බැඳීම්වලට හිරවුණාම අරමුණුවලට යන්න අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වේදිකාවෙන් කලාවට පිවිසෙමින් මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේම දස්කම් දක්වන ඒ රුවැත්තිය මධුෂානී වික්‍රමසිංහයි.

මධුෂානීගේ කලා ගමන ආරම්භ වුණු තැනින්ම අපි කතාව පටන්ගමු?

මම කලාවට එන්නේ 2017 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාව යටතේ පවත්වනු ලබන පූර්ණකාලීන රංගන පාඨමාලාව හදාරලා. රංගන ඩිප්ලෝමා හැදෑරුවට පස්සේ තරුණ සේවා සභාවේ නාට්‍යවලට රගපාන්න අවස්ථාව ලැබුණා. මුලින්ම ආවේ මම වේදිකා රංගනයට. ජයසේකර අපොන්සු මහත්මාගේ ‘තටු’ නාට්‍යයට තමයි මුලින්ම දායක වුණේ. මේ දවස්වල සරත් කොතලාවල මහත්මාගේ ‘පාරාවෝ සටන්වදී’ වේදිකා නාට්‍යයට දායක වෙලා ඉන්නවා සහ හෙක්ටර් කුමාරසිරි මහත්මාගෙන් වේදිකා නාට්‍යකට රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම කලාවට පිවිසීමේ මුලික අඩිතාලම වැටෙන්නේ මට වේදිකාවෙන්.

පුංචි තිරයට වඩා සිනමාව හරි දැවැන්තයි. නවකයෙක් විදිහට ඔබට පුංචි තිරයේ අත්දැකීම් ගන්නටත් කලින් සිනමාවට දායක වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සිනමාව කියන්නේ බොහෝ දේ ඉගෙන ගෙන ආයුතු නැනක්. වේදිකා නාට්‍යය තුළින් මම කරළියට ආවට පස්සේ මුලින්ම සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටයෙන්. ඊට පස්සේ පුංචි තිරයට වඩා සිනමාවෙන් මට ලැබුණු අවස්ථා වැඩි වුණා. මං හිතන්නේ මම සිනමාවේ රැඳෙන්න හේතුව වුණේ ඒක. මේ වෙනකොට මම දායක වුණු හිතුමතේ ජීවිතේ කතුරු මිතුරු, ආදරෙයි ජානු චිත්‍රපට තුනක වැඩ අවසන් කරලා තියෙන්නේ. ඒ තුනම ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි. ඒ චිත්‍රපටවලත් මම දායක වෙන්නේ ප්‍රධාන චරිත හරහා. තව එදත් දිනුම් අදත් දිනුම් චිත්‍රපටයත් ඉදිරියට තිරගත වෙන්න නියමිතව තියෙනවා. අවසානයටම රගපෑවේ මොනාලිසා වුණත් මම රගපෑ චිත්‍රපටි වලින් දෙවනියට තිරගත වුනේ මොනලිසා චිත්‍රපටයයි.

ඔබ නිරූපිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය චරිතයක්.

කලාවට එන්න කලින්ම මම වැඩ කළේ නිරූපණ ක්ෂේත්‍රයේ. හැබැයි මට වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිනියක් නෙමෙයි. මේ ක්ෂේත්‍රයේ නම් මම වැඩ කරන්නේ බොහොම පරිස්සමෙන්. මොඩ්ලින් කියන්නේ කොටට ඇඳන් ඇඟ පෙන්නන එකම නෙමෙයි. මම ..... කලාත්මක නිරූපණ ශිල්පිනියක් විදිහට ඉන්නෙ. නිකන්ම ඇගපෙන්ගෙන ඉන්න ඒවට වඩා කලාත්මක ඒව මිනිස්සු රසවිඳින්න හරිම කැමතියි. මෑත කාලයකදී සමාජ මාධ්‍ය ඔස්සේ මැටි කර්මාන්තය ආශ්‍රිත මම කරපු ෆොටෝ ෂූට් එක විශාල විදිහට ජනප්‍රිය වුණා. කවි නිසඳැස් වලින් මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. මම කැමති ඒ වගේ කලාත්මක නිරූපණයන් කරන්න.

මොකක්ද මධුෂානිගේ ඉදිරි අරමුණ?

මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලාව පිළිබඳ බාහිර උපාධිය හදාරනවා. මට ඕන දක්ෂ රංගන ශිලිපිනියක් ලෙස සිනමාවේ සහ වේදිකාවේ දිගටම රැඳී ඉන්න. ඉගෙනීම් කටයුතු කරන අතරේ කලා කටයුතු වගේම මගේ ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා. ව්‍යාපාර පැත්තෙන් මම රූපලාවන්‍ය ශිලිපිනියක් ලෙස රූපලාවන්‍යග ාරයකුත් පවත්වාගෙන යනවා.

මධුෂානිගේ පවුලේ තොරතුරු?

මම පවුලේ එකම දරුවා. අම්මා නම් මම කලා ක්ෂේත්‍රයට එනවට ගොඩක්ම අකමැති වුණා. දැන් නම් මම වැඩ කරගෙන යන විදිහත් එක්ක අවශ්‍ය නිදහස මට ලැබිලා තියෙනවා. මගේ අම්මා ගෘහිණියක්. තාත්තා ව්‍යාපාරිකයෙක්. මගේ ගම බණ්ඩාරවෙල. මම මූලික අධ්‍යාපනය ලැබුවේ කොස්ලන්ද ජාතික පාසලෙන්. උසස් අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවෙල විශාකා විද්‍යාලයෙන්. ඇත්තටම මම පුංචි කාලේ ඉඳලා දක්ෂතා දැක්වූයේ නර්තනයට. මම කොළඹ එන්නෙත් රංගනයට වඩා නර්තනය පැත්තෙන් ඉස්සරහට යන්න පාර හදා ගන්න. අවසානයේ මට උරුම වුණේ සිනමාව. ගමක ඉඳලා කොළඹට ඇවිල්ලා වෘත්තිය මට්ටමෙන් තැනක් හදා ගන්නවා කියන්නේ ලොකු දුෂ්කර කාලයක්. මම ජාතික තරුණ සේවා පාසලට එනකොට අරමුණක් තිබුණේ නෑ. ඔලුව පාවිච්චි කරලා තමයි මම මගේ ගමන ආවේ.

මධුෂානිට ආදර යෝජනා එහෙම නම් ඇති ඉහේ කෙස් ගානට.

ක්ෂේත්‍රයේ අයට වඩා බාහිර අයගෙ න් තමයි මට බොහෝ දුරට යෝජනා එන්නේ. අනේ ඉතින් ඒ කොහොම වුණත් මම දැන්ම ආදරය ගැන හිතන්නේ නැ. බැඳීම්වලට හිර වුණාම මගේ අරමුණට යන්න අමාරුයි.

මධුෂානිට පුංචි තිරයෙන් ආරාධනා ලැබෙනවා අඩුද?

ආරාධනා නම් ලැබෙනවා. ඒත් මට සතුටෙන් භාරගෙන ආධ්‍යාත්මිකව වැළඳ ගන්න පුළුවන් චරිතයක් ලැබිලා නැහැ. සිනමා නිළියක් විදිහට මාව හඳුන්වනවට මම හරිම කැමතියි.

ඒත් ජනප්‍රියත්වය ගැන හිතුවොත් සිනමාව කොටුවීම පාඩුවක් නේද?

ඇත්ත එහෙම දෙයක් තියෙනවා. ලාංකික සිනමාව තුළ ප්‍රේක්ෂකාගාරය අඩු මට්ටමක තියෙන්නේ. එහෙම වෙනකොට ලැබෙන ජනප්‍රියත්වය අඩු වෙනවා. ඒත් මම ජනප්‍රියත්වයට වඩා ආත්ම තෘප්තිය ගැන හිතන කෙනෙක්.

නදීශා අතුකෝරළ