ලංකාවේ සංගීත ගමන ලෙහෙසි පහසු නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘දිල්හානි - ප්‍රියංකර’ ප්‍රවීන කලාකරුවන් දෙපළගේ එකම ආදරණීය පුතණුවන් වන්නේ දිල්මින් පෙරේරා වන මේ හැඩකාරයාය. කාලයක් ඇමරිකාවට ගොස් උසස් අධ්‍යාපනය හදාරමින් සිටි දිල්මින්, වසර හතරකට ආසන්න කාලයක් එහි සිටි අතර, ගුවන්සේවා කළමනාකරණ අංශයෙන් උපාධිය සඳහා ඉගෙනුම ලබමින් සිටියදී ලංකාවට ආවේය. ඉනික්බිතිව මව - පියාගේ ලේ උරුමය නිසාදෝ සංගීත ක්ෂේත්‍රයට පැමිණි දිල්මින් යනු අද තාරුණ්‍යයේ සංගීත ශිල්පීන් අතර සිටින දක්ෂයකු ලෙස නම් කළ හැකිය. විශේෂයෙන්ම යූටියුබ් ඔස්සේ ඔහුගේ නිර්මාණවලට පෙම්බැඳි රසික පිරිස බොහෝය. මේ විදියට විස්තර කියැවෙන දිල්මින් මේ වනවිට විවාහකය. දිල්මින්ගේ ජීවිතය එක්ක බැඳුණු පෙම් අප්සරාව කවුද? මේ පිළිසඳරට දිල්හානි - මේ හැඩකාර දිල්මින් ඒ විස්තර අපට කියාවි.

• දිල්මින් කොහොමද විස්තර?

හොඳයි, මගේ සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යනවා. නදීමාල් පොයින්ට් (Point - 5) කණ්ඩායමේ ඉන්නවා. ඉතින් නදීමාල් සහ මගේ යාළුකම ඉතා ශක්තිමත්. කණ්ඩායමට නායකත්වය දෙන අතරේ, ඉදිරියේදී අපේම ගී නිර්මාණ එක්ක ඉදිරියට යාම තමයි අපේ අරමුණ. ඊට අමතරව මගේම ගීත කීපයක් කරන්නත් උත්සාහ ගන්නවා.

• මෑතකදී ඔබ කළ ගී නිර්මාණ මොනවද?

යූටියුබ් හරහා ‘ආයාචනා’ රිලීස් කළා. සියත FM ඒ ගීතය නිල වශයෙන් නිකුත් කළා. මියුසික්, මෙලඩි මගේ. ගායනය හසිත අබේවික්‍රම. ‘ආලෙන් මා’ ගීතයේ වචන සහ මෙලඩි එක මගේ. සංගීතය සනුක වික්‍රමසිංහගෙ. ‘දුර ඇදුණා’ ගීතයේ සංගීතය සහ තනුව මගේ. වචන උමා අසේනි. තවත් ගීතයක් රිලීස් කළා. ඒකෙ නම ‘පාට පාට’. එහි වචන, සංගීතය වගේම තනුවත් මගේ. ‘සිහිනෙන්’ කියලා තවත් ගීතයක් කළා. සංගීතය, තනුව මගේ. වචන, දේවිකා කුමාරිගෙ. මේ අවුරුද්දෙ සුපුන් පෙරේරාට සිංදුවක් කළා. ඒකෙ නම ‘ඔබමයි ආලෝකෙ’. සංගීතය, තනුව වගේම එහි වචනත් මමමයි ලිව්වෙ. මේ දිනවල නදීමාල්ට ගීතයක් නිර්මාණය කරන ගමන් මේ ඉන්නෙ.

• සංගීතය එක්ක මුසුව යන ඔබගෙ වෙනස් වෙච්ච ජීවිතේ විස්තරත් කියමු. 

වෙනස් වෙච්ච කිව්වේ? 

• ඔබගේ විවාහ ජීවිතේ වෙනස? 

විවාහ වෙලා දැන් වසර දෙකකුත් ගෙවිලා ඉවරයි. හොඳයි, අපි සතුටින්. 

• ඇයගෙ නම? 

අංජුලා මනතුංග. 

• ඇයි දිල්මින්ට ඇය කෙරෙහි හිත ගියේ? 

ඇයත් කලාවට සම්බන්ධයි. ඇය හරි හොඳයි. ඇය නිසා මගේ ජීවිතය තවත් සුන්දර වෙලා. මම හිතන්නේ මා ගැන මමම කියනවාට වඩා ඇයගෙන්ම ඒ ගැන ඇහුවොත් හොඳයි. 

• එහෙමනම් අංජුලා අපට කියන්නකෝ, දිල්මින් එක්ක ගෙවන ජීවිතයෙ රිද්මය, හැඩය ගැන? 

ඇත්තටම හොඳයි. අපි දෙන්නා සෑහෙන කල් ඉඳලා දැන හඳුනාගෙන සිටින දෙන්නෙක්. මගේ අංශය නර්තනය. ඉතින් නදීමාල් මගේ වැඩවලට උදවු වෙනවා. මම එයාගේ වැඩවලට උදව් වෙනවා. අපි දෙන්නා හමුවුණෙත් කලාව නිසාම තමයි. 

• අංජුලාගෙ ගම? 

මගේ ගම කොළඹ. 

• ඇයි දිල්මින්ට හිත ගියේ? 

දිල්මින් කියන්නේ කලබල කෙනෙක් නොවෙයි. මාත් එහෙමයි. එයා රැල්ලට යන කෙනෙක් නොවෙයි. වෙනස් විදියට හිතන කෙනෙක්. එදා පාසල් සමයේදී අපි යාළුවෝ හැටියට හිටපු කාලයේදී පවා දිල්මින් ඒ විදියයි. අදත් එයා වෙනස් වෙලා නැහැ. හරිම නිවිච්ච හැදිව්ච කෙනෙක්. 

• ඒ කියන්නේ පාසල් ප්‍රේමයක්? 

පාසල් කාලයේදී අපි දැන හඳුනාගෙන හිටියා. කොහොමහරි අපේ ඇසුරට වසර නවයක් විතර වෙනවා. 

• අංජුලා පාසල් ගියේ? 

කොළඹ විශාඛා විද්‍යාලයට. 

• දිල්මින් වෙතින් අංජුලා දකින හොඳම ගුණාංගය මොකක්ද? 

එයා හරිම අවංකයි. හරිම සරලයි. පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක්. ඒ ගුණාංගවලට මම ආසයි. එයා එක්ක යාළුවෙන කොට එයාගේ අම්මි රටේ ජනප්‍රිය ප්‍රකට තාරකාවක් කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. එයාගේ අම්මා, තාත්තා ගැන දැන ගත්තාම රටේ ප්‍රකට කලා පවුලක කෙනෙක් නිසා මම ටිකක් බය වුණා. කොහොම වුණත් දිල්මින් කියන්නේ එදා හිටපු චරිතයම තමයි. කිසිම ආඩම්බරකමක් නැහැ. 

• එයා සංගීතය කරනවටද? ආසා නැත්නම් රඟපාන්න ගියොත්, ඒකට ආසා නැද්ද? 

ඇත්තම කිව්වොත් දිල්මින්ට සංගීතය කරන්න පුළුවන් කියලා මුලින් දැනගෙන හිටියෙ නැහැ. විනෝද චාරිකාවක් වගේ යද්දි යාළුවෝ එක්ක එකතු වෙලා ගීත ගැයුවා. එයාගේ අම්මි වුණත් එයාව ඉගෙනීමට තමයි යොමු කරවලා තිබුණෙ. ඒ දිනවල මට මතකයි මෙයා ජංගම දුරකතනයෙන් පවා මියුසික් හදලා මට පෙන්නුව හැටි. ඒවා මාරම ලස්සනයි. මියුසික් කියන දේ එයා උපතින්ම අරන් ආ දෙයක්. රඟපෑම් ගැන එයා මා එක්ක කතා කරලා නැහැ. ඒ ගැන ඉගෙනගෙනත් නැහැ. ඒත් අපි දෙන්නා හොඳ චිත්‍රපට නරඹන්නන් දෙන්නෙක්. චිත්‍රපටයක් නරඹලා එහි අඩුපාඩුකම් ගැන කියන්න, විචාරය කරන්න එයාට තියෙන්නේ ලොකු දැනුමක්. එයා දන්න දේ මියුසික් නිසා ඒ අංශයට වැඩිපුර නැඹුරු වේවි. 

• දිල්මින්ගෙ අම්මා ප්‍රවීණ රංග ශිල්පිනී දිල්හානිගෙ චිත්‍රපට අංජුලා නරඹලා තියෙනවද? 

ඔව්. ඉස්සර නරඹලා තියෙනවා. ඉස්සර ඉඳලම මම අම්මිට කැමැතියි. ඕනෑම චරිතයක් රඟපෑමේ අපූරු දක්ෂතාවක් තියෙන ප්‍රවීණ ශිල්පිනියක්. 

• දිල්මින්ගෙ මෙතෙක් ගැයූ ගීත අතරින් අංජුලා වඩා කැමැති? 

‘පාට පාට’ ගීතයට. 

• හරි, එහෙමනම් දිල්මින් අපට කියන්නකෝ, අංජුලා වෙතින් දකින හොඳම ගුණාංග මොනවද කියලා? 

ඇය හරි අහිංසක සංවේදී චරිතයක්. හැමෝටම හරිම කරුණාවන්ත කෙනෙක්. 

• දිල්මින් අද ඔබට ඔබගෙ අම්මා දැනෙන්නේ මොන විදියටද? 

අම්මා ගැන මට හරිම සතුටුයි. ඇය හරිම ධෛර්යවන්තව ශක්තිමත් කාන්තාවක ලෙස ජීවිතේ ඉස්සරහට ආ චරිතයක්. ඉස්සර ඉඳලාම අම්මා එහෙමයි. මතුපිටින් පෙනෙන දකින කෙනාට වඩා එයා වඩාත් අරුත්බර චරිතයක්. 

• එතකොට තාත්තා සහ ඔබ අතර තියෙන්නේ මොන වගේ බැඳීමක්ද? 

තාත්තා කවදාවත් මගේ ජීවිතයට බාධා කළේ නැහැ. කරන දේ හරියට කරන්න නිදහස දුන්නා. ඉතින් ඒකම ඇති නේද. ඒක ලොකු සහයෝගයක්.

• අද සංගිත ක්ෂේත්‍රයට ආ එක හොඳයි කියලා දිල්මින්ට හිතෙනවද? 

ඔව්, ඇත්තටම මගේ හිත ඇතුළෙ සතුටක් තියෙනවා. ලංකාවේ හැටියට සංගීත ක්ෂේත්‍රයේ ගමනක් යාම ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒත් ලොකු සතුටක් හිතේ තියෙනවා. මහන්සි වෙලා අවංක වෙලා දෙයක් කළොත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබේවි. මම සංගීතය කරන්නේ සල්ලි බලාගෙන නොවෙයි. සංගීතය වෙතින් රසවින්දනයක් සමාජයට දීම තමයි මගේ අරමුණ. 

සඳුන් ගමගේ