රෙදිමෝල වත්ත ජීවිත දැකලා දුලීකා හොල්මන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කිසිදා නොවින්ද – ආදරය වින්ද
අප පෙම් කතාව – මෙතනින් නිමයිද
යන්න පෙර දුරට – නැවත නොපෙනෙන්න
ඔබ නැතිව ඉන්න – මට කියලා දෙන්න

ඔබ ආයේ එනවනම්
මිහිදන් කළ පෙම අරන් 
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම්

මේ දිනවල අතිශය ජනප්‍රිය මෙම ගීතය ඔබත් නිරන්තරයෙන් මුමුණමින් සිටින බව නම් නොරහසක්. ඒ තරමටම මේ ගීතයට බොහෝදෙනෙක් ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි. මේ ගීතය අඩංගුවෙලා තියෙන්නෙ පුංචි තිරයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ආකර්ෂණයක් දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක් වන ‘කියාදෙන්න ආදරේ තරම්’ නාට්‍යයේ බව ඔබ හොඳින්ම දන්නා කරුණක්.
ඉතිං ඒ කණ්ඩායම හොයාගෙන ගිහින් ඔවුන් එක්ක පුංචි කතාබහක නිරතවෙන්න සඳැල්ලෙ අපිත් තීරණය කළා.

මෙහි රූගත කිරීම් හෝමාගම, පන්නිපිටිය, බියගම, කඩුවෙල, කොරතොට, වැනි ප්‍රදේශ ගණනාවක සිදුකෙරෙන බව මෙහි අධ්‍යක්ෂවරයා වන ධනුෂ්ක රත්නායකගෙන් අපට දැනගන්නට ලැබුණා.

ඒ අතරින් අපි ඔවුන්ව සොයාගෙන ගියේ කොළඹ තදාසන්න ප්‍රදේශයක පිහිටි රෙදිමෝලවත්තෙහි සිදුකරන දර්ශන තලයට.
‘කියාදෙන්න ආදරේ තරම්’ නාට්‍ය කණ්ඩායමේ හැමෝම කඩිගුලක් ඇවිස්සුණා වගේ. ඒ තරමට කාර්යබහුලයි. එහි එක් දර්ශනයකට හැමෝම සූදානමින්. කැමරා අධ්‍යක්ෂක චානක සංජීව ඇතුළු පිරිස ඒ කැමරා උපකරණ සුදානම් කරගෙන සිටිනා අතරතුරේ එම දර්ශනයට පෙර මෙහි ප්‍රධාන චරිතයෙන් දායක වන සචින් ලියනගේ වේශ නිරූපණ කටයුතුවල. ඒ තාරක අධිකාරි සහ සමීර මධු කිදෙල්පිටිය කියන වේශ නිරූපණ ශිල්පීන්ගේ දායකත්වයෙන් ඒත් එක්කම පසුතල නිර්මාණ ශිල්පීන් දර්ශනයට අදාල පසුතල නිර්මාණවල යෙදෙනවා.

මේ නාට්‍යයට ප්‍රධාන චරිතවලින් දායක වෙන්නෙ ශලනි තාරකා, සචින් ලියනගේ, සචින්තනී කෞශල්‍යා, ප්‍රියන්ත සෙනවිරත්න, දුලීකා මාරපන, විශ්ව කොඩිකාර, මීනා කුමාරි, විල්සන් ගුණරත්න, යෂ් වීරසිංහ, ශාන්ත ගාල්ලගේ, ගයාන් කරුණාතිලක වැනි ප්‍රවීණ නවක රංගන ශිල්පී ශිල්පිනියන් රැසක්.

ඔවුන් අතරින් රෙදිමෝලවත්තෙ දර්ශන කටයුතුවලට සම්බන්ධව හිටියෙ රංගන ශිල්පී ශිල්පිනියන් කිහිපදෙනෙක් පමණයි.
මුලින්ම ප්‍රියන්තගෙයි, දුලීකාගෙයි දර්ශනයක් රූගත කරන්නයි සූදානම.

දර්ශනය රූගත කරන්න අධ්‍යක්ෂවරයාගේ විධානය ලැබෙන තෙක් දුලීකාගෙයි, ප්‍රියන්තගෙයි උකුළුමුකුළුවල තොර තෝංචියක් නැහැ. දර්ශන තලයම සිනහ සයුරේ ගිල්වනවා.

ප්‍රියන්ත මේ නාට්‍යයේ රඟපාන්නෙ හරිම සටකපට කෙනෙක් විදියට ඔහුගේ චරිතය තමයි ලින්කන්. එහෙත් කැමරාවෙන් පිටුපස ඔහු කෙතරම් සොඳුරු මිනිසෙකුද කියන දේ ඔහුගේ කතාබහෙන්, හැසිරීමෙන්ම දකින්නට තියෙනවා.

ප්‍රියන්තගෙයි, දුලීකාගෙයි දර්ශනයක් කැමරාවට හසුකර ගන්නයි සූදානම. ඒ අතරතුර සහය අධ්‍යක්ෂවරයා දෙදෙනාටම දෙබස් මතක් කරනවා.

‘පොඩ්ඩක් හිමින් කියපන්කො ට්‍රැෆික් බයික් එකක් වගේ ඉගිලෙන්නෙ නැතිව’ දුලීකා සහය අධ්‍යක්ෂවරයාට එහෙම දෝස්මුරයක් දැම්මෙ ඇත්තට නම් නෙමෙයි විහිලුවට.

‘රෙඩී... සයිලන්ට්.. රෙකෝඩින් 25 ඇක්ෂන්...’

අධ්‍යක්ෂවරයාගේ විදානයට ලැබුණා. මේ ප්‍රියන්තයි, දුලීකායි රඟපාන දර්ශනයක්.

‘පොඩි එකා එහෙන් යනවා කියලා දොට්ට බැස්සට අර පැත්තටනෙ හැරුණෙ’

සොරි සොරි වැරදුණා.. අර පැත්ත බලාගෙන නේද කියන්න ඕනෑ.. ප්‍රියන්ත එහෙම ඇහුවෙ දුලීකාගෙන්, නැවතත් ඒ දර්ශනය, අදාල දෙබස නිවැරදිව කියලා රූගත කිරීම් සිදුකළා.

ඒ කියන්නෙ මේ දිනවල බොහෝදෙනෙක්ගේ ආදරයට පාත්‍ර වෙලා ඉන්න සචින් ලියනගේ සහ පහන්දි නෙතාරා.

පහන්දි කියන්නෙ පසුගිය යෞවන කෙටි චිත්‍රපට උළෙලෙ හොඳම නිළිය සම්මානය හිමිකරගත් පුංචි තරුවක්. රූපවාහිනි තිරයේ අපිට ඇයව දකින්නට ලැබෙනවා වගේම ඇය දඟම දඟ දඟ මල්ලක්.

මිනායා පාසැල් යාමට සූදානම්ව සිටින දර්ශනයක රූගත කිරීම් තමයි සිදු කරන්නට සූදානම්.

ඒ දර්ශනයත් වාර කිහිපයක් රූගත කිරීමෙන් අනතුරුව හැමෝම පුංචි විරාමයක. ඒ අතරතුර පහන්දි සචින් වාඩිවී සිටි තැනට විත් උකුල උඩට පැන්නෙ හැමෝගෙම අවධානය දිනාගනිමින්. සචිනුත් ඇයව උකුල උඩට ගත්තෙ අහිංසක සිනහවක්ද සමඟින්.

ඒ දෙස බලා සිටි පහන්දිගේ මව අපිට නෝක්කාඩුවකුත් කිව්වෙ දුවගේ හුරතලය විඳින ගමන් මෙයාට දර්ශන තලයට ආවම මාව මතක නැහැ. මෙතන හැමෝම එයාට ගොඩක් ආදරෙයි.

මේ අතරතුර යෂ් වීරසිංහ දර්ශන තලයට පැමිණියා ඔහු මෝටර් රථයෙන් දර්ශන තලයට හෙමින් හෙමින් ළංවෙද්දී කොහෙදෝ සිට දුලීකා මාරපන එකවරම ඔහුගේ මෝටර් රථය ඉදිරියට පැන්නේ යෂ් යන මාර්ගය අවහිර කරමින්.

ඔහු එකවරම බ්‍රේක් ගසා මෝටර් රථය නවතාගත්තේ සිනහවකින් සංග්‍රහ කරමින්, මෙවැනි රසවත් සිදුවීම්වලින් මේ දර්ශන තලය පිරී ඉතිරී තිබුණු මොහොතක මේ කතාව සම්බන්ධව අධ්‍යක්ෂවරයා සමඟ පුංචි කතාබහක නිරතවෙන්න හිතුවා.

මේ දිනවල ‘කියාදෙන්න ආදරේ තරම්’ ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. මුලින්ම ඒ ගැන කතා කළොත්?
කියාදෙන්න ආදරේ තරම් කියන්නෙ මගේ පස්වෙනි ටෙලි නිර්මාණය. මීට පෙර මම මවුනයාගය, වෙස්, හේලි දාම් වගේ නිර්මාණ කළා. 

මේ වෙලාවෙ ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණයට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව මම දකින විදියට රංගන ශිල්පීන්ගේ තියෙන උනන්දුව, කැපවීම සහ ඔවුනොවුන් තමන්ගේ චරිතවලට කරන සාධාරණය. ඒ වගේම ඒ චරිතවලට සාධාරණයක් කරන්නට හැකි මට්ටමේ තිර පිටපතක් මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයාගේ අතින් ලියවෙනවා. ඉතින් මේ මගේ 5 වෙනි අධ්‍යක්ෂණය වෙද්දි මහේෂ්ගෙ 50 වෙනි ටෙලි පිටපත තමයි මේ. ඒකත් සුවිශේෂී කාරණාවක්. ඉතින් මේ දිනවල මෙහි ගීත, පසුබිම් සංගීතය සහ කතාව ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට පත්වෙලා තියෙනවා. 

නළු නිළියන් තෝරාගැනීම සම්බන්ධව කතා කළොත්?

මෙහි රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී සෑහෙන දුෂ්කරතාවයකට මුහුණදෙන්න මට සිදුවුණා.

මොකද මෙහි නවක රංගන ශිල්පීන් වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ගණනාවක් නාට්‍ය ඇතුළෙ ඉන්නවා. නිර්වාන් තෝරා ගැනීම සඳහා බොහෝ පිරිසක් තිර පරික්ෂණයට සම්බන්ධ කරගත්තා. ඒ අවසානෙදි තමයි සචින් ලියනගේ අපිට ලැබෙන්නෙ. නිර්වාන් චරිතයට. ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා අරුණ ජයවර්ධන අධ්‍යක්ෂවරයාට. මොකද නිර්වාන්ව හඳුන්වලා දෙන්නෙ ඔහු. ඒ වගේම දිගැසි චරිතයට සචින්තනීව මුණගැහෙන්නෙ ඇය රන්වල බලකායේ ශිෂ්‍යාවක් විදියට. එතැනින් එහාට අනර්ඝ යෂ් වීරසිංහ මගෙත් එක්ක මීට පෙර නාට්‍ය කීපයක දායකවෙලා තිබුණා. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් අවිශ්වාසයක් තිබුණෙ නැහැ. ඒ චරිත තෝරා ගැනීමේදී. නමුත් නිර්වාන් සහ දිගැසි අලුත්ම චරිත දෙකක්. ඒ නිසා නවක රංගන ශිල්පී ශිල්පිනියන් එක්ක ප්‍රවීනයන් දුලීකා, ප්‍රියන්ත, ශලනි, විල්සන් ගුණරත්න, ශාන්ත ගාල්ලගේ, මීනා කුමාරි ගයාන් වික්‍රමතිලක වගේ පිරිස එක්ක නවක රංගන ශිල්පීන් වැඩ කරද්දි ඔවුන්ටත් සිනමා ශාලාවක් බවට පත්වුණා. 

අධ්‍යක්ෂවරයා කතාව ගැන ඒ විදියට කතා කරද්දි මෙහි ප්‍රධාන චරිතයෙන් දායකවන නිර්වාන් වූ සචින් ලියනගේ සමඟිනුත් කතා කරන්න අමතක කළේ නැහැ.

ප්‍රේක්ෂකයො මේ වෙද්දි නිර්වාන්ට ගොඩක් ආදරේ කරනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. මේ වගකීම් එක්ක යන චරිතයක්. ද්විත්ව චරිතයක් කරන්න ලැබුණෙ. ඒක නවක රංගන ශිල්පියෙක් විදියට මට ලොකු අභියෝගයක්. මමත් ගොඩක් මහන්සි වෙනවා මේ චරිතය වෙනුවෙන්. විශේෂයෙන් රූපය, චරිතයට අවශ්‍ය හැඩතල තියාගන්න ඕනෑ නිසා කෑමබීම පවා පාලනය කරන්න ඕනෑ. අවශ්‍ය විදියට ඇඟ පවත්වාගෙන යන්න ව්‍යායාම්වල නිරත වෙනවා.

රූගත කිරීම් රෑ කීයට අවසන් වුණත් ගෙදර ගිහින් ව්‍යායාම්වල නිරතවෙලා තමයි නින්දට යන්නෙ. මම මේ චරිතයට කරන කැපකිරීම ගැන මටම පුදුමයි. 

ලින්කන් ගැන ප්‍රියන්ත සෙනවිරත්න කිව්වෙ මෙවැනි කතාවක්

ලින්කන්ට මේ වෙද්දි හොඳ ප්‍රතිචාර තියෙනවා. මීට පෙර ප්‍රවීන තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙ නාට්‍ය කීපයක මම රඟපෑවා. මේ නාට්‍යයට සම්බන්ධ වුණේ ඔහුගේ ආරාධනයත් එක්ක. රචකයො අපිට චරිතයක් භාරදෙන්නෙ ලොකු විශ්වාසයකින්නෙ. ඒ විශ්වාසය මම උපරිමයෙන් රැක්කා කියලා හිතනවා. මේ තිර රචනාව ඉතා ප්‍රබලයි. කුතුහලය කියන දේ උපරිමව තියෙනවා. අපේ ගෙදර අයත් මේ නාට්‍ය බලන්නෙ හරි ආසාවෙන්. මම මේ නාට්‍යයේ ඉන්නවා කියලා හිතලා නෙමෙයි බලන්නෙ. ඒක මට ඇත්තටම ලොකු සතුටක්. ඉතින් හැමෝම වගේ ගෙදර අයත් අහනවා ඊළඟට මොකද වෙන්නෙ කියලා? මම දන්නෙ නැහැ කිව්වම චෝදනා කරන අවස්ථාත් තියෙනවා. ඇත්තටම ලින්කන් චරිතය. මමත් ලොකු ආසාවකින් කරන්නෙ. ලින්කන් චරිතය ඇතුළෙ ස්වාමිපුරුෂයා, තාත්තා, සීයා කියන භූමිකා කිහිපයක්ම කරන්න තියෙනවා. 

අයිරා ගැන දුලීකා මාරපන කිව්වෙ මෙවැනි කතාවක්.

මහේෂ්ගෙ පිටපත් රචනා එක්ක. මම මීට පෙර නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා. නමුත් ධනුෂ්ක එක්ක වැඩ කරන පළමු වතාව. අයිරා කියන මේ චරිතය කරන්න නෙමෙයි මුලින්ම පිටපතේ තිබුණෙ. මුලින්ම මට අදාල චරිතයට අඳින්න තිබුණෙ සායවල්. මම ඒවා අරගෙන දර්ශන තලයට ආවම මට තේරුණා මේ චරිතයෙ හැටියට ඒ ඇඳුම ගැලපෙන්නෙ නැහැ කියලා. මම අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳ අධ්‍යයනය කරන්න පොඩි වෙලාවක් ඉල්ලුවා. ඉන්පසුව මම මේ වත්තෙ පොඩ්ඩක් ඇවිදලා බැලුවම දැකපු දෙයක් තමයි ඒ අම්මලා අඳින පළඳින විදිය සහ කතා කරන විදිය.

සිංහල, දමිළ කව්රු වුණත් හැමකෙනාම කතා කරන විදිය පවා වෙනස්. ඉතින් ඒ හැමදේම බලලා තමයි මම අයිරාව ප්‍රතිනිර්මාණය කරගත්තෙ. මම පේළි ගෙදරක නිර්මාණයකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව. ඉතින් මෙවැනි චරිතයක් ලැබුණම මුලින් හැදෑරීමක් කළ යුතුමයි. ඇත්තටම මම මේ දර්ශන තලයටත් ගොඩක් කැමතියි. මෙහි අවට ඉන්නෙ ජීවිතේ වෙනස් විදියට විඳින මිනිස්සු. කොළඹ කියලා සමහර වෙලාවට හිතන්නත් බැහැ.

මුලින් මැරයෙක් විදියට මේ චරිතය ගෙනියන්න හැදුවට වෙනස්ම ආකාරයකට මේ චරිතය රචකයා ගෙනිච්චා. පිටපත කියවද්දි සමහර වෙලාවට අපෙත් හිරිගඩු පිපෙන අවස්ථා පවා තියෙනවා. එහෙම වෙද්දි අපිටත් පහසුයි අපේ අැගේ තියෙන දේ එළියට දාන්න. 

මිනායා ගැන කතා කරපු පහන්දි නෙතාරා

ධනුෂ්ක මාමා තමයි මට මේ නාට්‍යයට කතා කළේ. ඉතින් අද වෙද්දි මිනායාට ගොඩක් අය ආදරෙයි. ඉස්කෝලෙ යාළුවොත් හොඳයි කියනවා. මම රඟපානවට මුලදිනම් අම්මා කැමති වුණේ නැහැ. ඒත් දැන් අම්මගෙ අකමැත්තක් නැහැ. වෙඩින් එකකදි මාව දැකපු මාමා කෙනෙක් තමයි මුලින්ම රඟපාන්න කතා කළේ. ඒ ඇවිල්ලා මුලින්ම රඟපෑවෙ ගෝරි චිත්‍රපටයෙ. ඊට පස්සෙ රාවණා, අමාලියා, මහපොළොව, අඳුන්ගිර, දාම්, සකර්ම වගේ නාට්‍යවල රඟපෑවා. 

නදුන්ගේ චරිතයට පණපොවන චරිත් මධුරංග

මම මීට පෙර ධනුෂ්ක අයියාගේ දාම් ටෙලිනාට්‍යයේ පුංචි චරිතයක් කළා. ඒ චරිතයෙන් පසුව තමයි මේ නාට්‍යයේ නදුන්ට කතා කරන්නෙ. ඉතින් අද වෙද්දි නදුන් ගැන කතාබහකට ලක්වෙලා තියෙනවා. ගොඩක්දෙනෙක් බනින එක තමයි කරන්නෙනම්. ඇත්තටම නදුන්ට Utube එකේ ලැබෙන ප්‍රතිචාර දැක්කම ගොඩක් ආසයි. මේ චරිතය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. මම පුංචි තිරයට වඩා වේදිකාවට තමයි සම්බන්ධ වෙලා හිටියෙ. මේ චරිතය කරන්න වේදිකාවෙ මම ලබාගත් අත්දැකීමුත් ඉවහල් වුණා. 

මේ ටෙලිනාට්‍යයේ විශේෂත්වය තමයි ප්‍රධාන චරිත වගේම මෙහි රංගනයෙන් දායක වන සෙසු චරිතත් ප්‍රධාන චරිත මට්ටමටම ප්‍රතිචාර ලැබීම. ඒ අතුරින් භාචි අයියා එසේත් නැත්තම් ත්‍රීවිල් රථ රියැදුරා ගැන ලොකු කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ චරිතයට රංගනයෙන් දායකවෙන්නෙ වේදිකාවෙ දක්ෂ නළුවෙක් ඔහු නමින් කසුන් ලියනගේ.

කෝකිල පවන් ජයසූරිය හරහා තමයි මෙහි අධ්‍යක්ෂවරයා මම ධනුෂ්ක රත්නායකව හඳුනාගන්නෙ. මම අවුරුදු 12 ක වගේ සිට වේදිකා නාට්‍යවල නිරත වෙලා ඉන්නවා. ටෙලිනාට්‍ය කියන්නෙ මට අලුත් අත්දැකීමක්. වේදිකාවෙ හිටියට මිනිස්සු අපිව හඳුනන්නෙ නැහැ. නමුත් කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ චරිතය මේ වෙද්දි මිනිස්සු හඳුනනවා.

මම ත්‍රීවිල් එකකට නැග්ගත් ඒ අය ආපහු හැරිලා බලන මට්ටමට භාචිගෙ චරිතය අද වෙද්දි ජනප්‍රිය වෙලා තියෙනවා. තුන්කොන් ප්‍රේමයක බොහොම අනුවේදනීය කතාන්දරයක් ලෙස ගලාගෙන යන මේ කතාව සතියේ දිනවල රාත්‍රී 8.30 සිරස නාලිකාවේ දිග හැරෙනවා.

ධනූ විජේරත්න / අමිල චින්තක ගමගේ