ක්ෂේත්‍රයේ කොටටම ඇඳුම් විලාසිතා කරපු රංගන ශිල්පිනියන්ගෙන් එක්කෙනෙක් තමයි මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අංජුලා රාජපක්ෂ .රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන සොඳුරු රුවැත්තියක්.  කවදත් බොහොම ලස්සනට හැඩට අඳින  ඇය සමඟ මෙවර ෆැෂන්  පිටුව හැඩ ගැන්වෙයි.

ඉතින් කොහොමද  අංජුලා?

රඟපෑම් කටයුතු කිහිපයකටම සහභාගි වෙලා ඉන්නවා මේ දිනවල. ඊට අමතරව පුංචි පුතත් එක්කත් සතුටින් කාලය ගත කරනවා ....එයාට දැන් අවුරුද්දයි මාස කීපයක් වෙනවා .

ඔබ හැමදාමත් ලස්සනට අඳින්න කැමති කෙනෙක් නේද?

අපොයි ඔව්. මම හරිම ආසයි හැමදාම ලස්සනට ඉන්න. අදටත් සමහර අය දන්නේ නැහැ මම විවාහ වෙලා දරුවෙක් ඉන්න  අම්මා කෙනෙක් කියලා. මොකද මම තෝරා ගන්නා  විලාසිතාත්,මගේ ඇඟේ හැඩයත්, ඇඟේ ප්‍රමාණය අනුව මම හැමදාම තරුණ විදිහට ඉන්නවා.

විලාසිතා කියන්නේ මොකක් විදිහට ද ඔබ දකින්නේ ?

මම හිතන්නේ විලාසිතා කියන්නේ කලාවක්. එක තැන පල් නොවෙන පරණ දේවල් අලු‍ත් වෙවී එන මහ අමුතුම කලාවක් තමයි විලාසිතා කියන්නේ. අනිත් දේ තමයි විලාසිතා කියන්නේ ඇඳුම් විතරක්ම නෙවෙයි .ඒක පැකේජ් එකක්. අඳින ඇඳුම ,දාන සපත්තු  වගේම පළදින අත් බෑග්, අත් ඔරලෝසු, ආභරණ විතරක් නෙමෙයි හෙයාස් ස්ටයිල් එක, මේකප් එක පවා ඒ පැකේජ් එකට ඇතුලත්  වෙනවා.

ඔබත් වෙනස්ම ආකාරයේ විලාසිතා කිරීමට හුරු වූ කෙනෙක් නේද ?

ඔව්. ක්ෂේත්‍රයේ කොටටම ඇඳුම් විලාසිතා කරපු රංගන ශිල්පිනියන්ගෙන් එක්කෙනෙක් තමයි මම. ඒ වගේම  කාලයෙන් කාලයට කොණ්ඩ විලාසිතා වගේම කොණ්ඩය වර්ණ ගැල්විමත්  මම සිදු කළා .... කෙලින්ම කියනවා නම් මට ආසම විලාසිතා  බය නැතුව  කරපු කෙනෙක් මම.

සාමාන්‍යයෙන් ඔබ විලාසිතාවක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු මොනවද?

ඔව් අනිවාර්යෙන්ම. ඇඳුමක් ඇඳලා අපහසුතාවයෙන්, අමාරුවෙන් ඉන්න මම කැමති නැහැ .ඒ වගේමයි මොන තරම් ලස්සන විලාසිතාවක් වුණත් අනිත් අයගේ හිනාවට ලක් වෙනවා නම් එවැනි විලාසිතා කරන්නෙත් නැහැ.  හැමතිස්සෙම අපි අපේ වයසට ගැලපෙන විලාසිතා තෝරා ගත යුතුයි කියන  දේ  නිතරම හිතනවා. තරුණ අවධියේදී කොටට ශරීරය නිරාවරණය වන  විදිහට විලාසිතා තෝරා ගත්තත් අද වන විට මවක්, බිරිඳක් විදිහට නිතරම තෝරා ගැනෙන්නේ ශරීරය හොඳින් ආවරණය වන විලාසිතා.ඇත්තම කියනවා නම් වයසත් එක්ක විලාසිතා කරන්න තියෙන ආසාවලු‍ත් වෙනස් වෙනවා .

විලාසිතා කිරීමේදී ඔබ වැඩිපුර ආස පාට ?

මම විලාසිතා කිරීමේ දී වැඩිපුර ම තෝරා ගන්නේ ලා පාටවල්.

ආසම විලාසිතාව?

උත්සව අවස්ථාවකට, විශේෂ අවස්ථාවකට ඉන්දියානු සම්ප්‍රදායෙ විලාසිතා  වගේම බටහිර පන්නයේ විලාසිතාත් තෝරා ගනු ලබනවා.  සාමාන්‍ය ගමනට  නම් මම ඩෙක් ෂූස් දෙකක් දාලා, ටී ෂර්ට් එකක් දාලා කලිසමක් අඳින තමයි වැඩිපුරම කැමති .මම හරි ආසයි ලිනන් විලාසිතා වලට.

ඔබ කරන විලාසිතා  ගලපාගන්නේ කොහොමද ?

ඉස්සර නම් අඳින ඇඳුමේ පාටට කරාබු දෙක සපත්තු දෙක පවා ගළපන කාලයක් තිබුණා. නමුත් දැන් නම් එවැනි ගැළපීම් කොහෙත්ම කෙරෙන්නේ නැහැ දැන් බොහෝවිට සිම්පල් විදියට තමයි ෆැෂන් කෙරෙන්නේ ගොල්ඞ් ජුවලරි කිහිපයක් විතරයි පළදින්නෙ.  සපත්තු  අත් බෑග් තෝරා ගැනීම පවා  සරල විදිහටමයි සිද්ධ වෙන්නේ.

ඔබට හිතෙන විදිහට බොහෝ කාන්තාවන් විලාසිතා කිරීමේ දී අපහසුතාවයට පත් වෙන්නේ කුමක් නිසාද?

තමන්ගේ වයස ,ඇඟේ හැඩය ගැන සැලකිලිමත් නොවී විලාසිතා කිරීමට යාමෙන් බොහෝ කාන්තාවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් වන බව දක්නට ලැබෙනවා.

ජීවිතයේ ලස්සනටම විලාසිතා කරපු   දවස ?

මනාලියක් ලෙස සැරසුණු දා කවදත්  ආදරණීය මතකයක් ලෙස  තියෙනවා .

ඇඳුමකින් කෙනෙකු මනින්න පුළුවන් කියා ඔබ හිතනවාද ?

කෙනකුගේ ගති ගුණ මනින්න බැරි උනත් තමන්ගේ සිතිවිලි, ආසාවන් හැඟීම් කියන දේවල් ඇඳුමකින් ඉස්මතු වෙනවා කියලා   මම හිතනවා.

ගැලපෙන විදිහට විලාසිතාවක් කළහම මොන වගේ හැඟීමක් ද හිතට දැනෙන්නේ ?

හිතට ලොකු සතුටක් ...එ් වාගේම  ආත්ම තෘප්තිය කුත් ,තමා ගැන  පුංචි අභිමානයකුත් සිතට දැනෙනවා .අනිත් දේ තමයි මොන තරම් වටින ඇඳුමක් වුණත්, මොන තරම් ලස්සන ඇඳුමක් වුණත් හිතට හරි ගියේ නැත්තං ඒක මතුපිටින් ලස්සන වෙන්නෙත් නැහැ ....ඒ නිසා ගැලපෙන විදියට අඳින එක  අනිවාර්යෙන්ම විය යුතු දෙයක් මටනම් .

විලාසිතා කරන්න ගිහින් අපහසුතාවයට පත් වෙලා නැද්ද ?

අපොයි තියෙනවා. වැඩිපුරම වෙලා තියෙන්නේ උස අඩි සපත්තු වල අඩිය ගැලවෙන එක. මීට අවුරුදු විස්සකට විතර ඉස්සරවෙලා වෙච්ච සිද්ධියකුත් මතකයේ තියෙනවා. ඒ තමයි බීච් රංගනයකදී මම ඇඳන් හිටපු ටියුබ් ඞ්රස් එක වතුරට පෙගිලා බර වැඩිවෙලා පහළට  වැටුණු එක. ඒවාගේ මතක් කර කර හිනා වෙන්න පුළුවන් දේවල් නං ගොඩක් වෙලා තියෙනවා විලාසිතා කරන්න ගිහිල්ලා.

විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුගමනය කරනවා ද ?

නැහැ.... විලාසිතා කියන්නේ ම අනුකරණය මත පදනම් වෙච්ච විෂයක් ...නමුත් යම්කිසි කෙනෙක් කරන විලාසිතාවක් ඒ විදිහට ම අපට ගැළපෙනවාද කියන එක ප්‍රශ්නයක්.

ප්‍රශ්නාර්ථයක් ?

මම බොහෝ විට විලාසිතා කරන්නේ මම ආසම විලාසිතා කිහිපයක් මට ගැළපෙන විදිහට සකසා ගැනීමයි. එහෙම විලාසිතා කිරීමේදී ඇඟේ හැඩ යයි, වයස ගැනයි සැලකිලිමත් වෙනවා .සමහර වෙලාවට අපි දකිනවා බොහෝ කාන්තාවන් තමන්ගේ වයසට නොගැළපෙන විලාසිතා කරනවා .ඇතැම් කාන්තාවන් තමන්ගේ ශරීරයේ හැඩය ගැන ප්‍රමාණය ගැන අවබෝධයක් නැතිව විලාසිතා කරන්න ගිහිල්ලා ප්‍රියමනාප නොවන විලාසිතා කරන විදිය ගැන අපි දැකලා තියෙනවා. ඒ නිසා ඒ ගැන නං මං ගොඩක්ම සැලකිලිමත්.

අසුන්තා එදිරිසූරිය