අපිට උපන් දින සැමරීම් කරන්න වත්කමක් තිබුණෙ නැහැ. නමුත් ඒ දවසට අම්මා අපිව පන්සලට එක්කං යනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර‘‘සුභ උපන් දිනයක්’’ විශේෂාංගයෙන් සදැල්ල හා එකතුවන්නේ කලා ක්ෂේත්‍රයේ ගායන අංශයෙන් තම අනන්‍යතාවයක් සනිටුහන් කළ ආදරණීය ගායන ශිල්පියෙක්. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වූ ඔහු ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. 

• උපන්දිනයක් ලබද්දී දැනෙන හැඟීම කොයිවගේද?

ඇත්තටම උපන් දිනයක් ලබද්දී මට ලොකු සතුටක් දැනෙනවා. මේ වගේ සුන්දර රටක ඉපදෙන්න වාසනාව උදා කරලා දුන්නු මගේ අම්මාටයි තාත්තාටයි ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මුලින්ම ඒ වගේම මම ඒ දෙන්නාට පිං දෙනවා මාව හදා වඩාගෙන පෝෂණය කලාට මොකද අපි ලොකු සල්ලිකාරයො නෙමෙයි. අම්මයි තාත්තයි දෙන්නා කුලී වැඩ කරලා තමයි අපිව හදාගත්තෙ. මගේ පවුලෙ ඔක්කොම 6 දෙනෙක් එක්  සහෝදරයෙක්  සහ සහෝදරියො 4 දෙනෙක් ඉන්නෙ. ඉතින් කිසිම අඩුවක් කරන්නෙ නැතිව අපිව හදාගත්තු එක ගැන ලොකු ගෞරවයක්.ආදරයක් තියෙනවා අම්මාට, තාත්තාට.

• ඒ කාලෙ උපන් දිනය දවසට මොකද කරන්නේ?

අපිට උපන් දින සැමරීම් කරන්න වත්කමක් තිබුණෙ නැහැ. නමුත් ඒ දවසට අම්මා අපිව පන්සලට එක්කං යනවා. ඒ ගිහින් මලක් පහනක් පුජා කරලා ආශිර්වාද අරන් එනවා. නමුත් ඒ කාලෙ පාසල් යද්දි වගේ යාළුවො දැනගත්තම උපන්දිනේ කට්ටිය එකතුවෙලා කේක් ගෙඩියක් වෙනුවට ඒ කාලේ පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් කැපුවා. ඒ කපලා කට්ටිය බෙදා හදාගෙන කෑවා. ඒවගේ සොදුරු මතකයක් නම් තියෙනවා. ගෙවල්වල අපේ උපන්දින සැමරුම්  වගේ දේවල් නැති වුණත් අපි ජීවිතේ හරිම සතුටින් ගෙව්වා. පවුලේ හැමෝම එකතුවෙලා ගෙදර සින්දු කියනවා.
මම ඒ කාලෙ ඉදන්ම හරිම ආසයි ගීත ගායනා කරන්න. වාදනය කරන්න. ඉතින් මගේ තාත්තාටත් ඒ හැකියාවක් තිබුණා. ඉතින් ඒ කාලය හරිම විනෝදයි.

• ඔබේ තරුණ වයසට ආවම ජීවිතේ වෙනස් වුණේ කොයි විදියටද?

මම 1979 වසරෙ තමයි තරුණ සේවා සබාවට එන්නෙ. ඒ තුළින් සමාජය පිළිබඳව සහ ජීවත්වීම පිළිබඳව මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 1980 තරුණ සේවා යෞවන සම්මාන උළෙලන් ජයග්‍රහණය කරලා ඒ හරහා තමයි මම ගායකයෙක් වුණේ. ඒ හරහා මේ ගමන එන්න ලැබුණෙ නැත්නම් මට අද ගායකයෙක් විදියට මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ. මොකද ඒ තරම් දුෂ්කර කාලයක් තිබුණෙ අපිට එළියට එන්න. ඉතින් තරුණ සේවා සබාවට සම්බන්ධ වුණාට පසුව යහළු මිත්‍රයන් බොහෝ දෙනෙක් මුණ ගැහුණා ඒ මුණගැහීම් එක්ක ඉතින් ජීවිතේ සමාජෙට එන්න ලැබීමෙන් පසුව යාළුවො එක්ක එකතුවෙලා උපන්දින සැමරුම් සිදු කරන්න හැකිවුණා. 
ඒ කාලෙ උපන්දින ලබද්දී කේක් ගෙනල්ලා යාළුවො එක්ක එකතුවෙලා  කපලා කනවා. හරිම සතුටින් ජීවත්වුණු කාලගයක් තිබුණා. සමහර වෙලාවට විනෝදෙට පාන් කපලා කාපු අවස්ථාත් තිබුණා. මම කොහොමත් යාළුවො එක්ක විනෝද වෙන්න ගොඩක් කැමති කෙනෙක්.මුලදි අපිට උපන්දින සැමරුම් ගන්න වත්කමක් නැති වුණත් සමාජෙට ආවාට පස්සෙ ඒ දේවල් කරන්න ආස හිතුණා. 

• ඒ කියන්නෙ දැන් සැමරීම් සිදුවෙනවා?

මගේ විවාහයෙන් පස්සෙ තමයි ගොඩක් දුරට උපන් දින සැමරීම් සිදවුණේ. අපි විවාහවෙලා ඒ ලබපු  මගේ උපන්දිනය වෙනුවෙන් සැමරීමක් සිදුවුණා. බිරිඳ තමයි ඒ වෙනුවෙන් සම්පුර්ණයෙන් දායකත්වය ලබාදුන්නෙ. එදා මට තෑගිත් ගොඩක් දුන්නා. මට මතකයි ඔර්ලෝසුවක් ඒ  දවසෙ තෑගි ලැබුණා. ඒ උපන් දිනය මට ටිකක් විශේෂ මතකයක්, එතැනින් පසුවත් උපන්දින සමරලා තෑගි එහෙම ලැබිලා තියෙනවා. නමුත් විවාහයෙන් පසුව යෙදුණු මගේ ඒ උපන්දිනය සොදුරු මතකයක්  කියන්න පුළුවන්. 

• දැන් දරුවොත් ලැබිලා නෙ? ඉතින් දරුවොත් එකතු කරගෙන ඒ ගෙවපු සොදුරු මතකයන් එහෙමත් ඇති?

ඔවු දැන් ඉතින් අපේ  පවුලට දරුවො දෙන්නෙක් එකතු-වෙලා ඉන්නවා. දුවයි පුතයි. දැන් බිරිඳත් දරුවො දෙන්නත් එකතුවෙලා තමයි මොනවා හරි දෙයක්  ඒ දවසට කරන්න සැලසුම් කරන්නෙ. කිහිප වතාවකම විවිධ සැලසුම් සැමරුම් සකස් කරලා මාව පුදුම කරපු අවස්ථා  තියෙනවා. මෙවර කොයි විදියෙ සැලසුමක් තියෙනවද දන්නෙ නැහැ. දරුවො දෙන්නානම් තවම රැකියා කරන්නෙ නැහැ.
 නමුත් ඒ දෙන්නට පුළුවන් විදියට පුංචි පුංචි තෑගි පවා මට ඒ දවසට ගෙනත් දෙනවා. පුංචිම තෑග්ගක් වුණත් ආදරයෙන් ලබාදෙන ඒ දේවල්වල ලොකු වටිනාකමක් තියෙනවානෙ.  සමහර  වෙලාවට අපි ඒ දවසේ ගෙදර ඉන්නෙත් නැහැ. කොහෙ හරි දුරකට ඇවිදින්න යනවා. නුවර, නුවරඑළි, බදුලු, බණ්ඩාරවෙල වගේ පැතිවල. ඒ පැතිවල මගේ යාළුවොත් ගොඩක් ඉන්නවා. හෝටල් තියෙන ඉතින් ඒ ගිහින් පවුලෙ අයත් එක්ක ඒ දවස නිදහසේ සතුටින් ගෙවලා එනවා. ඒ හැමදේම එක්ක  ඒ දවසට දානමය කටයුත්තක යෙදෙන්නත් අමතක කරන්නෙ නැහැ. 

• ඊට අමතරව ඔබ සංදර්ශනයක් එහෙමත් පවත්වනවා නේද?

මම අවුරුදු 5කට වතාවක් ‘‘සෙනෙහසේ ගීත’’ නමින් ප්‍රසංගයක් කරනවා. ඒ මගේ ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන්. කිසිදු මුදල් අය කිරීමකින් තොරව ඒ ප්‍රසංගය පවත්වන්නෙ. මගේ උපන්දිනය වෙනුවෙන් මට ආදරය කරන අයට ලබාදෙන විශේෂ තෑග්ග. මේ ප්‍රසංගය අවසන් වරට පැවැත්වූණේ 2018 වසරෙදි. නැවත 2023 සැප්තැම්බර් 07 වැනිදා තමයි පවත්වන්න සුදානමින් ඉන්නෙ. ඉතින් මට ආදරය කරන හැම කෙනෙකුටම ඒ වෙනුවෙන් ආදරණීය ලෙංගතුකමකින් සම්බන්ධ වෙන්න පුළුවන්.

• ඔබ ඒ  විදියට ආදරෙන් ලබා දෙන තෑග්ගට ඔබට ආදරය කරන පිරිසගෙන් ඒ දවසට ලැබෙන සුභ පැතුම් කොහොමද?

සැප්තැම්බර් 7 දවස උදාවෙද්දිම සුභ පැතුම් විශාල සංඛ්‍යාවක් හතර අතින් ගලාගෙන එනවා. ඇත්තටම මේ විදියෙ ආදරයක් ප්‍රතිචාරයක් ලබන්න මම කොච්චර වාසනාවන්තද කියලාත් හිතෙනවා. මොකද මම ගමක ඉපදුණු දුප්පත් කොල්ලෙක්නෙ. නමුත් අද වෙද්දි මගේ වටා එකතුවෙලා ඉන්න පිරිස අති විශාලයි. මගේ ගීත ප්‍රිය කරලා මට ආදරය කරලා මට ඔවුන් ලබාදෙන ආශිර්වාදය මගේ ජීවිතේට ලොකුම ශක්තියක්. ඒ හැමෝටම මමත් ගොඩක් ආදරෙයි. සමහර වෙලාවට පිටරට ප්‍රසංගවලට ගිය අවස්ථාවලදිත් වතාවන් කිහිපයකදී උපන්දිනය සමරන්න අවස්තාව ලැබුනා. ඉතින් දෙස්, විදෙස් ශ්‍රී ලාංකිකයන් ලොකු ආදරයක් ලබාදෙද්දි හරිම සතුටුයි. ඒ සතුට වචනවලින් කියන්න බැරි තරම්.

ධනු විජේරත්න