නළුවෙක් වෙන්න ලොකු කට්ටක් කෑවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

TV දෙරණ ඔස්සේ විකාශය වන ඉස්කෝලේ ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් චරිත අතර රන්දික කියන්නේ අලුත් මුහුණක් වගේම දක්‍ෂතා සපිරි යෞවනයෙක්. මේ දිනවල ප්‍රේක්‍ෂකාගාරයේ ආකර්ශනය වගේම විශේෂයෙන් තරුණියන්ගේ ආකර්ශනය දිනාගත් ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ ‘‘රන්දික’ව මෙවර කතාබහ තුළින් අපි මුණ ගැහුණා.
ඉතාම කෙටි කාලයක් තුළ ලොකු - කුඩා කා අතරත් ආදරය, ජනප්‍රියත්වය දිනාගත් රන්දික එහෙමත් නැත්නම් ධනුෂ්ක සම්පත් සමගය මේ කතාබහ.

• මැණික් ව්‍යාපාරිකයෙක් වුණු ධනුෂ්ක කොහොමද නළු හීනය සැබෑ කරගත්තේ.

ඒ හීනය සැබෑ කරගන්න මම අවුරුදු ගානක් කට්ට කෑවා. පාසල් කාලේ ඉඳලා කලා වැඩවලට මම හරිම කැමතියි.
ඒ කාලේ ඉඳලා මට තිබුණ ලොකුම හීනය තමයි නළුවෙක් වෙන එක. හැබැයි අපේ අම්මයි තාත්තයි ඒක දැක්කේ පිස්සුවක් වගේ. මම කලා වැඩවලට සම්බන්ධ වෙනවට අම්මයි තාත්තයි කැමති වුණේම නැහැ.

මොකද මම මේ තැනට එන්න ලොකු කට්ටක් කෑවා. පුංචි පුංචි වැඩ කරලා අද්දැකීම් අරගෙන දුෂ්කරතා විඳගෙන තමයි මේ ගමන ආවේ. අවුරුදු තුනක් විතර අවස්ථාවක් ලැබෙනකම් ආසාවෙන් බලා සිටියත් මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔය අතරෙදි දමලා ගහලා අතැරදාන්න හිතුවත් හිතේ තිබුණ හීනයත් එක්ක කවදාහරි අවස්ථාවක් ලැබේවි කියලා බලාපොරෝත්තුවක් තිබුණා. ඔය අතරේදී අම්මයි තාත්තයි කිව්වා ඕවා හරියන වැඩ නෙමෙයි ව්‍යාපාර කටයුතුවලට මූලිකත්වය දෙන්න කියලා. හැබැයි මම උත්සාහය ඇතෑරියේ නැහැ. අද මගේ අම්මයි තාත්තයි මම රඟපානවා බලන්නේ පුදුමාකාර සතුටකින්.

• ධනුෂ්කට රංගනයට අවස්ථාව ලැබෙන්නේ ඇත්තටම පෙනුම නිසාද?

ඇත්තටම මුලින්ම අවස්ථාව ලැබුණේ පෙනුමට. පස්සේ තිර පරීක්‍ෂණයට ගිහින් මගේ හැකියාවන් පෙන්නුවම දක්‍ෂතාවයයි,
පෙනුමයි දෙකම තියෙන නිසා අවස්ථාව ලැබුණා. රන්දික කියන්නේ ඇත්තටම මගේ වාසනාවට ලැබුණු චරිතයක්. විශාල ප්‍රේක්‍ෂක ආදරයක් ජනප්‍රියත්වයක් ලැබෙද්දී මට දරාගන්න බැරි තරම් සතුටක් දැනෙනවා.

මේ ගමන එන්න මට උදව් කළේ අපේ ගමේම නාලක කියලා අයියා කෙනෙක්. ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. මුලින්ම ඒ අයියා හරහා මියුසික් වීඩියෝවලට පෙනී ඉන්න මට අවස්ථාව ලැබුණා. මියුසික් වීඩියෝවලට දායක වුණාම මම කවදාවත් හිතුවේ නැහැ ලංකාවේ ප්‍රධාන නාලිකාවක ජනප්‍රිය ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය ලැබෙවි කියලා.

නළුවෙක් වෙන්න කොළඹ ඇවිල්ලා කාපු කට්ට දන්නේ මං විතරයි. ජීවිතේ ප්‍රතික්ෂේප වීම වෙනකොට අපිට ඇරෙන දොරවල් ප්‍රමාණයත් වැඩියි. ප්‍රතික්ෂේප වෙන තැන් දරාගන්න පුරුදු වුණ නිසා තමයි මට මගේ අරමුණට එන්න පුළුවන් වුණේ.

• ධනුෂ්ක කොහොමද රන්දික බවට පත්වෙන්නේ.

දවසක් ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්‍ෂතුමා සුරංග විජේසුන්දර අයියා කතා කරලා මෙහෙම වැඩක් තියෙනවා තිර පරීක්‍ෂණයට එන්න කියලා කිව්වා. එන්න කිව්වට ටෙලි නාට්‍ය මොකද්ද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. එතනදි ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ දිලුක ප්‍රසාද් මහතා සහ පිටපත් රචක සමත් එදිරිමුණි මහතා මේ දෙපල තමයි තිරපරීක්‍ෂණයේ ඉන්ටර්විව් බෝඩ්එකේ හිටියේ. එතනින් දෙරණ නාලිකාවේ ප්‍රධානී ලක්සිරි වික්‍රමගේ මහතා වෙත යොමු වුණා. කොහොමහරි දින දෙකකට විතර පස්සේ රන්දිකගේ චරිතයට මාව තෝර ගෙන තියෙනවා කියලා මට දැන්නුවා. හැබැයි ප්‍රධාන චරිතය කියලා මම දැනගෙන හිටියේ නැහැ. රූගත කිරීම් පටන් ගන්න දින දෙකකට විතර කලින් තමයි කිව්වේ ඔයා කරන්නේ මේකේ ප්‍රධාන චරිතය කියලා. ප්‍රධාන චරිතය කිව්වම මාව එකපාරටම ගල් ගැහුණා. මොකද මම කලින් ටෙලි නාට්‍යයක රඟපාපු කෙනෙක් නෙමෙයි. මේක මගේ පළමු රංගනය. ඇත්තටම මේ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වේවිද කියන බය දැනුනා. හැබැයි රෑගතකිරීම්වලය ගිය පළමු දවසේ ඉඳලා අධ්‍යක්‍ෂවරයාගේ පටන් සියලුම දෙනා රන්දිකගේ චරිතය ගොඩනගාගන්න මට ලොකු සහයෝගයක් ලැබුණා.

• ඔබ නවකයෙක් විදිහට ප්‍රවීණයන්ගේ ලැබෙන සහය කොහොමද?

ඒ ලැබෙන සහයෝග ගුරුහරුකම් වචනයෙන් කියලා නිමකරන්න බැහැ. සුසිලා කෝට්ටගේ මහත්මිය, ආනන්ද අතුකෝරළ තව ගොඩක් ප්‍රවීනයෝ මේ නිර්මාණයේ ඉන්නවා. ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීම ඇත්තටම මා ලද භාග්‍යයක්. අපිට වැරදි අඩුපාඩු හදාගන්න ඒ ප්‍රවීන පිරිස ගොඩක් උදව් කරනවා.

• කලාවට එන්න හීන දැකපු ධනුෂ්කවත් කලාවේ ආදරය කරපු සිහින කුමාරයෙක් හිටියද?

මම හරිම ආස චරිතයක් තමයි හේමාල් රණසිංහ අයියා, රොෂාන් රණවන, පුබුදු චතුරංග තමයි මගේ හිතේ හිටපු හීන කුමාරවරු. කවදා හරි හේමාල් රණසිංහ අයියා එක්ක රඟපාන්න ලොකු ආසාවකින් ඉන්නවා.

• මේ වෙනකොට රන්දිකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

රන්දිකට මේ තරම් ආදරයක්, ප්‍රතිචාරයත් ලැබේවි කියලා හිතුවෙම නැහැ. අද මට සාමාන්‍ය ජීවිතෙත් රන්දික කියලා කතා කරන තරමට ප්‍රේක්‍ෂකයෝ රන්දිකට ආදරේ කරනවා. ගෑනු ළමයින්ගේ ප්‍රතිචාර නම් ගොඩක් වැඩියි.

• ඉදිරියට ධනුෂ්කට ඉල්ලුම වැඩි වෙයිද?

ටෙලි නාට්‍යය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. චරිතය කුමක් වුණත් මට ඒ තුළ කළ හැකි දෙයක් තියෙනව නම් මම භාරගන්නවා. හොඳ නිර්මාණ එක්ක දිගටම කලාවේ රැඳෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.

• රන්දික සැබෑ ජීවිතෙත් ප්‍රේමවන්තයෙක්ද?

ප්‍රේමයක් නම් තිබුණා. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදිම ඇය මගේ ගමන තේරුම් නොගැනීම නිසා ඒක නතර වුණා. ඉදිරියේදී මාව තේරුම් ගන්න කෙනෙක් මුණගැහුණොත් සලකා බලනවා.

• පවුලේ තොරතුරුත් මතක් කරමු.

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලිලා දෙන්නයි. මගේ ගම රත්නපුරය. කලා කටයුතුවලට අමතරව මැණික් ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා.

නදීශා අතුකෝරළ