රාජාංගනේ පොඩි හාමුදුරුවෝ ලියපු ගෞතම බුදු සමිදේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මැදින් පෝ දින නිමිති කරගෙන එළිදැක්වූ බොදු බැති ගීතයක් හා රූප රචනාවක් කෙරෙහි මෙවර අපගේ අවධානය යොමු විය. ජනප්‍රිය ගීත රැසක් ලියූ රාජාංගනයේ පොඩි හමුදුරුවෝ විසින් රචනා කළ මෙම බුදු බැති ගිය නම් කර ඇත්තේ ගෞතම බුදු සමිදේ.. ලෙසය. සඳරුවන් ජයසිංහ හා සුරංජි ශ්‍යාමලිගේ හඬින් ගැයෙන මෙම ගීතයට සංගීතය මුසුකොට ඇත්තේද ගීතය ගායනා කරන සඳරුවන් විසින් වීම විශේෂත්වයකි.  ගීතයට අපුරු රූප රචනාවක් නිර්මාණය කරනු ලැබුවේ නිලාන් ෆර්නැන්ඩුය.

මාව ගොඩක් අය දන්නේ තරුණ සංගීතවේදියෙක් විදිහට. නමුත්, මට ගීත ගැයිමේ හැකියාවත් තියෙනවා. ඒ නිසාම තමයි මම රාජාංගනේ පොඩි හාමුදුරුවෝ ලියපු ගෞතම බුදු සමිදේ.. ගීතය ගායනා කරන්න සම්බන්ධ වුණේ. පද පේලි ටික කියවන කොටම ලොකු භක්තියක් ඇතිවුණා මට. බොහෝවිට ගීතය මේ තරම් සාර්ථක වෙන්න මම හිතන්නේ ඒක ලොකු හේතුවක් වුණා කියලා. සඳරුවන් මෙම ගීතය ගැන පැවසුවේ එවැනි අදහසකි.

සඳරුවන් ජයසිංහ ක්ෂේතුය තුළ වඩාත් ජනප්‍රියව ඇත්තේ සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහටය. තීක්ෂණ අනුරාධගේ සායම් කිරිල්ලි වගේම ඔහුගේ ආයෙත් හඩන්න ගීත මෙන්ම සේනානායක වේරලියද්දගේ මගෙ තනියට, ලක්ෂ්මන් හේවාවිතාරණගේ මගෙ නොවනා ඔය ඇස් වගේම ටෂිනිගේ සළඹ සලා ගීත සඳහාද සංගීතය සපයා ඇත්තේ සඳරුවන්ය. ඔහුත් සමගින් මේ ගීතයට දායක වෙන සුරංජි ශ්‍යාමලි හින්දි භාෂාව පිළිබඳව කථිකාචාර්යවරියක්ද වෙයි. ඒ වගේම කවුරුත් දන්නා චිත්‍රපට හා ටෙලි නාට්‍යය පසුබිම් ගායන ශිල්පිණියක්ද වෙයි.

කාලේකින් මිනිස්සුන්ට බොදුබැති ගීතයක් අහන්න ලැබුණේ නැති නිසා මම හිතුවා මේක තමා හොඳම වෙලාව ඒ වගේ ගීතයක් නිර්මාණය කරන්න කියලා. මම මගේ අදහස සඳරුවන්ට වගේම සුරංජී ශ්‍යාමලී මහත්මියටත් කිව්වා. අපි තුන්දෙනා කතාබහා කරලා තමයි මේ ගීතය නිර්මාණය කරන්නට කටයුතු කළේ. ගී පද රචක රාජාංගනේ හාමුදුරුවෝ ගෞතම බුදු සමිදේ ගීතය නිර්මාණය වුණ හැටි අපිට කිව්වේ ඒ ලෙසනි.
මල්වතු මහා විහාරයේ කර්මවාගාචාර්‍ය සිරිමල්වත්‍ත සුමංගලාරාම විහාරාධිපති අති ගෞරවණීය දේවහන්දියේ විමලරතන මා හිමියන්, එම විහාරයේ විහාරාධිකාරී, අස්ගිරි මහ විහාර පිරිවෙන් සිංහල විෂය භාර ආචාර්‍යවර සිරිමල්වත්තේ විමලධම්ම මා හිමියන්ටද, අස්ගිරි පිරිවෙන්පති, ලේකඛාධිකාරි අති ගෞරවණීය නරම්පනාවේ ආනන්ද පණ්ඩිත නා හිමියන්ට මෙන්ම බොදුබැති ගීතය සාර්ථකව නිර්මාණය කරන්නට දිරිදුන් සැමටද අවසානයේ රාජාංගනයේ හාමුදුරුවෝ සිය කෘතවේදිත්වය පළ කරනු ලැබීය.

බුද්ධික සේනාධීර