

ඔව්. 

• ඒකේ පිටපත?

මමම ලියනවා. 

• කොහෙන් ද කතාව?

මේක මගේම ජීවිත කතාව. පුංචි කාලේ ඉඳලම මම කුලෑටි ළමයෙක්.  පුංචි දේටත් හිත රිද්දගත්තු අඬපු ළමයෙක්.. අක්කා එක්ක දිවුල් ගෙඩියකට රණ්ඩු වෙලා හිත රිද්දගෙන හිස් අතින් වත්තට දුවලා ගස්වලට දුක කියපු ළමයෙක්. ඒ ළමයගේ කතාව තමයි මම ලියන්නේ. මම උපන්නේ නිකවැරටියේ. නිකවැරටියෙන් ඈතම ඈත පිටිසර ගමක රෑට පත්තු කරන්නේ කුප්පි ලාම්පුව. සමහරදාට කන්න නැතුවාම සියඹලා කාලා වතුර බීලා බඩපුරව ගත්තු ළමයෙක්. ඒ ගම ඒ පරිසරය ඒ අතීතය තමයි මේ කතාව. 

• මේ චිත්‍රපටය ගහට කොළට පෙම් කරන්න කියලා දෙන කතාවක්. 

ඇත්තටම ගහක් කියන්නේ දුප්පත් පෝසත් හැමෝටම එක වගේ ආදරය දෙන ඵලවැල දෙන සෙවන දෙන අම්මෙක් වගේ කෙනෙක්. ඒක අපේ ළමයින්ට කියල දෙන්න ඕනෑ දෙයක්. 

• ප්‍රධාන චරිතය.

පාල මාමා එයා වැහිලා ගිය පාසලක මුරකාරයා. 
නමුත් පාසල අහිමිවුණු දරුවන් දොළහක් එක්ක මේ පාල මාමා. ඉස්කෝලයක් පටන් ගන්නවා. ඔහු උගන්වන්නේ පරිසරයට ආදරය කරන්න. මනුෂ්‍යත්වයට ආදරය කරන්න. 

• කව්ද මේ පාල?

මම පිටපත ලිව්වේම ජයලත් මනෝරත්න හිතේ තියාගෙන. පිටපත ලියලා මම මනෝ මහත්තයාට පෙන්නුවා. පිටපත කියවපු ඔහු මට කිව්වේ මේක කවියක් වගේ ලස්සන පිටපතක් හැබැයි චිත්‍රපටියක් කියන්නේ කවියක් නෙවෙයි. ඒකට ගැටුම් තියෙන්න ඕනෑ කියලා. පස්සේ දී මම මගේ පිටපත අලුතින්ම ලියනවා. හැබැයි මනෝ මහත්තයා හරි ආසාවෙන් හිටියේ පාල මාමාගේ චරිතය රඟපාන්න. 

• නිෂ්පාදකයෙක් මුණ ගැහෙනවා. 

මම නිෂ්පාදකයන් කිහිප දෙනෙක්ම හමුවෙන්න ගියා. පිටපත බලලා හරියට පැහැදුණා. හැබැයි එයාලා කැමති වුණේ නැහැ අධ්‍යක්ෂණය මට දෙන්න. එයාලා කිව්වේ ඔට්ටුවට දාන්නේ දුවන අස්සයෝ කියලා. 

• ලලිත් කියන්නේ දුවන්න බැරි නොන්ඩි අස්සයෙක් එහෙම ද?

නොන්ඩි නැතත් කලින් දුවල තිබුණේ නැති අස්සයෙක්. ඉතින් නිෂ්පාදකවරු හිතුවේ නැහැ මම වින් කරයි කියලා. 

• ඔබට දුවන්න ඉඩ දුන්නු නිෂ්පාදක කව්ද?

රාගම රෝහලේ වෛද්‍යවරයෙක්. නිශාන්ත ප්‍රගීත් රොද්‍රිගෝ. එයා මගේ එකවුන්ට් එකට ලක්ෂ සීයක් දාලා වැඩේ පටන්ගන්න කිව්වා. ඒත් මුහුරත් එක තියපු දවසෙම ප්‍රධාන නළුවා ජයලත් මනෝරත්න අසනීප වෙනවා. 

එතකොට?

මම මාස හතරක් බලාගෙන හිටිය එතුමා සනීප වෙනතුරු. පස්සේ ජගත් චමිලව පාල මාමගේ චරිතයට තෝර ගෙන වැඩේ පටන් ගත්තේ. මංජුලා කුමාරි, ජනක් ප්‍රේමලාල්, වොල්ගා කල්පනී, දමිතා අබේරත්න, අවන්ති අපොන්සු, නයනා හෙට්ටිආරච්චි, මෞලි දුෂ්මන්ත, සූර්යා දයාරුවන්, ප්‍රියන්ත සිරිකුමාර සමඟ ළමයි දොළොස් දෙනෙක් එක්ක රූගත කිරීම් පටන් ගත්තා. 

කොහෙද රූගත කළේ. 

මම ඉගෙන ගත්තු ඉස්කෝලේ නිකවැරටියේ උහගොල්ල විද්‍යාලයෙන් පටන් ගත්තා. යාපහුව කඳුරුවැට, කුරුණෑගල වගේ ප්‍රදේශ කිහිපයකත් රූ ගත කිරීම් කළා. 

මේ ඔබේ පළමු අධ්‍යක්ෂණය? 

ඔව්, මේයට කලින් මම ෂූටින් වත් දැකලා නැහැ. නමුත් මම කොහොම හරි වැඩේ කරගත්තා. ජගත් චමිල ළමයින්ට වැඩමුළු තියලා එයාලගෙන් උපරිම රඟපෑම ගත්තා. ඒක මට පහසුවක් වුණා. 

මාධ්‍ය දර්ශනය තිබ්බේ අවුරුද්දකට විතර කලින් නේද?

රටේ තත්ත්වේ එක්ක ප්‍රදර්ශනය දවසින් දවස කල් ගියා. මේ අගෝස්තුවේ ඉස්කෝල නිවාඩු කාලේ පෙන්නන්න හිතන් හිටියේ.. ඒත් කොවිඩ් එක්ක ඒ වැඩේ කරන්න බැරිවෙයි. 

ඒක ද ඕස්ට්‍රේලියා යන්නේ?

ඕස්ට්‍රේලියාවේ මෙගාලයිව් ඉවෙන්ට් ආයතනයේ මාලක යාපා තමයි මේ කටයුත්ත සම්බන්ධීකරණය කරන්නේ. ඕස්ට්‍රේලියාවෙයි, නවසීලන්තෙයි නගර විසිහතරක චිත්‍රපටය පෙන්වනවා. ඒක මගේ ජයග්‍රහණයක්. ඒ වගේම වාසනාවක්.

• ඔබ ආයෙමත් පත්තරේක කර්තෘ කෙනෙක් වෙලා සිනමා ගමන මෙතනින්ම ඉවර ද?

දෙවැනි චිත්‍රපටයක් ගැන සාකච්ඡා කරලත් ඉන්නේ. මේ චිත්‍රපටයේ සාර්ථකත්වය උඩ මගේ ගමන ඉස්සරහට යාවි. 

• ඒ කියන්නේ තට්ටු දෙකේ ඉස්කෝලේ ඔබේ කලා දිවියේ හැරවුම් ලක්ෂය?

හරියටම හරි. මම පත්තර කලා, නවකතා ලිව්වා. ටී.වී. කතා ලිව්වා. මේක මගේ පළමුවෙනි අධ්‍යක්ෂණය. කලින් වැඩ වගේම සාර්ථක වුණොත් ඉදිරියටත් මම අධ්‍යක්ෂවරයෙක් වේවි. මගේ හීනයක් ප්‍රාර්ථනාවත් සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් වීම. මම ඒ හීනයේ ජීවත් වෙනවා. 

ශාන්ත කුමාර විතාන