’සූරිය කුසුම’ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුජාත දියණියගෙන් පටන් ගත් දකුණු කොරියානු ටෙලි නාට්‍ය රැල්ල මෙරටට හඳුන්වා දුන් පුරෝගාමියා අතුල රන්සිරිලාල්ය. ඔහුගේ නවතම නිර්මාණය සූරිය කුසුම ජූලි මාසයේ පටන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙයි.  

2016 විකාශය වූ ෆ්ලවර් ඉන් ද ප්‍රිසන් (සිරගෙදර මල්) දකුණු කොරියානු ඓතිහාසික ටෙලි වෘත්තාන්තයකි. ජොසිඕන් රාජවංශය පැවති සමයේදී සිරගෙදර ඉපැදී සිරගෙදර හැදී වැඩුණ ඔක්නියෝ නම් තරුණිය සහ ගුප්ත හැසිරීම් සහිත  යුන් තේවොන් අතර ඇති වන සම්බන්ධය පිළිබඳ පුවත මේ කතාන්දරයෙන් කියැවෙයි. මෙහි ඔක්නියොගේ චරිතය රඟ පාන්නේ ජින් සේ යෙවෝන් ය. යුන් තේවොන් ගේ චරිතය කෝ සූ විසින් රඟ පානු ලබයි. 

සම්මානලාභී නිළියක වන ජින් සේ යෙවෝන් උපත ලද්දේ 1994 පෙබරවාරි 15 දාය. ඇය ක්ෂේත්‍රයට පා තැබුවේ ඉට්ස් ඕකේ ඩැඩීස් ඩෝටර් ටෙලි නාට්‍යයේ සහාය චරිතයක් රඟ පාමිනි.  ඉන්පසුව ඇය බොහෝ ටෙලි නාට්‍ය හා චිත්‍රපටිවල රඟ පෑවාය. බ්‍රයිඩල් මාස්ක්, ෆයිව් ෆින්ගර්ස්, ඉන්ස්පයරින් ජෙනරේෂන්, ඩොක්ටර් ස්ටේ්‍රන්ජර්, ග්‍රෑන්ඞ් ප්‍රින්ස්, අයිටම් ඒ අතරින් කිහිපයකි. 

රුවින් මෙන්ම දක්ෂතාවෙන් ද පිරිපුන් නිළියක ලෙස  ප්‍රසිද්ධව සිටින ඇය වේදිකා නාට්‍ය හා චිත්‍රපටි පිළිබඳ උපාධිධාරිනියකි. 2012 දී ඉට්ස් ඕකේ ටෙලි නාට්‍යයේ රඟ පාද්දී ඇගේ වයස අවුරුදු 17 ක් වූ නිසා අවුරුද්දක් වයස වැඩියෙන් පෙන්වන්නට ඇගේ ඒජන්සිය කටයුතු කළේය. 

“එයා හුඟක් ලාබාල නිසා ප්‍රධාන චරිතවලට යොදා ගන්න නිෂ්පාදකයෝ අදිමදි කරන බව අපිට තේරුණා.. ඒ හින්දා තමයි 1993 ඉපදුණා කියලා ඒ අයට පෙන්නුවේ..”

පසු කාලයේ ඒජන්සියේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

චන්දි කොඩිකාර