මගේ කටවුට් එක දැක්කම මටම කෑගැස්සුණා - ඩිනාරා පුංචිහේවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩිනාරා.. ඔයා රඟපාපු පළමු වෘත්තාන්ත සිනමා පටය 'ගාඩි' මේ වෙද්දි තිරගත වෙනවා.  ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්.. 'ගාඩි' කියන්නෙ මම රංගනයට එකතු වුණු මුල්ම චිත්‍රපටය. එය අධ්‍යක්ෂණය කළේ ප්‍රසන්න විතානගේ මහතායි. 'ගාඩි' චිත්‍රපටයට පස්සෙ මම තව චිත්‍රපට තුනකට දායක වුණා. ඒ සංජීව පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ 'ආයු' සහ 'විහඟ ප්‍රේමය' චිත්‍රපටවලට සහ මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ 'සහෝ' චිත්‍රපටයටයි.

'ගාඩි' චිත්‍රපටයට ඩිනාරාට අවස්ථාව ලැබුණෙ කොහොමද?

මේ චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරාගැනීමේ පරීක්ෂණයක් තිබුණා. පුංචි කාලේ ඉඳන් මම රඟපාන්න හරි ආසයි. ඉතින් මම දන්න හඳුනන කිහිප දෙනෙක්ම WhatsApp එක හරහා මේ ගැන කිව්වා. ඉතින් මාත් ඒ අවස්ථාවට සහභාගි වුණා. මට තාම මතකයි එදා මට ලැබුණු අංකය තුන්සිය හැට පහ. ඒ නිසා මම මගේ වාරය එනතුරු පෝලිමට වෙලා හිටියා. ටික වෙලාවකට පස්සෙ මට එකසිය ගාණක අංකයක් ලැබුණා. සම්මුඛ පරීක්ෂණයේදී මට ඇතුගල සර්ව මුණගැහුණා. ඒ වෙද්දි මම වේදිකා නාට්‍යවල සහ කෙටි චිත්‍රපටයක රඟපාලා තිබුණා. ඒ වගේම මම එංගලන්තයේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. අවසානයේදි මට 'ගාඩි' චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මාස හයක කාලයක් අපි පුහුණුවීම්, නැටුම් පන්ති කළා. මට සෑහෙන්න පොත් කියවන්න දුන්නා. 

ටිකිරි ගොඩක් වෙනස් චරිතයක්. ඒ ඇඳුම් පැළඳුම්, හැසිරීම, රඟපෑම වෙනස්. මේක ඔබට අභියෝගයක් නේද?

ඔව්.. ටිකිරි කියන්නෙ රදළ පවුලක බාල වියේ කාන්තාවක්. සැමියාගේ අතින් වෙන අඩුපාඩුවක් නිසා රාජ්‍ය නීතියට අනුව ඇයට දඬුවම් ලැබිලා ඒවා නොකිරීම නිසා ඇයට රොඩී කුලයට සම්බන්ධ වෙන්න සිදු වෙනවා. ඒ චරිතය තුළදී මම ඇත්තටම ඒ චරිතය තුළ ජීවත් වුණා. අපි සෑහෙන කාලයක් පුහුණුවීම් කළා. ඒ නිසා රෑගත කරද්දි ඒවා අපේ ඇඟේ තිබුණා. ප්‍රසන්න සර් හැම දෙයක්ම අපිට කියලා දුන්නා. ඇත්තටම මේ චරිතය මට අභියෝගයක් වුණා. ඒ ඇඳුම් වගේම ඒ රෑගත කිරීම් අභියෝගයක්. අපි රෑගත කිරීම් කළේ කැලේ. අපි එකදිගට මාස දෙකහමාරක් කැලේ හිටියා. උදේ පාන්දර හතරට නැගිටලා හය විතර වෙනකම් රෑගත කිරීම් කළා. දින දෙක තුනක් කෙටි නිවාඩු ලැබුණට අපි හැමදාම පුහුණුවීම් කළා. එහෙම තමයි මමයි සජිතයි 'විජය සහ ටිකිරි' වුණේ.

ඩිනාරා... 'ගාඩි' චිත්‍රපටයේ ඇතැම් අභියෝගාත්මක තැන් හරි අපූරුවට සජිතත් ඔබත් රඟපාලා තිබුණා. කැලේ දුවන දර්ශන වුණත් තාත්වික විදිහට කරලා තිබුණා. ඒ අත්දැකීම් කොහොමද?

ඔව්.. අපි සාමාන්‍ය ජීවිතේදි සපත්තු නැතිව කැලේ දුවන්නෙ නැහැනෙ. ඉතින් එහෙම වේගයෙන් දුවද්දි ටිකක් අමාරු වුණා. හැමදාම ෂූටිං ඉවර වුණාට පස්සෙ කකුල්වල තිබුණු කටු ගලවන්න සිදු වුණා. ටොයිලට් බ්‍රෂ් එකකින් නියපොතු, කකුල් මැද්දා. ඒත් ඒවා මටවත් සජිතටවත් වදයක්වත්, දුකක්වත් වුණේ නැහැ. අපි හරිම ආසාවෙන් මේ චරිත දෙක රඟපෑවා. චිත්‍රපටයේ එක කොටසක අපි දෙන්නට දිමි ගොටු ඇඟට දාන කොටසක් තියෙනවා. මුලින්ම ප්‍රසන්න සර් අපිව ඒ කොටසට එකතු කර ගන්න අකමැති වුණත් මායි සජිතයි දෙන්නම ඒ කොටස රඟපාන්න කැමති වුණා. ඊට පස්සෙ අපි දෙන්නට ඇත්තම දිමි ගොටු දාලා ඒක රෑගත කළා. දෙපාරක්ම ඒ කොටස කරන්න අපිට සිදු වුණා. අද ඒ චිත්‍රපටය බලද්දි අපිට හරි සතුටුයි.

සජිත ඇන්තනී සිනමාවේ අපූරු දක්ෂයෙක්. ඔහුගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

මීට කලින් සජිතව මට මුණගැහිලා තිබුණේ නැහැ. පුහුණුවීම් කරන කාලෙදි තමයි අපි මුලින්ම මුණගැහුණේ. සජිත ගොඩක් ටෙලිනාට්‍ය, චිත්‍රපට කරලා තියෙනවා. ඔහු දක්ෂයෙක් වගේම හරිම සැහැල්ලු, සුහදශීලී කෙනෙක්. මගේ රංගනය හොඳයි කියලා කවුරු හරි කියනවා නම් එහි ගෞරවයෙන් කොටසක් සජිතට හිමි වෙනවා. මට ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

ඔබ අධ්‍යාපනය ලැබුවේ කොළඹ කාන්තා විදුහලේ. පාසල් ජීවිතේදි නාට්‍යකරණයට වැඩි නැඹුරුවක් තිබුණද?

අම්මෝ ඔව්.. පාසලේදි නාට්‍ය විතරමයි බාහිර ක්‍රියාකාරකමකට කළේ. හැම විෂයක්ම මට නාට්‍යයක් වුණා. විද්‍යාව වුණත් නාට්‍යයක් විදිහටයි මම පාඩම් කළේ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි නාට්‍යවල මම රඟපෑවා. පාසලේදි 'හොඳම නිළිය' සම්මාන කිහිපයක්ම ලබා ගත්තා. පාසල් වේදිකාව තමයි මගේ රංගනයේ මුල්ම අඩිතාලම වුණේ.

ඩිනාරාගේ පවුල කලාවට සම්බන්ධ පවුලක්ද?

නැහැ.. මගේ පවුලේ කවුරුත්ම කලා කටයුතුවලට සම්බන්ධ නැහැ. මගේ තාත්තා චිත්‍රපට බලනවා. කලාවට හරි ආසයි. මම පුංචි කාලෙ අපේ තාත්තා අපිට ගොඩක් චිත්‍රපට පෙන්නුවා. සිංහල, දමිළ, ඉරාන්, ඉංග්‍රීසි, සෑම චිත්‍රපටයක්ම තාත්තා අපිට බලන්න දුන්නා. මට තාම මතකයි ඉස්සර තාත්තා චිත්‍රපට කැසට් ගෙනාවාම අපි ඒවා බැලුවා. චිත්‍රපටවලට මගේ රුචිකත්වය මුලින්ම ඇතිවුණේ තාත්තා නිසයි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා තාත්තාට ව්‍යාපාර කටයුතුවලට උදව් කරනවා. මට නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්නවා.

පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයට ඔබ එංගලන්තයට යනවා. එහෙම නේද?

ඔව්.. මම එංගලන්තයේ Queen Mary විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධිය හැදෑරුවා. අවුරුදු තුනක පමණ කාලයක් මම එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබුවා. කලාව කියන්නෙ විශාල පරාසයක දිවෙන දෙයක්. වෙස්ටින් නගරයේ වේදිකා නාට්‍ය බොහොමයක් වේදිකා ගත වෙනවා. අපි ඒ වේදිකා නාට්‍ය බැලුවා. ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. ඒ හරහා මම රංගනයට හොඳ අත්තිවාරමක් දැමුවා කියලා විශ්වාස කරනවා. එංගලන්තයේ ඉඳන් මම ලංකාවට ආවේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න. ඒ අතරේ මම ඉන්දියාවේ වැඩමුළු කිහිපයකටම සහභාගි වුණා. වේදිකා නාට්‍ය කිහිපයකටත්, කෙටි චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම ගාල්ලේ රෑගත කළ බ්‍රිතාන්‍ය ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා.

අද වෙද්දි ඩිනාරා ගුරුවරියක්. ඔබේ සැබෑ චරිතය ගැන මොකද හිතෙන්නෙ?

ගුරු වෘත්තියට මම හරි ආදරෙයි. මම සේවයක් හැටියට ගුරු වෘත්තියේ යෙදෙනවා. එංගලන්තයේදි ඉගෙන ගත්ත දේවල් ආපහු අපේ රටට දෙන්නෙ කොහොමද කියලා මම හිතුවා. මුලින්ම ළමා නිවාසවල ඉන්න දරුවන්ට මේ ගැන කියලා දුන්නා. ඒ ළමා නිවාසවලට ගිහින් නාට්‍ය වැඩමුළු කළා. පසුගිය කාලෙ නම් මට ඒක ටිකක් මඟහැරුණා. ඉදිරියේදි ආයෙත් ඒ කටයුතු පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඩිනාරා අක්කා.. ඩිනාරා අක්කා කියලා ඒ ළමා නිවාසවල ඉන්න නංගිලා මල්ලිලා මම එනකම් බලාගෙන හිටියා. මම ඉගෙන ගත්තු දේවල් ආපසු ඒ නංගිලා මල්ලිලා හරහා මේ සමාජයට දෙන්න මම හරි ආසයි. ඒ අතරේ මේ වෙද්දි මම ජාත්‍යන්තර පාසලක නාට්‍ය හා රංග කලාව ගුරුවරියක් විදිහටත් සේවය කරනවා.

කවදා හරි නිළියක් වීම ඩිනාරාගේ පුංචි කාලේ ඉඳන් තිබුණු හීනයක්ද?

ඔව්.. වෙන හීන මුකුත් තිබුණෙ නැහැ. එච්චරමයි තිබුණෙ. පුංචි කාලෙ අපි සෙල්ලම් කළෙත් නළු නිළියන් වගෙයි. මගේ දෙමව්පියෝ ඒකට කිසිම විදිහයකින් තහංචි දැම්මෙ නැහැ. ඉස්සර කැත චරිත නංගිටයි මල්ලිටයි දීලා මම ප්‍රධාන චරිතය අරගෙන අපි නාට්‍ය කළා. ඉස්සර නංගි තමයි ශාරුක් ඛාන්. මම කාජල්. අපි චිත්‍රපට රඟපෑවා. මම පුංචි කාලේ ඒ වගේ සිහින ලෝකයක රඟපෑවා.

අද ඒ සිහින ලෝකයේ ඔබ චිත්‍රපට නිළියක්. මොකද හිතෙන්නෙ?

අම්මෝ.. හිතාගන්න බැහැ. 'ගාඩි' චිත්‍රපටය මුලින්ම දකිද්දි මට පුදුම හිතුණා. මට මාවම විශ්වාස කරන්න බැරි වුණා. පුංචි කාලෙ දැකපු හීනය සැබෑ වුණා කියලා මට දැනුණා. දෙසැම්බර් 31 වැනිදා ලිබර්ටි සිනමා හල ළඟ වට රවුමේ යද්දි මම 'ගාඩි' චිත්‍රපටයේ කටවුට් එක දැක්කා. මට හයියෙන් කෑ ගැහුණා. මම වාහනය නවත්තලා එළියට බැහැලා ඒකත් එක්ක පින්තූරයක් ගත්තා. මේ පුංචි කාලේ දැකපු හීනයක්. මගේ අම්මටයි තාත්තටයි ගොඩක් සතුටුයි. ප්‍රසන්න විතානගේ වැනි දැවැන්ත අධ්‍යක්ෂකවරයෙක් මාව විශ්වාස කළාට මම ඔහුට ස්තූති කරනවා.

දිශානි ජයමාලි