‘අහිංසක පෙම්වතා’ මගේ පෙනුමට ලැබෙන චරිතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ වැඩි ප්‍රතිචාරයක් දිනාගෙන සිටින චරිතයක් සමගින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.  ඔහු නමින් චතුරංග කොඩිතුවක්කු.

‘‘ලංවී’’ හි විසල්ට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මේ දිනවල ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ලංවී කියන්නේ මගේ තුන්වෙනි ටෙලිනාට්‍යය රංගනය. ඉතින් මීට පෙර රංගනයෙන් දායක වෙලා හිටපු නිර්මාණත් එක්ක වගේම මේ නිර්මාණයත් එක්කත් ගොඩක් දෙනෙක් එකතුවෙලා ඉන්නවා. කොහේ ගියත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

 

කව්ද මේ විසල්?

විසල් කියන්නේ ඉතින් අහිංසක පෙම්වතෙක්. ඒ වගේම අසාධාරණයට එරෙහි චරිතයක්. අම්මා තාත්තා නැතිව ආච්චි ළඟ හැදෙන තම නැගණියවත් බලාගෙන පවුලේ වගකීම කරට අරගෙන අහිංසක විදියට ජීවත්වෙන තරුණයෙක්.

චතුරංගට සාමාන්‍යයෙන් ලැබෙන්නෙම අහිංසක පෙම්වතාගේ චරිතය නේද?

ඔව්. මම මෙතෙක් කළේ නම් අහිංසක පෙම්වතාගේ චරිතය තමයි.

ඒකට හේතුව මොකක් කියලච චතුරංග හිතන්නේ?

අහිංසක පෙම්වතාගේ චරිතය ලැබෙන්නෙ මගේ පෙනුම නිසා වෙන්න ඇති. කොහොමත් ​ගොඩක් දෙනා මාව දකිද්දි කියන්නේ අහිංසක පෙනුමක් මට තියෙන්නේ කියලා ඉතින් මමත් හිතනවා මගේ පෙනුම අහිංසක ඇති කියලා.

ඒ කියන්නේ ගුටි කන මූණක් චතුරංගට තියෙනවා කියලද?

සමරවිට එහෙමත් වෙන්න ඇති. ඒත් ගොඩක් අය කියන්නෙ නම් පෙනුම අහිංසකයි කියලා තමයි. කොහොමත් මීට පෙරත් මම රංගනයෙන් දායකත්වය ලබාදුන්නේ අහිංසක පෙම්වතාට. ඒ චරිතයට ගොඩක් දෙනෙක් ආදරය කළා. හොඳ ප්‍රතිචාරත් තිබුණා. එතැනින් පස්සේ මට දුෂ්ට චරිත දෙක තුනකට ආරාධනා ලැබුණා. නමුත් මම භාරගත්තෙ නැහැ.

ඇයි භාර නොගත්තේ?

ඇත්තටම භාර නොගත්තෙ නම් මම සුදු චරිත කරලා කලු චරිතවලට යද්දි ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත කොහොමවෙයිද කියලා හිතුණා. මොකද අහිංසක පෙම්වතාගේ චරිතය කරලා එක පාරටම දුෂ්ටයාගෙ චරිතයට යද්දි ප්‍රේක්ෂක ආදරය ආකර්ශණය අඩු වෙනවනෙ. සමහර වෙලාවට අපි චරිත රංගනයක් ඉදිරිපත් කළා වුණත් මිනිස්සු ඒවා ඇත්ත ජීවිතේට සම්බන්ධයි වගේ හිතන අවස්ථා තියෙනවා. ඉතින් මම තවමත් මේ ක්ෂේත්‍රයට නවකයෙක් විදියට ප්‍රේක්ෂක ආදරය කියන දේ මට ගොඩක් බලපානවා. ඒ නිසා විශේෂයෙන් චරිතයක් භාර ගනිද්දී. මම ප්‍රේක්ෂකයො ගැනත් හිතනවා. යම් චරිතයක් කරද්දි ඔවුන් ඒ චරිතය වැළඳගනීද කියන දේ ඒ හැමදේමත් එක්ක මම තව ටික කාලයක් සුදු චරිත රංගනයෙම යෙදිලා ඉන්න හිතුවා. දැනට එවැනි චරිත භාර නොගත්තත් ඉදිරියේදී අනිවාර් යෙන් වෙනස් චරිත රංගනයන්ට යන්න බලාපොරොත්තු වෙනවා.

රංගන ශිල්පියෙක් වුණාම කලු සුදු භේදනැතිව චරිත රංගනයකට යන්න හැකියාවක් තියෙන්න ඕනෑ නේද?

ඔව් අනිවාර් යෙන්ම මම කොහොමත් මට කරන්න පුළුවන් හොඳ චරිතයක් නම් ඒ චරිත රංගනය වෙනුවෙන් මගේ උපරිමය ලබා දෙනවා. මට චරිත රංගනයට කලු සුදු භේදයක් නැහැ. නමුත් දැනට මෙහෙම ටිකක් ඉන්නවා කියලා කිව්වෙ. කොහොමත් මම මේ වනතෙක් අහිංසක පෙම්වතාගේ චරිතය ඉදිරිපත් කළත් ඒ තුළ මට රණ්ඩු සරුවල් ගුටි බැට හුවමාරු කර ගැනීම් වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න ඕනැනෙ. අහිංසක පෙම්වතාගෙ චරිතය අහිංසක විදියටම ගලාගෙන යන්නෙ නැහැනෙ. ඔහුට දුෂ්ටකම් කරන්න එන අයත් එක්ක ඒ රංගනයන්වල යෙදෙන්න තියෙනවා. එතකොට අපි ඒ කරන රංගනයන් තුළ හැමදේම තියෙනවා. සමබර රංගනයක් තමයි චරිතය තුළ ගලාගෙන යන්නෙ. එකම චරිතය තුළ විවිධාකාර විදියෙ රංගනයන් තියෙනවා. ඉදිරිපත් කරන්න.

‘‘ලංවී’’ වෙනුවෙන් චතුරංගට දායකවෙන්න ලැබුණේ කොහොමද?

මෙහි තිර පිටපත් රචක තිමිර උඩලමත්ත අයියාගේ මාර්ගයෙන් තමයි  මට මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඔහු තමයි මෙහි අධ්‍යක්ෂවරයා ඩිල්ෂාන් අමරසිංහ අයියාට සහ නිෂ්පාදකවරයා සදුන් බණ්ඩාර අයියාට මාව හදුන්වලා දෙන්නෙ. ඒ තිදෙනාම විශේෂයෙන් මතක් කරන්න ඕනැ. මොකද මාව විශ්වාස කරලා මාව මේ චරිතයට සුදුසුයි කියලා මේ නිර්මාණය වෙනුවෙන් එකතු කරගත්තට.

ඉතින් මේ වෙනුවෙන් දායකවෙලා ඉන්න රංගන ශිල්පී ශිල්පිනියන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණ නවක හැම දෙනාම ගොඩක් එකමුතුවෙන් තමයි මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. ප්‍රවීණ රංගන ශිල්පින්ගෙන් ගොඩක් දේවල් අපි අපේ රංගනයන්ට එකතු කර ගන්නවා. ඉතින් ඒ හැමදේමත් එක්ක තමයි අද වෙද්දි විසල් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර සහ ඒ ආදරය ලබන්නේ.

මීට අමතරව නියැළෙන නිර්මාණ මොනවද?

මේ දිනවල නම් ලංවී වෙනුවෙන් තමයි එකතුවෙලා ඉන්නෙ. මෙහි රූගත කිරීම් නිසා වෙනත් නිර්මාණයක් භාරගත්තේ නැහැ. මේ වැඩ කටයුතු අවසන් වුණාට පසුව තමයි මම නැවතත් නිර්මාණයකට එකතු වෙන්නෙ. කොහොමත් මම ගොඩක් වැඩ බදාගෙන කරන්න කැමති නැහැ. මොකද නිර්මාණයක් භාර ගත්තොත් ඒ දේට සම්පූර්ණයෙන් කැපවෙලා වැඩ කරන්න තමයි මම කැමති මගේ චරිත රංගනය වෙනුවෙන් පුළුවන් උපරිම සාධාරණය ලබා දෙන එක තමයි අපිට ලබාදෙන චරිත රංගනයට කරන්න පුළුවන් ලොකුම වටිනාකම.

රංගන ශිල්පියෙක් වීම චතුරංගගේ ජීවිතේ සැබෑ වුණ සිහිනයක්ද?

ඔව් ඇත්තටම පුංචි කාලෙ ඉඳලම මම මේ ක්ෂේත්‍රයට මාරම කැමතියි. ඒ කැමැත්ත නිසාම මම ගොඩක් චිත්‍රපටත් බැලුවා. ඒවා බලලම තමයි මටත් රංගනයට දායකවෙන්න තියෙනවා නම් කියලා හිතුණේ. ගොඩක් කැමතියි ශාරුක් ඛාන්, රිතික් රෝෂන්, ජොනී බේට් රංගනයෙන් එකතුවෙලා ඉන්න චිත්‍රපටවලට.

චතුරංගගෙ පෙනුමත් බොලිවුඩ් නළුවෙක්ගෙ වගේ කියලා කවුරුත් කියලා නැද්ද?

ඇත්තටම ගොඩක් දෙනෙක් එහෙම කියලා නම් තියෙනවා.

අවස්ථාවක් ලැබුණොත් බොලිවුඩ් නිර්මාණයකට සම්බන්ධ වෙන්න රගපාන්න කැමති නිළිය කව්ද?

මම කැමති නම් දීපිකා පදුකෝන් එක්ක රඟපාන්න තමයි.

ලාංකීය සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුනෙ නැද්ද?

ආරාධනා නම් දෙක තුනක් ලැබුණා. නමුත් පසුගිය කාලේ රටේ තිබුණු වසංගත තත්ත්වයත් එක්ක සහ දැන් රටේ පවතින තත්ත්වයත් එක්ක ඒ කිසිදෙයක් සිද්ධ කරන්න නොහැකිවෙලා තියෙනවා. ඉදිරියේදී ඒවා කොයි විදියට වෙයිද දන්නෙ නැහැ. නමුත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා සිනමාවට සම්බන්ධ වෙන්න.

චතුරංගගේ වෘත්තිය රංගනයද?

මම මීට පෙර ඡායාරූප ශිල්පියෙක් කැමරාකරණය මම මූලිකවම ඉගෙන ගත්තෙ. නමුත් දැන් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා. වෘත්තිමය විදියට නමුත් දැන් රංගනය වෘත්තිය විදියට කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. ඒත් මම ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා රංගන ක්ෂේත්‍රයෙන් තමන්ගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගත්තොත් ඉදිරි ගමනක් තියෙයි කියලා විශ්වාසයක් තියෙනවා.

ධනු විජේරත්න