මම හිතනවා 2022 වසරට වඩා 2023 මට යම්තාක් දුරට හොඳ වෙයි කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත් ප්‍රභූ කියන්නේ ඉතා කෙටි කලකදීම කලා ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගාගත් කලාකරුවෙක්. අද වන විට ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. උදා වූ වසරේ සංගීත්ගේ ජීවිතේ වෙනස්කම් රැසක්ම සිදුව තිබෙනවා. ඒ සියල්ල සමග සඳැල්ල කතාබහකට එක්වූ ඔහුගේ ‘විස්තරේ’ අපි අකුරු කළේ මෙලෙසින්.

සංගීත්, කොහොම ද 2023 වසරේ විස්තරේ?

“විස්තරේ ඉතින්, 2023 වසර හොඳයි. ඒකට හේතුව අලුත් දේවල් ගොඩක් සිද්ධ වුණා. මගේ කලා ගමන තුළත්, පෞද්ගලික ජීවිතේ තුළත්, ඉතින් ඒ දේවල් සුබ විදිහට මේ වෙද්දි සිදුවේගෙන යනවා.”

කලාව දෙවනුවට තියලා පෞද්ගලික ජීවිතේ පැත්තෙ සුබ දේවල් ගැන කතා කරමු?

“මගේම කියලා ව්‍යාපාර කටයුත්තකට අත ගැහුවා පහුගිය කාලේ. ඒ ව්‍යාපාරය එක්ක මේ වසරේ නව ව්‍යාපාරයකටත් ආරම්භයක් ලබා දුන්නා. ඉතින් මම හිතනවා 2022 වසරට වඩා 2023 මට යම්තාක් දුරට හොඳ වෙයි කියලා.”

2023 වසරේ විවාහය සිද්ධ වෙනවා කියලත් ආරංචියි?

“ඇත්තටම ඒ ගැන නම් තවම හිතලා නැහැ. මම පෙම්වතෙක් නම් තමයි. නමුත් විවාහ වෙනවා කියන දේ තමන්ගේ සාර්ථකත්වයේ ඉදිරියට ගියාමයි සිද්ධ වෙන්න ඕනෑ. ඒ තමයි මගේ මතය. මම මගේ සාර්ථකත්වයට ළඟා වෙන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. ඒ තුළ ආදරේ එක්ක මගේ ව්‍යාපාර කටයුතු, කලා කටයුතු හැමදේම ලස්සනට ගලාගෙන යනවා. නමුත් විවාහයට නිශ්චිත කාල වකවානුවක් තවම යොදාගෙන නැහැ. ඉදිරියේදී බලමු.”

පුංචි තිරයට පෙම්වතුන් වුණු දෙපළක් නේද සැබෑ ජීවිතේ පෙම්වතුන් වුණේ? ඉතින් සංගීත් - කස්තුරි පෙම් කතාව ගැන කියමු?

“අපි දෙන්නාට එකට එකතු වෙලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තුළ මුල්ම රංගනය වුණේ ‘හුස්මක් තරමට’ නාට්‍යය. ඒ වගේම පෙම්වතුන් විදිහටත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. මුල් කාලෙදි නම් ආදර සම්බන්ධතාවක් තිබුණෙ නැහැ. නමුත් අපි දැන හඳුනා ගැනීමත්, කතාබහ කිරීමත් එක්ක කාලයක් යද්දි පෙම්වතුන් බවට පත්වුණා. මේ වෙද්දි අපේ ආදර කතාවට අවුරුදු 4ක් වෙනවා.”

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්වම පෙම්වතිය කරගන්න හේතුවක් තිබුණා ද?

“එහෙම නැහැ. ආදරේදි ඉන්න ක්ෂේත්‍රය, කරන රැකියාව මට නම් බලපෑවේ නැහැ. තමන්ගේ අදහස්වලට ගැළපෙනවා නම්, ඒ හැමදේම එක්ක ලෙන්ගතුකමින් ළඟින් ඉන්නවා නම්, අපි නොදැනුවත්වම ඒ දේවල්වලට බැඳෙනවා. ඉතින් මම හිතනවා එතැන තමයි ගැළපීම කියලා.”

ඒ විස්තරේ එහෙම වෙද්දී කලාව තුළ අලුත්ම වැඩ කටයුත්තකට අත ගැහුවා කිව්වා නේද?

“ඔව්. ඇත්තටම මගේ ජීවිතේ මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු වැඩක් සාර්ථක කරගන්න හැකි වුණා. පුංචි කාලෙ ඉඳලාම මට වේදිකා නාට්‍යවල රඟපාන්න මාරම හීනයක් තිබුනේ.
ඇන්ටිගනී, ඊඩිපස් වගේ නාට්‍ය බලද්දි මටත් මේ වගේ නාට්‍යයක රඟපාන්න තිබුණා නම් කියලා හිතුණු වාර අනන්තයි. ඒ තරමට මට නාට්‍ය පිස්සුවක් තිබුණේ. ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ නාට්‍ය බලද්දි ඒ දැනෙන හැඟීම විස්තර කරන්න බැහැ. ඉතින් ඒ ආසාව නිසාම මම පාසලේදී වැඩිදුර හැදෑරුවෙත් නාට්‍ය හා රංග කලාව. ඒ හරහා මට පාසලේ වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මට මේ වසරේදි ලොකුම අවස්ථාවක් ලැබිලා තියෙනවා ලංකාවෙ බිහි වුණු දැවැන්ත වේදිකා නාට්‍යයකට රංගනයෙන් එකතු වෙන්න.

ආර්.ආර්. සමරකෝන් ප්‍රවීණ නාට්‍යවේදියාගේ ‘දූවිලි’ නිර්මාණයේ නව නිෂ්පාදනයක් එනවා මේ මස 31 වැනිදා. එය එල්ෆින්ස්ටන් රඟහලේදී තමයි වේදිකාගත වෙන්නේ. ඉතින් මම හිතනවා මේ ලැබුණු අවස්ථාව මගේ ජීවිතේ හැරැවුම් ලක්ෂ්‍යයක් කියලා. ඉතින් මේ සම්බන්ධ වීම මගේ කලා ජීවිතේට ලැබුණු ලොකු වටිනාකමක්. මොකද මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පීන්. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබෙද්දි ඒ අත්දැකීම් අපිට ගොඩක් වටිනවා. ඉතින් මේ සම්බන්ධව මම විශේෂයෙන් ස්තුති කරන්න ඕනෑ ප්‍රවීණ රංගන ශිල්පිනි රම්‍යා වනිගසේකර මහත්මියට. ඇය තමයි මීට අවුරුදු 5කට පමණ පෙර මට මේ නිර්මාණයට කතා කළේ. ඒ 2016 වසරේ ‘සල්සපුනා’ ටෙලි නිර්මාණය රූගත කිරීම්වලදී. ඉතින් ඒ ආරාධනාව තමයි 2023 දී ඉෂ්ට සිද්ධ වුණේ.”

ඒ අලුත් වැඩ කටයුත්තත් එක්ක වෙනත් අලුත් වැඩ මොනවා ද?

“පුංචි තිරයේ නිර්මාණ කිහිපයකම වැඩ කරගෙන යනවා. ඉදිරියේදී ඒ නිර්මාණ තුළින් දකින්න ලැබෙයි සහ රිදී තිරයටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒවත් කතාබහ කරගෙන යනවා. ඒ දේවල් එක්ක කලා ක්ෂේත්‍රය තුළ මාව ඉදිරියේදී දකින්න ලැබෙයි.”

කලාකරුවෙක් වීම සංගීත්ගේ ජීවිතේ බලාපොරොත්තු වූ හීනයක්නෙ? අද ඒ හීන සැබෑ වීම ගැන මොකද හිතෙන්නෙ?

“අවංකවම මේ ඉන්න තැන ගැන සතුටුයි. ලොකු කට්ටක් කාලා මේ තැනට මම මාව ගෙනාවේ. මේ තැනට එන්න ලැබුණේ මගේ කැපවීම එක්ක දෛවය කියලා මම විශ්වාස කරනවා. අද කොහේ ගියත් මාව දැන හඳුනාගෙන කතාබහ කරන, ආශිර්වාද කරන පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ඒ ආදරයත්, ආශිර්වාදයත් මේ ගමනට ලොකු ශක්තියක්. ඉතින් අද මං ගැන මට සතුටුයි සහ මට මං ආදරෙයි.”

ධනු විජේරත්න