ප්‍රංශ තරුණියක් මගේ නංගි වුණා - දිනෙත් ද සිල්වා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනෙත් රඟපෑ අලුත්ම සිනමාපටය 'හිතුමතේ ජීවිතේ'  තිරගත වීම ආරම්භ කළා. මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. 'හිතුමතේ ජීවිතේ' චිත්‍රපටයෙන් මට වෙනස්ම චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. කාලයක් නිර්මාණවලදී මම පොඩි කොටුවීමක් වුණාදෝ කියලත් හිතුණා. නමුත් 'හිතුමතේ ජීවිතේ' කියන්නෙ මම බොහොම ආදරයෙන් කැපවීමෙන් කරපු සිනමා නිර්මාණයක්. ඒක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයට හොඳ පිටපතක් ලියවුණා. ඒ ඉන්දික අතුල ප්‍රියන්තගේ අතින්. පසුකාලීනව ප්‍රියන්ත රත්නායකත් තිර පිටපතට එකතු වුණා. සමාජ අසාධාරණය නිසා පුංචි පවුලක තිබුණු සමගිය, සියලු සිතුම් පැතුම් බොඳවෙලා යද්දී ඒ වෙනුවෙන් සටන් කරන ආදරණීය සහෝදරයෙකුගේ කතාවක්. එහි අධ්‍යක්ෂණය ක්‍රිශාන්ත මනම්පේරිගේ. මේ චිත්‍රපටයේ වැඩ මීට අවුරුදු තුනකට වැඩි කාලයකට උඩදි අවසන් වුණා. රටේ තිබුණු විවිධ ප්‍රශ්නත් එක්ක තිරගත වීම කල් ගියා. නමුත් මේ වෙද්දි 'හිතුමතේ ජීවිතේ' සිනමාහල්වල තිරගත වෙනවා.

'සුමතිපාල' ඔබ රඟපෑ චරිතයයි. සුමතිව ඔබට දැනෙන්නෙ කොහොමද?

උදේනි සමන් කුමාර මහතාගේ 'හිතුමතේ ජීවිතේ' නවකතා පොතෙන් තමයි මේ චිත්‍රපටයේ පිටපත ලියවුණේ. ජීවිතේ අපිට සහෝදර සහෝදරියන් මුණගැහෙනවා. නමුත් සුමතිපාල කියන්නෙ වෙනස්ම සහෝදරයෙක්. තමන් ආදරය කරන එකම නැගණියට පණ මෙන් ආදරය කරනවා වගේම අම්මා තාත්තාට වෙන අසාධාරණය වෙනුවෙන් සුමති නැගී සිටිනවා. සමහර වෙලාවට සුමති හිතේ තියෙන ආදරය පෙන්වන්නෙ නැහැ. හැම මොහොතකම ඒ ආදරේ හිතේ තද කරගෙනයි ඉන්නෙ. සුමති වගේ අයියලා ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා හිතුමතේ ජීවිතේ නරඹන්න මම හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා.

දිනෙත් කියන්නෙ සිනමාවට පමණක් කොටුවුණු නළුවෙක්ද?

නැහැ. මගේ අවසන් ටෙලි නිර්මාණය වුණේ සයිමන් නවගත්තේගම මහතාගේ 'සංසාර ආරණ්‍ය අසබඩ' ටෙලිනාට්‍යයයි. ඒ නිර්මාණයෙන් පස්සෙ තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණත් රටේ තිබුණු වාතාවරණයත් එක්ක ඒ නිර්මාණ ටිකක් කල්ගත වුණා. මම කිසිම වෙලාවක සිනමාවට පමණක් කොටුවෙච්චි චරිතයක් නෙමෙයි. නළුවෙකුගේ හෝ නිළියෙකුගේ කාර්යභාරය වෙන්නෙ සමාජයට යම් කථිකාවතක්, යම් පණිවිඩයක් ගෙන යන චරිතයක් වීමයි. එවැනි පුද්ගලයෙක් යම් සීමාවකට පමණක් කොටුවෙන්න හොඳ නැහැ. මම රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදි තිරගත වෙන්න නියමිතයි. 'කන්දක් සේ මා', 'ශ්‍රී සිද්ධා යාත්‍රා' වැනි චිත්‍රපට ඉදිරියේදී තිරගත වේවි යැයි බලාපොරොත්තු වෙනවා.

නළුවෙක් වීම දිනෙත් කුඩා කාලෙදි දැකපු හීනයක්ද?

නළුවෙක් වීමේ හීනය කවදාවත් තිබුණෙ නැහැ. මම නිරූපණ ශිල්පියෙක් වෙන්න ආසා කළා. අදටත් මම නිරෑපණ ශිල්පියෙක්. පුංචි කාලේ ඉඳන් මම කලාවට ගොඩක් ආදරේ කළා. මගේ තාත්තා තමයි මට කලාවට පැත්තට අඩිය තියන්න, කලාත්මක විදිහට හිතන්න හේතු වුණු මුල්ම ගුරුතුමා වෙන්නෙ. ඔහු විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක්. ඔහු නිසා මම කලාවට ඇළුම් කළා. හැබැයි ඒ කොතැනකවත් නළුවෙක් වෙන හීනයක් තිබුණෙ නැහැ. පසුකාලීනව නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් එක්ක බොහෝ දෙනා හඳුනාගත් පසුව මමත් රංගනයට යොමු වුණා. මමත් සිනමාවට ආදරය කරන කෙනෙක් නිසා මටත් නොදැනීම මම රංගන ශිල්පියෙක් වුණා.

ඔබගේ පියා පොලිස් නිලධාරියෙක්. ඔබගේ ළමා කාලයේදි ඔහුගෙන් නීතිරීති තහංචි තිබුණෙ නැද්ද?

මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අද වෙද්දි එක මල්ලි කෙනෙක් විදෙස්ගතවෙලයි ඉන්නෙ. අපේ පුංචි කාලෙදි එහෙම නීතිරීති පද්ධතියක්, කිසිම තහංචියක් තිබුණෙ නැහැ. පොලිස් නිලධාරියෙක් වුණාට අපිව කොටු කරලා උස් මහත් කරන්න තාත්තට ඕන වුණේ නැහැ. අපිවත් පොලිස් නිලධාරීන් කරන්න තාත්තට වුවමනාවක් තිබුණෙ නැහැ. නමුත් කලාවට දෙයක් කරන, සමාජයට වැඩදායී, රටට සේවයක් කරන දරුවන් කරන්න ඔහුට වුවමනා වුණා. ඒ සම්බන්ධයෙන් අපිව දැනුවත් කළා. අපිට මාර්ගය පෙන්වලා දුන්නා. අපිව යුතුකම් දන්න, මනුස්සකම් හඳුනන දරුවන් තුන්දෙනෙක් කරන්න තාත්තට වුවමනා වුණා. ඒ මාර්ගයේ යන්න අපිට කියලා දුන්නා හැර තාත්තා කිසිම දවසක අපිට තහංචි දැම්මෙ නැහැ.

'හිතුමතේ ජීවිතේ' රූගත කිරීම් කරද්දි ලබපු අත්දැකීම් මොනවද?

අපි මේ චිත්‍රපටය රෑගත කිරීම් කළේ සත්‍ය සිදුවීම් වුණු පැතිවලමයි. සමහර අවස්ථාවලදි ඒ චරිතය කරද්දි බලපෑම් වගේම කැපකිරීම් කරන්න සිදු වුණා. ප්‍රියංකර රත්නායක, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා වැනි සිනමාවේ දැවැන්තයන් එක්ක, ගරු කරන චරිත එක්ක එකට රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන් එක්ක රඟපාන්න ලැබීමත් ලොකු අත්දැකීමක් වුණා. මගේ චරිතය නිසි පරිදි රඟපාන්න ඒ ගුරුවරු වගේ  සහෝදරයන් මට ලොකු ශක්තියක් වුණා. දවස් විස්සක්, විසි පහක් වැනි කුඩා කාලයක් තුළදී වසර ගණනාවක චරිතයක් වෙනස් කරන්න සිදුවීමත් ලොකු අත්දැකීම් එකතුවක් වුණා. මගේ ශරීරය ඒ චරිතයට හැඩගස්වා ගන්න දවසට එක වතුර වීදුරුවක් බීපු, දවසකට එක වේලක් පමණක් කාපු දවස් තිබුණා. හිරකූඩුවේ දර්ශනවලදී මම රූගත කිරීම් කරන්න දවසකට පමණ පෙර සිර මැදිරියකට ගිහින් ඒ හැඟීම් ලබාගන්න උත්සාහ කළා. ඒ ලබපු අත්දැකීම් හොඳ නිර්මාණයක් එළිදක්වන්න ලොකු හයියක් වුණා කියලා අද මට හිතෙනවා. මගේ නැගණියට රංගනයෙන් එකතු වුණේ මරියෝන් වෙත්තසිංහ. ඇය ප්‍රංශයේ ජීවත් වෙන තරුණියක්. මගේ සැබෑ ජීවිතේ මට සහෝදරියන් නැහැ. මරියෝන් මට සහෝදරියකගේ ආදරය අපූරුවට ලබා දුන්නා. ඇයටත් ස්තූතිවන්ත වෙනවා.

I දිශානි ජයමාලි
I සේයාරූව- සුමුදු හේවාපතිරණ