සුවහසක් රසිකයන්ගේ හදවතේ ගායකයන් දෙපළ චාමර වීරසිංහ සහ දමිත් අසංක මෙල්බන් නුවර එකම වේදිකාවක ගී ගයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චාමර වීරසිංහව සහ දමිත් අසංකව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වර්ණනා විස්තර අවශ්‍ය නැහැ. ඒ මෙරට ප්‍රසංග වේදිකාවේ වගේම ලොකු කුඩා භේදයකින් තොරව සියලුදෙනාම හදවත්හී නොමැකෙන සලකුණු ඉතිරි කළ පෙම්වතුන් දෙදෙනායි.

ගායන ක්ෂේත්‍රයේ කෙතරම් දැවැන්ත ගායන පෞරුෂ බිහිවුණද පංති භේදයකින් තොරව සියලුම මට්ටම්වල රසික සහෘදයන් ආමන්ත්‍රණය කරන්නට මේ පෙම්වත් හඬ පෞරුෂ දෙකට හැකි වුණා. ඒ නිසාම "හදවතේ ගායකයන්" යැයි ඔවුන් හඳුන්වනවා. විරහව, ආදරය, ශෝකය, සතුට සේම මාපිය ගුණ සහ මනුෂ්‍යත්වයද සහෘද හදවත් කොණක නොමැකෙන ලෙස සටහන් කරන්නට චාමර වීරසිංහට සහ දමිත් අසංකට හැකි වුණා. ඔවුන් දෙපළට දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් හිමියි. මෙරට මෙන්ම එතෙරත් ඔවුන්ගේ ප්‍රේක්ෂකාගාරය නොසිතන තරම් විශාලයි.

පසුගියදා (02) චාමර වීරසිංහ සහ දමිත් අසංක ඔවුන් දෙපළගේ පෙම්වත් හඬවල්වලින් එතෙර ශ්‍රී ලාංකික සහෘදයන් ආමන්ත්‍රණය කළා. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි Georgewood Performing Arts Center රඟහල පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේ අතුරු සිදුරු නැතිව පිරී ගියේ ඔවුන්ගේ හදවතේ ගායකයන් දෙපළගේ ළයාන්විත හඬ සමඟ මුසු වුණු සප්තස්වරයෙන් තම හදවත් පිරිමැදගන්නයි. සීත ඍතුවේ හීගඩු පිපෙන සීතලත් පසෙකලා මෙල්බන්හී විසූ ශ්‍රී ලාංකිකයන් මේ රඟහලට එක්වුණේ නොඉවසිල්ලෙන්.

මතකයන් ඔබේ, සඳට සඳ එළියට, ඇතුගල වෙහෙර වඳින, සිතින් විතරක් ඇතුළු චාමර වීරසිංහගේ අතිශය ජනදරයට පත් වුණු ගීත රැසක්ද මට හීනයක් වෙලා, මේ අනන්ත රාත්‍රියේ, මගේ ප්‍රථම ආදරේ, ආදරේ හිතෙනවා ඇතුළු දමිත් අසංකගේ ජනප්‍රිය ගීත රැසක්ද ඔවුන් දෙපළ ගායනා කළා. මෙම ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ චාමර වීරසිංහ සහ දමිත් අසංක එකම වේදිකාවක එකට ගීත ගැයීමයි. ප්‍රසංගය අවසානයේදී දමිත් සහ චාමර දෙදෙනාම එකට එක්ව ඔවුන් දෙපළගේම ගායන දිවියට අත්වැලක් වුණු සේනානායක වේරලියද්දගේ ගීතයක් වන "මල් වියනෙන් බැඳි" ගීතය ගායනා කළා.

මෙම ගෘහස්ථ ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ විදේශික වාද්‍ය වෘන්දයක් සහ ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් එකට එකතුව සංගීතය සැපයීමයි. එම සංගීත කණ්ඩායම් ද්විත්වයේ නායකයන් ලෙස සචින්ත ප්‍රනාන්දු සහ දර්ෂ් අන්තෝනිගේ කටයුතු කළා. ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදුකළේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ නිවේදකයෙක් වන අශාන් ඩයස්. අශාන් ප්‍රසංගය අවසාන අදියරේදී චාමර වීරසිංහගෙන් ලංකාවේ කලා ක්ෂේත්‍ර ගැන ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නා.

"ලංකාවේ ගායන ක්ෂේත්‍රය ගැන මම සතුටු නැහැ. ලංකාවේ දක්ෂයො බිහි වෙනවා ඒත් එයාලට හරි තැනක් හැදෙන්නේ නැහැ. රියැලිටිදලින් හරි නිකං සින්දු කරලා හරි දක්ෂයො බිහිවෙනව. සමහරවිට එයාලා අපිටත් වැඩිය දක්ෂ අය. ඒත් එයාලට පවතින්න බැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්."

මෙම ප්‍රසංග මාලාව සංවිධානය කළේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන බර්නි රූපසිංහ විසින්. ප්‍රසංගය ගැන අදහස් දක්වමින් ඔහු අපට කියා සිටියේ මෙවර ප්‍රසංගය සඳහා පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණු බවයි. ලංකාවේ වගේම විදෙස්‍ රටවලද චාමරට සහ දමිත්ට දැවැන්ත ප්‍රේක්ෂකාගාරයක් සිටින නිසා ඔවුන් දෙදෙනාට මෙරට සංගීත ක්ෂේත්‍රයේ නිසි තැනක් ලබාදී රැකගත යුතු ගායකයන් දෙපළක් බවත් ඔහු කියා සිටියා.