අනුන්ගේ ප්‍රශ්න මගේ කරගන්නෙ නැතුව ජීවත් වෙන්න ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හංසිනී කොවිඩ් කාලයේදී වැඩිපුරම හිත ගියේ මොනවටද?

කොවිඩ් කාලයේදී ගෙදරම හිටපු නිසා අපි සිංදු හැදුවා. ඒ වගේම කෑම හැදුවා. ගෙදර වැඩිපුරම හිටපු නිසා මියුසික්වලට වැඩි කාලයක් යොදවන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම You tube එකෙන් බලලා අපි දෙන්නා එකතුවෙලා කෑම හැදුවා. You tube එකෙන් බලලා හදද්දි ඒ කෑමවලට නමක් තිබුණට අපි හදලා ඉවර වුණාට පස්සේ අළුත් අළුත් කෑම තමයි අපිට කන්න ලැබුණේ.  ඒවාට නම් නමක් තිබුණේ නැහැ. නම් දන්නේ නැති කෑම ජාති නම් හැදුණා. හැබැයි හදපු කෑම හැම එකක්ම රසයි. චූටි දූත් එක්කත් වැඩිපුර කාලයක් සතුටින් ඉන්න ලැබුණා.

ජීවිතේ අහන්න ආස කරන සිංදුව මොකක්ද?

එහෙම එක සිංදුවක් නැහැ. මම ගීත අහන්න ආස කරන ගායක ගායිකාවන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අය ගායනා කරන බොහෝ ගීතවලට මම ගොඩක් කැමැතියි. ඒ අතරින් අමරසිරි පීරිස් මහත්මයා, ටී.එම්. ජයරත්න මහතා, නන්දා මාලනී මහත්මිය, උමාරියා මහත්මිය වැනි අයගේ ගීත මම නිතරම වැඩිපුර අහනවා. ඊට අමතරව මම ආසම කරන තවත් හඬක් තමයි නවීන් දිල්ශාන්. ඒ හඬ නම් ඉතින් මට නිතරම ඇහෙනවා.

මේ දවස්වල යහළුවන් එක්ක වැඩිපුරම කතාකරන මාතෘකාව?

මේ දවස්වල නම් වැඩියෙන්ම කතා කරන්නේ කොහේවත් යන්න විදිහක් නැහැ නේද...? කියලයි. බබාලා ඉන්න යාළුවෝ එක්ක බබාලා ගැන කතා වෙනවා. නැත්නම් වැඩිපුරම මේ දවස්වල ට්‍රිප් එකක්වත් යන්න බැහැ නේද? කියලම තමයි.

ලංකාවේ යන්න ආසා හිතෙන තැනක් තියෙනවාද?

මගේ ගම තිස්සමහාරාමය. ඒකත් ලස්සන පැත්තක්. ඊට අමතරව මම නුවරඑළියෙත් සංචාරය කරන්න හරි ආසයි. හැබැයි දවසක් දෙකක් නතරවෙලා ඉඳලා එන්න ඕනේ. ඒ වගේම මම නුවරට නම් හරි කැමතියි. ඒ දේශගුණය වෙනස්ම දෙයක්.

යන්න ආස කරන රටක් තියෙනවාද?

මම යන්න ආස කරන රටවල් කීපයක්ම තියෙනවා. ඒ අතරින් නවසීලන්තය සහ කැනඩාවට ගොඩක් කැමැතියි.

පුංචි කාලෙට යන්න ඇත්නම් යන්න ආස කරන කාලය?

මම පාසැල් කාලයට හරි ආසයි. එක වසරේ සිට දොළහ වසර දක්වාම හරිම සුන්දර පාසල් ජීවිතයක් මට තිබුණා. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ දෙබරවැව ජනාධිපති ප්‍රාථමික විදුහලෙයි. ඊටපස්සේ මම දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයෙත් ඉගෙනුම ලැබුවා. මම පාසල් යන්න කම්මැලි ළමයෙක් නෙමෙයි. මම ආසාවෙන් පාසැල් ගියා. පාසැල් මතකයන් බොහොමයක් එකතු කරගත්තු ළමයෙක්. ඉගෙනගැනීම වගේම ඇට්ටර වැඩකරල ගුරැවරැන්ගෙන් ගුටි කාපු අවස්ථාත් තියෙනවා.

ආස කරපු සෙල්ලම?

අදටත් පොඩි ළමයි එක්ක එකතුවෙලා ඕනෑම සෙල්ලමක් කරන්න කැමැතියි. පහුගිය කාලයේදී ලූඩෝ සෙල්ලම පවා කළා. ඒ සෙල්ලමටත් පොඩි ළමයි එකතු වුණා. හැබැයි ඒකෙදී වුණත් තරගය ජයග්‍රහණය කරන්න තමයි හැමවෙලේම හිතුවේ.

කාගෙන් හරි තෑග්ගක් ලැබුණොත් ඔයා ආස කරන තෑග්ග මොකක්ද?

මම ෆැෂන්වලට ගොඩක් ආස කරන කෙනෙක්. පහුගිය කාලයේදී නම් මම ෆැෂන්වලින් චුට්ටක් ඈත්වෙලා හිටියා චූටි දූ නිසා. දැන් එයාගේ වයස අවුරුද්දයි මාස දෙකයි. එයාව වඩාගෙන යද්දි වුණත් ගැලපෙන ඇඳුමක් අඳින්න ඕනේ. හැබැයි මම ගොඩක් ෆැෂන්වලට ආස කෙනෙක්. ඒ නිසා ෆැෂන් එකකට ගැලපෙන ඇඳුමක්, සපත්තු, කරාබු, ඔර්ලෝසු වගේ දේවල් තෑගි විදිහට ලැබෙනවා නම් මම කැමතියි.

කාට හෝ තෑග්ගක් දෙන්න ලැබුණොත් ඔයා වැඩිපුරම දෙන්නේ?

මම ගොඩක් වෙලාවට ඒ වගේ තෑගිවලට ඇඳුම් දෙන්න කැමැතියි. මට කෙනෙක්ට ගැලපෙන විදිහට ඇඳුම් තෝරන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ නිසා මම ෆැෂන් සම්බන්ධ දෙයක් දෙන්න කැමැතියි. ඒ වගේම ඒ කෙනාගේ කැමැත්ත අනුවත් තෑග්ග දෙනවා. පොත් කියවන්න ආස කෙනෙකුට පොතක් තෑගි දෙන්නත් මම කැමැතියි.

ජීවත් වෙන්න කැමැති?

කාටත් ප්‍රශ්න ඇති කරන්නේ නැතිව, කාගේවත් ප්‍රශ්න අපේ ජීවිතවලට එකතු කරගන්නේ නැතිව, පුළුවන් උපරිමයෙන් අනෙකාට උදව් කර ගනිමින් හිතේ සතුටින් ජීවත් වෙන්න කැමැතියි.

දිශානි ජයමාලි කරුණාරත්න