‘මාස්ටර්’ ‘ක්ලාස් එකේ කියන ගීත නර්මණය කලේ මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනාගේ ආදරය දිනූ ‘නාඩගම්කාරයෝ’ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයකු වන දිනේෂ් සුබසිංහයි. හැබැයි මේ කතා කරන්නෙ ඔහු ගැන නම් නෙවෙයි. මේ නාට්‍යයේ මාස්ටර් තම ගෝලබාල පිරිස එක්ක ගයන ගීතවලට අපූරු හැඩයක් දුන්න තිරය පිටුපස සිටින සංගීත ශිල්පියා වන ශාන්ත පීරිස් එක්ක කතා කිරීමටයි මේ සූදානම. මේ දිනවල ඔහු ගැන කතා කිරීමට තවත් හේතුවක් වන්නෙ කොරෝනා වසංගතය අලලා ඔහු කළ ගීතයයි.

• නාඩගම්කාරයෝ නටවන මේ සංගීතඥයා කවුද?

නාඩගම් නටවන මාස්ටර් ප්‍රසන්නජිත් අබේසූරිය රංග ශිල්පියා. එයාට උදවුවන තිරය පිටුපස සිටින කෙනා තමයි මම.

• නාඩගම්කාරයෝ සංගීතයෙන් හැඩකරන මාස්ටර් කිව්වාම හරිනෙ?

ඔව් එහෙම හරි. නමුත් මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරන්නෙ දිනේෂ් සුබසිංහයි. මාස්ටර් ගයන ගීත සහ කුණ්ඩලකේෂි නාට්‍යයේ ගීත සියල්ල හැදුවෙ මම. 

• දිනේෂ් සංගීත අධ්‍යක්ෂණය කරද්දි, ඔබට පැවරුණේ මොකක්ද?

මට පැවරුණේ මාස්ටර්ගෙ ක්ලාස් එකේ ගයන ගීත ටික අලුතින් නිර්මාණය කරදීමයි. ඊට අමතරව කුණ්ඩලකේෂි නාට්‍යයේ සියලු ගීත ටික නිර්මාණය කරන්න දුන්නා. ඒවා වාදනය කරන්න සිද්ධ වුණෙත් මට. ඊට අමතරව පැරණි නාඩගම් නූර්ති ගීත, පැරණි නාට්‍ය ගීත, ග්‍රැමෆෝන් ගීත, ඒවා දන්නා අය බොහෝම අඩුයි. මහානාම වික්‍රමසිංහ සර්ට ඒ ගැන අවබෝධයක් තිබෙනවා. ඒත් තරුණ පරම්පරාවේ අයට ඒ දැනුම අඩුයි. මම ඔය අංශ ගැන සොයා බලන කෙනෙක්. ඒ ගැන ප්‍රසන්නජිත් අබේසූරිය මහතා දන්නවා. එතුමා තමයි මට මේකට කතා කළේ.

• මේ නාඩගම්කාරයෝ නාට්‍යයේ ඒ විදිහට ගයන ගීත, තේරුවෙත් ඔබමද?

සද්ධා මංගල සූරියබණ්ඩාර සහ සිවගුරුනාදන් මහතාත් උපදෙස් දෙනවා නාට්‍යයේදී ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද කියලා. ප්‍රසන්නජිත් මහතා ඒ අවස්ථාවට අනුව යොදා ගන්නවා. මේ ගීත පුරුදු පුහුණු කරන්නෙ මම. මේ ඔක්කෝම කරන්නෙ ලොකේෂන් එකේදිමයි. කලින් පුරුදු පුහුණු කරන්න තරම් වෙලාවක් එන්නෙ නැහැ මේ තියෙන වාතාවරණය එක්ක.

• එතකොට වාදනය කරන්නෙත් ඔබමද?

ප්‍රසන්න අයියගෙ වාදනය කරන අවස්ථාවලට මම වෙනම පැත්තක ඉඳගෙන ඒ කටයුත්ත කරනවා. ප්‍රසන්නජිත් අයියගෙ අත යන විදිය දිහා බලාගෙන එය හරියට කරන්න ඕනෑ. ඒ නිසා ඒක ටිකක් සංකීර්ණ කාර්යයක්. ඒක සරල නැහැ.

• නාඩගම්කාරයෝ ඉදිරි ගීත මොනවද?

ඒක තීරණය කරන්නෙ රචකයා වන සද්ධා මංගල මහතා. තව ග්‍රැමෆෝන් ගීත, නාඩගම් ගීත, නූර්ති ගීත ටිකත් ඉදිරියේදී අහන්න ලැබේවි.

• සැබෑ ජීවිතයේදී මේ ශාන්ත පීරිස් කවුද?

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා මුද්‍රා නාට්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශකවරයකු ලෙස සේවය කරනවා.

• පුද්ගලික විස්තර කිව්වොත්?

මගේ බිරිඳ ගුරුවරියක්. ඇය කරන්නෙත් නාට්‍ය හා රංග කලාව. අපට දුවෙක් ඉන්නවා.

• මේ නාට්‍ය හැර වෙනත් නිර්මාණ මොනවද ඔබ කළ?

වේදිකා නාට්‍ය 100කට එහා මම සංගීතවත් කරලා තියෙනවා. කේ.බී. හේරත් මහතාගේ නාට්‍ය වන ජගන්මා, කළු කුමාරි, මායාදේවි (දෙවැනි නිෂ්පාදනය) සඳහා සංගීත අධ්‍යක්ෂණය කළා. මේ දිනවල තරංග බණ්ඩාරගෙ චෞදරී නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළා.

• සම්මානත් අරගෙන ඇති?

ඔව්, රාජ්‍ය සම්මාන 8 ක් හොඳම සංගීත නිර්මාණ සඳහා ලබා තිබෙනවා. යෞවන හා ළමා නාට්‍ය උළෙලවලදීත් සම්මාන ලබා තිබෙනවා. ඊටත් අමතරව සංගීතය මෙහෙයවන නාට්‍යයත් තියෙනවා. මනමේ, කුවේණි, සිංහබාහු, අන්ගාරා ගඟ ගලා බසී, හුණුවටයේ කතාව, පබාවතී ඒ අතරින් කීපයක්.

• සංගීතය මෙහෙයවනවා කියන්නෙ?

ඉස්සර මේ නාට්‍යවල සංගීත නිර්මාණය කළ නිර්මාණකරුවන් අද නැහැ. ඒ නිසා අද ඒ කටයුත්ත කලින් ආකාරයෙන්ම නැවත ඉදිරිපත් කරන්න ඕනෑ. අන්න එතැනදී සංගීතය මෙහෙයවන කෙනාට ලොකු කාර්යභාරයක් කරන්න වෙනවා.

• ශාන්ත, ටෙලිනාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවාද?

ටෙලිනාට්‍ය අංශයේදී නම් ඉතා අඩුයි. සිනමා නිර්මාණවලදී ‘රයිගමයයි ගම්පලයයි’ සහ ‘සයපෙති කුසුම’ සඳහා සංගීතය අධ්‍යක්ෂණය කළා. නාලන් මෙන්දිස් මහතාගේ ‘ඔබ කවුද’ ටෙලිනාට්‍යයේ ගීත සඳහා පමණක් සංගීත අධ්‍යක්ෂණය කළා. ‘කොළඹ අපි ආවා’ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළෙත් මම.

• ඔබට ගයන්න බැරිද?

මම ගීත ගයලා තියෙනවා. මගේම ගීත පහ හයක් තියෙනවා. කොරෝනා ගැන ගැයූ නිර්මාණය කළා.

• ඇයි කොරෝනා ගැන ගීතයක් කරන්න හිතුවෙ?

මේ කාලයේදී කලාකරුවා තමන්ගෙ වගකීම අමතක කරලා වගේ එකක් මා දකිනවා. කලාකරුවා කළ යුත්තේ සමාජය යහපත් කිරීමට කටයුතු කිරීමයි. මේක ලෝක ව්‍යසනයක් වෙලත්, කලාකරුවා සමාජය යහපත් කිරීමට හරියට දෙයක් කිරීම කළේ නැති බව මගේ අදහසයි. මෙහෙම දෙයක් කළොත් මේ සමාජය දැනුම්වත් කරන්න ඕනෑ කියලා මට හිතුණා. තමන්ගෙ කලාව හරහා මේ වසංගතය ගැන මිනිස්සුන්ට අපි කිව යුතුයි. එහි බරපතළකම ගැන කිව යුතුයි. අන්න ඒ නිසයි මේ නිර්මාණය කළේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය, ගායනය සහ පද රචනය මගේ.

• ශාන්ත පීරිස් කිව්වාම කොහොම කෙනෙක්ද?

අනුන්ට කරදරයක් නොවන විදියට ජීවත් වෙන්න උත්සහ ගන්න අහිංසක කලාකරුවෙක් කිව්වොත් හරි. මගේ විදිය, මගේ ගමන හඳුනාගත්ත ප්‍රසන්නජිත් අබේසූරිය ප්‍රවීනයාට මේ මොහොතේ මගේ ගෞරවය පුදන්නත් අවස්ථාවක් කරගන්නවා.

සඳුන් ගමගේ