රංජනුත් පොලිසියෙ මමත් පොලිසියෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමුසෙත් එක්ක කතා කරනවාට වැඩිය හොඳයි කට බිම උලා ගන්න එක.රන්ජන් මෙහෙම කියන්නේ කොස්තාපල් වජිරටයි. මේ රන්ජන් පොලිස් ස්ථානාධිපතිවරයෙක්. එයා අපට හමුවන්නෙ, ‘සකුගේ ලෝකය’ ටෙලිමාලාව ඔස්සේයි. මේ විදියට සකුගේ ලෝකයේ පොලිස් ස්ථානාධිපතිවරයෙක් වූ, උදය ශ්‍රී බණ්ඩාරනායක, සැබෑ ජීවිතයේදීත් වෘත්තියෙන් පොලිස් නිලධාරියෙකි. ‘සකුගේ ලෝකය’ සමග අපට හමුවන උදය ශ්‍රී බණ්ඩාරනායක එක්ක අපි ටිකක් කතා කරමු.

• බොරළුතැන්න පොලිසියේ ස්ථානාධිපති රන්ජන්? කොහොම ද?

හොඳින් ඉන්නවා.

• ඔබ සැබෑ ජීවිතයේදීත් පොලිස් නිලධාරියෙක්? මේ විදියට ඒ සැබෑ ජීවිතයේ රැකියාවට අදාලව රඟපාන්න ලැබීම මොන වගේ හැඟීමක් ද ගෙන දෙන්නේ?

සතුටක් දැනෙනවා. මගේ වෘත්තියට ළඟින්ම ගැලපෙන චරිතයක් ලැබීම සතුටුයි.

• මම අහන්නේ සැබෑ චරිතය රඟපෑම මොන විදියේ හැඟීමක් ද?

මගේ ජීවිතයට බද්ධවෙළා තියෙන චරිතයක් නිසා, ඇත්තටම ඒක ලෙහෙසි වුණා. වෙන චරිතවලට වඩා මට සමීප චරිතයක්නෙ. ඒ වගේම අධ්‍යක්ෂවරයාගෙන් චරිතයට අදාලව උපදෙස් ලැබුණා. මගේ අත්දැකීම් එයාට කිව්වා. ඒ විදියට චරිතයට ප්‍රවේශ වුණා.

• පොලිසියෙ සිටියදී රංගනය කිරීම අපහසු නැද්ද?

රාජකාරිය එක්ක අපහසුතා තියෙනවා. නමුත් කෙසේ හෝ වෙලාවක් වෙන් කරවා ගෙන, රූගත කිරීම් වලටත් සහභාගී වෙනවා. ඒ සඳහා මම සේවය කරන පොලිස් ස්ථානයෙන් සහ එහි ඉහළ නිලධාරී මහත්වරුන්ගෙ ලැබෙන්නෙ ඉතා විශාල සහයෝගයක්. මේ නාට්‍ය නරඹලා මට අඩුපාඩුත් එයාලා කියා දෙනවා.

• දැන් මේ කීවෙනි චරිත රංගනය ද?

මේ මගේ තුන්වැනි නාට්‍යය. මුලින්ම ‘සුජාතා’ නාට්‍යයේ. දෙවැනි එක අපේ අම්මා සහ සකුගේ ලෝකය, මෙයින් විකාශය වෙන්න තියෙන්නෙ ‘අපේ අම්මා’.

• අපේ අම්මා නාට්‍යයේ රඟපාන්නෙ මොන වගේ චරිතයක්ද?

එහි රඟපාන්නෙත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙසයි.

• එතකොට ඔබට ලැබෙන්නෙ පොලිස් චරිත විතර ද?

බොහොමයක් අධ්‍යක්ෂකවරුන් මට කතා කරන්නෙ ඒ චරිතයට. ඒකට හේතුව මම පොලිසියේ සේවය කරන බව දන්න නිසයි. නමුත් ඉදිරියේදී වෙනස් චරිත ලැබිලා තියෙනවා.

• එතකොට ඔබ රාජකාරී කරද්දී, නිළ ඇඳුමෙන් සිටියදී මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

සමහර වෙලාවට නිල ඇඳුමෙන් සිටිය දී මාව හඳුනනවා. ඒ නැතත් මිනිස්සුගෙන් ලැබෙන ප්‍රතිචාර හොඳයි.

• ඔබ වඩා කැමැති පොලිස් සේවය ද? නැත්නම් රංගනයට ද?

පොලිසියේ නිලධාරීයකු ලෙස මම වෘත්තිය ගැන වඩාත් තාප්තිමත් වෙනවා. ඒ නිසාම තමයි මට මිනිස්සු හඳුනාගෙන, කලාවේ ගමනක් එන්න පුළුවන් වුණේ.

• සාමාන්‍ය පුරවැසියකු ලෙස ඔබ කොහොම මොනවගේ කෙනෙක්ද?

ඉතා විනයගරුක, නීතිගරුක, මිනිස්සුන්ට උදවු කරගෙන ජීවත් වෙන්න හදන කෙනෙක්.

• යාළුවෝ සහ හිතවතුන් ඔබ අමතන්නෙ මොන විදියට ද?

පොලිසියේ අය මට කතා කරන්නෙ ‘බණ්ඩාරනායක’ කියලා. රංගන ක්ෂේත්‍රයේ අය උදය කියලයි. පොලිසියේ උසස් නිලදරන මහත්වරුන් වෙලාවකට අපේ ‘නළුව ද’ මේ කියලත් කතා කරනවා.

• රඟපෑම හැර, ගායනය, වාදනය බැරිද?

නැහැ, ඊට හැකියාවක් නැහැ. ඉදිරියේදී ‘නර්තනය’ හදාරන්න සුදානමින් ඉන්නෙ. රංගනයට නර්තනය අවශ්‍ය දෙයක්.

• සකුගේ ලෝකයේ රඟපාද්දි වෙච්ච සිදුවීම් එහෙම තියෙනවාද?

එක දෙබසක් කියවා ගන්න බැරිව හතර පස් සැරයක් රූගත කළා. පසුව මා පත් වූ අපහසුතාවය තේරුම් අරගෙන ප්‍රියන්ත කොළඹගේ මහතා ‘මල්ලි - මල්ලි රිලැක්ස් වෙන්න’ අපි හෙමිහිට කරමු කියලා කිව්වා. ඒක මට ලොකු අස්වැසිල්ලක් වුණා.

• මේ පොලිස් වෘත්තිය සහ රංගනයට වෘත්තියට එහා ගිය ජීවිතය ගෙවෙන්නෙ කොහොමද?

බොහොම සැහැල්ලුවෙන්. හිතමිත්‍රාදීන් එක්ක කාලය ගෙවෙන අතරේ, බුදු දහමට නැඹුරුව එහි අරුත වටහා ගෙන අට ලෝ දහමින් කම්පා නොවී ජීවත් වෙනවා.

• ශ්‍රී ලංකා පොලිසියේ මේ රංගන ශිල්පියාට ආදරය දැනෙන්නෙ කොහොම ද?

ආදරය කියන්නෙ හරිම සුන්දර, දෙයක්. නමුත් ආදරය පවත්වාගෙන යාම තමයි අමාරු. මමත් ‘ආදරය’ ලබනවා. ඇයගෙ නම චමිලා නිශාන්ති ජයවීර. ඇය ජීවත් වෙන්නෙ සුන්දර බන්ඩාරවෙල පුරවරයේ.

• මේ කොවිඩ් සමයේදී මුහුණදුන් සිදුවීම් එහෙම තියෙනවාද?

කොවිඩ් තත්ත්වය යටතේ, පිටරටින් එන අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් තොරතුරු ලබා ගන්න තිබුණා. එහිදී ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි යුවළකගේ තොරතුරු ලබාගන්න ගිය අවස්ථාවක දී ඔවුන් නුරුස්සන ස්වභාවයෙන්, මා සමඟ කතා කළේ ආවේගශීලීවයි. ඒත් මම කළේ ඔවුනට ආචාරශිලීව කරුණු පහදා දීමයි. ඉන්පසුව ඔවුන් මගේ විස්තර එහෙම අහලා දැනගත්තා. මොකද මම සති දෙකක් එයාලාව අධීක්ෂණය කළ යුතුව තිබුණා. ඒ කාලයේ දී එයාලා මා එක්ක බොහොම හිතවත් වුණා. දැන් ඔවුන් මගේ ළඟම හිතවතුන් බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි. මම රඟපාන නාට්‍ය නරඹලා මට සුබ පැතුවා. මිස්ටර් බණ්ඩාරනායක ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මට සුබ පැතුවා. 

තවත් සිදුවීමක් කියන්නම්. එම කාලය අතරතුරේදී විදේශයකින් පැමිණ සිටි සුවිශේෂී පුද්ගලයෙක් හඳුනා ගන්න ලැබුණා. ඒක ඇත්තටම මට ලොකු භාග්‍යයක් සේ දැණුනා. ඔහු නාවික ඉංජිනේරුවරයෙක් සහ ලෝකය වටා දෙවරක් ගමන් කළ ශ්‍රී ලාංකික ජාතිකයෙක්. ඔහුගේ නම අශේන්.

• ජීවිතය දැනෙන්නෙ කොහොමද?

‘ජීවිතය’ කියන්නෙ හරිම තරගයක්. කාලයෙන් කාලයට එක එක තරගවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ තරග වලින් ජය සහ පැරදුම දෙකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් අපි හැමෝම බලාපොරොත්තු වන්නෙ ජයග්‍රහණයයි. ඉතින් අපි හිතුවොත් ජයග්‍රහණය ලබාගන්න පුළුවන්.

සඳුන් ගමගේ