ජනප්‍රියත්වය හමුවේ ආඩම්බර වෙනවා කියන්නේ මෝඩ කමක් විදිහටයි මම දකින්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේකම, අපේ හඬ ජාත්‍යන්තරයට රැගෙන යෑමට, තම සහජ හැකියාවෙන් ලොවක් මවිත කළ කලාකරුවන් අතලොස්ස අතර ඔහු ද ඉදිරියෙන්ම සිටින බව නොරහසකි. ඒ ඔස්සේ ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔහු නමින් භාතිය ජයකොඩි ය. එදා මෙදාතුර ප්‍රේක්ෂක ආදරයට පාත්‍රවන ඔහු සමග අද ‘රහස්’ විශේෂංගය දිගහැරේ.

• කොහොමද මේ දිනවල ‘කෝච් බාතිය’ට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම හිතාගන්නත් බැරි තරම් ඉහළ ප්‍රතිචාරයක් ශ්‍රී ලාංකිකයන්ගෙන් වගේම ලෝකයේ බොහෝ රටවල සිටින අයගෙන් ලැබෙනවා. සිරස රූපවාහිනී නාලිකාව හරහා දිගහැරෙන The Voice (Global) ජාත්‍යන්තර මට්ටමේ රියැලිටි ෂෝ එකක විනිසුරුවරයෙක් විදිහට (BNS) අපිව තෝරා ගැනීම ඇත්තටම අභියෝගාත්මක ජයග්‍රහණයක් විදිහටයි මම දකින්නේ.

• ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය කලාකරුවන් අතළොස්ස අතර ඔබත් සිටිනවා. කොහොමද එවැනි තත්ත්වයකට පත්වෙන්නේ.

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ භාෂාව ඇතුළේ යමක් කරන්න කලින් බොහෝ දේ ගැන අවධානය යොමු කරන්න වුණා. අධ්‍යාපනය, හැදෑරීම, රසිකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම වගේම ඉදිරිපත් කළ යුතු විලාසයක් ගැන පවා අවධානය යොමු කරලයි නිර්මාණ කටයුතු කළේ. අනෙක් ප්‍රධානම දේ තමයි අපට අප ගැන තිබූ විශ්වාසය. විශේෂයෙන්ම යමක් කළ හැකි වගේම කරන දේ නිවැරදිව කරනවා කියන ආත්ම විශ්වාසය.

• ජනප්‍රිය කෙනෙක් වෙන්න වාසනාව බලපානවද?

වාසනාව ගැනනම් මම ලොකුවට හිතන්නෑ. වාසනාවන්තයි කියලා හිතාගෙන අත්දෙක බැඳගෙන පැත්තකට වෙලා හිටියොත් ඇත්තටම සිද්ධ වෙන්නේ තියන දේවලුත් නැතිවෙලා යන එක. ඒ නිසා  මම හිතනවා වාසනාව ළඟා කර ගන්න නම්, අපි අපේ දක්ෂතාවයෙන් වැඩක් කළ යුතුයි. කරන වැඩේ සැලසුමකට අනුව නිවැරදිව කරන්න ඕනේ. එහෙම වුනොත් වාසනාව කියන දේ ජීවිතයට ආශීර්වාදයක් කර ගත හැකියි.

• ජීවිතේ වැරදුනු තැනුත් තිබෙනවාද?

ඔව්....... ඕනෑ තරම් තිබෙනවා. වෘත්තීය ජීවිතය පටන් ගත්තේමත්, පටන් අරං මේ සා දුර ගමනක් ආවේ මත් මල් ඇතුරූ මාවත් වල නොවේ. ආපු හැම ප්‍රශ්නයක්ම, ආපු හැම බාධාවක්ම, ඉදිරි ගමනට ආශීර්වාදයක් කර ගත්තා හැරෙන්න එක අඩියක්වත් පස්සට ගත්තේ නෑ.

• ඔබ අද ලෝකයේම ආදරයට පාත්‍රවන ගායකයෙක්. සංගීතවේදියෙක්. සැබෑවටම ඔබ හැමෝම අගය කිරීම විතරද කළේ.

නැහැ. මොනයම් හෝ වෘත්තියකින් ඉදිරියට යන විට අපිට ආදරය කරන පිරිසක් වගේම අපට විරුද්ධව නැගී සිටින පිරිසක් නිර්මාණය වෙනවා. මල් මාලා වැටෙන අතරේ ගල් මුළුත් වැටුණු අවස්ථා නැතුවාම නොවේ. ඒ දේවල් ඒ විදිහටම මටත් ලැබුණා. අදටත් ලැබෙනවා. තමන්ගේ අනන්‍යතාවයෙන් නමක් ගොඩනගා ගන්න ඕනෑම කෙනෙකුට අත්වන පොදු ධර්මතාවයක් එය. අපේ රටේ පමණක් නොවේ ලෝකයේම තත්ත්වය එයයි.

• පුංචි කාලේ කවුරු වෙන්නද ආසාවෙන් හිටියේ.

හැම ළමයෙක්ම වගේ මම ඉතිං පුංචි කාලේදී වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙනවා කියලා කියපු අවස්ථා තිබුණා. නමුත් යටි හිතේ හැමදාම දෝංකාර දුන්නේ ගායන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඕනේ කියලා. නමුත් එදානම් හිතුවේ නෑ. කවදාවත් මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. කෙසේ නමුත් පාසල් අධ්‍යාපනය අවසන් කරනකොට ගායන ක්ෂේත්‍රයෙන් යමක් කළ යුතු බවට තීරණය කරලා අවසන්. 

• ජීවිතයේ වඩාත්ම සතුටු වුණ දවස.

ජීවිතේ බොහෝ ජයග්‍රහණ හමුවේ සතුටු වී තිබුණත් මගේ දියණිය ඉපදුනු දවස මහ හැගීම්බර, ආදරණිය මතකයක් එකතු කළ වඩාත්ම සතුටුදායක දිනයක් විදිහට අදටත් මතකයේ තිබෙනවා.

• ඔබ වඩාත්ම ජනප්‍රිය වන්නේ කුමන කාලවකවානුවේද?

අපේ වෘත්තීය ගමන ආරම්භ වන්නේ 1998 වසරේදී. 1999 වසරේ සිට මේ දක්වාම නිර්මාණය කළ සෑම ගීතයකින්ම, සෑම ඇල්බමයකින්ම, සෑම ප්‍රසංගයකින්ම නොඅඩුව ආදරයක් ලැබුවා.

• ප්‍රේක්ෂකයා ඔබව අනුකරණය කරන අවස්ථා දක්නට තිබුණාද?

මිනිසුන් අපිව අනුකරණය කළේ අඳින පළඳින විදිහෙන් නෙවෙයි. ‘අපේ හඬ’ අනුකරණය කරලා කියලානම් නිතර දක්නට ලැබුණා.

• තරුණියන්ගේ ආදරය, පිළිගැනීම වැඩිපුර ලැබෙන කාලවලදී බිරිඳගෙන් තහංචි එහෙම වැටුණේ නැද්ද?

නැහැ.... නැහැ... විවාහ වුණ කාලේ ඉඳලාම වයස් භේදයක්, ස්ත්‍රී පුරුෂ භේදයක්, ජාති ආගම් භේදයක් නොමැතිව ආදරයක්, පිළිගැනීමක් ලබන නිසා ඇයට ඒ සියල්ල සාමාන්‍යයි. අවබෝධයෙන් ඒ සියල්ල ඇය තේරුම් ගැනීම ඇත්තටම වටිනවා.

• ජනප්‍රියත්වය වදයක් වුණ අවස්ථා තිබුණාද?

ජනප්‍රියත්වය ඔලුව කැක්කුමක් වුණ අවස්ථාත් තිබුණා. නමුත් ඒ සියල්ලම බුද්ධියෙන් තේරුම් අරං විසඳා ගත යුතු අවස්ථා විදිහටයි මම දැක්කේ.

• ජීවිතය ගැන මොනවද හිතන්නේ.

ගැඹුරින් අධ්‍යයනය කරලා, සරලව ගත කළ යුතු දෙයක් විදිහටයි මම ජීවිතය දකින්නේ. ඒ නිසාම පුළුවන් හැම වෙලාවකම සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරනවා.

• ඔබ ජනප්‍රිය වුණත් ආඩම්බර නැති චරිතයක් විදිහටයි හැමෝම දකින්නේ.

ජනප්‍රියත්වය හමුවේ ආඩම්බර වෙනවා කියන්නේ මෝඩ කමක් විදිහටයි මම දකින්නේ. මගතොටදී අපට හමුවන සෑම අයෙකු සමගම කටපුරා හිනා වෙන්න, ආදරෙන් කතා බහ කරන්න මම අමතක කරන් නෑ. මම එහෙම කරන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. මොකද මම ඔහුව දකින පළමුවන අවස්ථාව එය නොවෙන්න පුළුවන්. මොකද ඒ වන විටත් ඔවුන් බොහෝ වරක් මාව දැකලා, මගේ ගායනය රස විඳලා සිටිය අයෙක් විය හැකියි.

ඒ නිසයි ඔවුන් මාව දකින තැනකදී ළෙංගතුව හිනාවෙන්න, කතා කරන්න උත්සාහ කරන්නේ, ඔවුන් මා ගැන ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපය නිසා. අප එය තේරුම් ගත යුතුයි. ඇත්තටම ප්‍රේක්ෂක ආදරය කලා ලෝකයේ ඉන්න අපිට හරිම උත්තේජනයක්.

• අඳින්න කැමතිය ඇඳුම

ඕනෑම ඇඳුමක් ඇඟට ගැලපුනත්, මම කැමතියි ඩෙනිමටයි, ටී ෂර්ට් එකටයි.

• ආභරණ පඳින්න කැමතිද?

නැහැ. අදටත් අතේ, කරේ කිසිම ආභරණයක් නැහැ.

• විනෝදාංශ විදිහට මොනවද කරන්නේ.

විවේකී, වෙලාවට දුවයි, බිරිඳයි එක්ක එකට ඉඳගෙන කැමති චිත්‍රපටි බලනවා. ඊට අමතරව අපේ අටේ වගේම ලෝකයේ ලස්සන රටවල් වල ලස්සන තැන් බලන්න යන්නත් ආසයි.

• යන්න කැමතිම රටවල් මොනවාද?

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයටත්, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයටත්, ජපානයේ ටෝකියෝ වලටත් වගේම ඉතාලියේ නගර බොහොමයකටත් මම යන්න හරිම කැමැතියි.

• නිරෝගිකම ආරක්ෂා කර ගන්න මොනවාද කරන්නේ.

මේ ලෝකයේ ඉන්න හැම මනුස්සයෙකුටම ලබා ගන්න පුළුවන් උතුම්ම ලාභය තමයි නිරෝගීකම. නිරෝගීකම ආරක්ෂා කර දෙනවා වෙනුවට ඒ නිසා කෑම පාලනය කිරීම, ඉඳහිට සුදුසු ව්‍යායාමයක නිතරවීම කරනවා. ඊට අමතරව දැනට වසර එකහමාරක පමණ කාලයක සිට මම නිර්මාංශ ප්‍රතිපත්තියක ඉන්න නිසා, මම හිතනවා ශරීරයට අනවශ්‍ය ලෙස මේදය එකතුවීම් ආදියත් දැන් අඩුවෙලා කියලා.

• එන්න එන්නම තරුණ වීමේ රහස.

මම හිතන්නේ ඒකට කරුණු ගණනාවක් බලපානවා. පළමු වන කරුණ සතුටින් හිනාවෙලා ඉන්න එක. හිනාව කියන්නේ අපේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රියන් නිරෝගීව තබා ගැනීමට උපකාරී වෙන මහ බලගතු ඖෂධයක්. හිනා වෙලා ඉන්න කෙනෙකුගෙන් දිස් වෙන්නේ ප්‍රියමනාප බවක්.

• බාහිර ප්‍රතිරූපය ලස්සනට තියා ගන්න මොනවාද කරන්නේ.

මම එච්චර උස කෙනෙක් නොවන නිසා, උපතින් ලැබුණ බාහිර ප්‍රතිරූපය ගැලපෙන විදිහට තියා ගන්න උත්සාහ කරනවා. කොහොමටත් කෙට්ටුවට කෙට්ටුවේ කටුපෑදිලා ඉන්නවාට වැඩිය, තමන්ගේ වැඩක්වත් කර ගන්න බැරි විදිහට මහතට ඉන්නවට වඩා හොඳයිනේ, මධ්‍යම ප්‍රමාණයට ඉන්නවා.

• ආසාවෙන්ම එකතු කරන දේවල් තියෙනවාද?

ඔව්. මම හරිම ආසයි නවීන තාක්ෂණයත් සමග දින දින වෙනස්වන ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරන්න. ඒ නිසා ඉතිං පිට රටකට ගියත්  ෆෝන් එකක්, අයි පෑඩ් එකක්, කම්පියුටරයක්, ගන්න ආසයි.

• මිත්‍රයෙකු සමග එකට අත්වැල් බැඳගෙන ජීවිතය ජයගත් අය අතර ඔබත් සිටිනවා. ඒ ගැන මොකද හිතෙන්නේ.

සංතුෂ් වීරමන් මා දකින්නේ මගේ ජීවිතයට ලැබුණ කල්‍යාණ මිත්‍රයෙක් විදිහට. BNS කියන සන්නාමය අද ජාත්‍යන්තරය පවා දන්නේ අපි දෙන්නාගේ සුසංයෝගයෙන් කළ නිර්මාණ නිසා. ඔහු නිසා මටත්, මා නිසා ඔහුටත් වටිනාකමක් එකතු වුණා වගේම, අපි දෙන්නාටම එකතු වෙලා ලංකාවට වගේම, ලෝකයට වටිනාදෙයක් කරන්න පුළුවන් වුණා. එය තමයි අපි ලැබූ ජයග්‍රහණය.

• ජීවිතයේ වඩාත්ම සංවේදී වුණ දවස.

ජීවිතය මට කියලා දුන්න, තවත් විටෙක යාළුවෙක් වගේ දුක සතුට බෙදා ගත්ත, මිතුරෙකු, සහෝදරයෙකු, ගුරුවරයෙකු, විටෙක පාලකයෙකු විදිහට විවිධ චරිත වලට පණ පොවමින් මගේ ජීවිතය ආලෝකවත් කළ තාත්තා නොසිතූ වෙලාවක අපේ ජීවිත වලින් සමුගැනීම අදටත් මගේ හදවතට දරාගන්න ආරුයි.

අසුන්තා එදිරිසූරිය