චලෝ බලන අය මට කකුලක් නැද්ද කියලා අහනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘මට අලුතින් කකුලක් දෙනකොට මම හිටියෙ හය වසරෙ. මං කැමතිවුණේ නෑ කකුලක් දාගෙන ඉස්කෝලෙ යන්න. මම ඇඬුවා, කෑ ගැහුවා, මැරෙන්න ඕනැ කිව්වා. චලෝ දන්නවද අපේ තාත්තා හැමදාම හවසට මාව මේ වැව ගාවට එක්ක ආවා. මට මතකයි එක දවසක් ලොකු රාජාලියෙක් හිටියා. එකම තැනකට වෙලා හිටියේ. ඒ දැකලා තාත්තා තමයි මට මේ කතාව කියලා දුන්නේ.’’
මෙහෙම කියන්නේ ‘චලෝ’ නාට්‍යයේ පූර්ණ. ඔහු කියන මේ කතාව සම්පූර්ණයෙන් දැන ගන්න නම් චලෝ නරඹන්න වෙනවා. ඉතින් චලෝ නරඹන අතරේ පූර්ණ වූ ධනුෂ්ක එක්ක අපි පිළිසඳරකට එක්වෙමු.

• ධනුෂ්ක ඩයස්. ඔබ ගැන හැඳින්වීමක් කරමු?

රංග කලාව හදාරමින් රංගනයේ යෙදෙන චරිතයක්.

• වෘත්තියෙන් රංගනය විතරද?

වෘත්තියෙන් මම ගුරුවරයෙක්. උගන්වන්නෙ නාට්‍ය හා රංග කලා විෂය. 

• ධනුෂ්ක විතරද නම?

ධනුෂ්ක පූර්ණිම ඩයස්.

• ගම කොහෙද?

රත්මලාන.

• පාසල් ගියේ?

O/L දක්වා වෙල්ස් කුමර විදුහලට ගියේ. ඊට පසුව උසස් පෙළ කළේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. 

• හිත තිබුණෙ කලාවටමද?

කුඩා කාලයේ ඉඳලාම නර්තනය කළා. උසස් පෙළට කළෙත් නර්තන අංශය සහ රංග කලාව.

• ඇයි කලාවට හිත ගියේ?

මම හිතන්නේ කුඩා කාලයේ ඉඳලම පාසලෙන් ලැබුණ පසුබිම සහ මගේ දක්‍ෂතාවය හඳුනාගෙන මට නිතර අවස්ථා ලබා දුන්නා. ඒ නිසා කලාව ගැන තමයි නිතර හිතුවෙ.

• ගෙදරින් කැමති වුණාද කලාව කරනවට?

ඔව්. කිසිම බාධාවක් තිබුණේ නැහැ. අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි, නංගිලා දෙන්නයි හැමෝම මට සහයෝගය දුන්නා. දහය වසරේ සිටියදී මම වෙස් බැන්දා. ඒ විදිහට මට කැමති දේ කරන්න ඉඩ දුන්නා. 

• මොන වගේ පවුලක්ද?

තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේ. අම්මා ගෘහිණියක්. අපි සාමාන්‍ය පවුලක්. 

• ධනුෂ්කගෙ අරමුණ වුණේ?

උසස් පෙළ කරනතෙක් තිබුණෙ නර්තනයෙන් ඉදිරියට යන්නයි. පසුව ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට එක්වුණා. එතැනදි තමයි රංගනය ගැන වැඩිපුර කැමැත්තක් ඇතිවුණේ. 

• රඟපෑම පටන් ගත්තේ?

තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලින් පසුව, යෞවන සම්මාන උළෙල වෙනුවෙන් කළ නාට්‍යවල රඟපෑවා. යාළුවෝ කළ නිර්මාණ සහ මාත් සමහර වෙලාවට නිර්මාණ කළා. එවායෙන් රඟපාමින් ඉදිරියට ආවා. පළවැනියටම ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑවේ රුවන්ති මහත්මියගේ ‘කළුමාලී’ කියන නාට්‍යයේ. ඒ නාට්‍යයට සම්බන්ධ වුණේ සෞන්දර්ය සරසවියේ නාට්‍ය හා රංග කලා උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටි කාලයේදියි.

• ඉන්පසුව?

සෝමලතා සුබසිංහ මහත්මියගෙ රංගායතනයට සම්බන්ධ වෙලා එතුමියගෙ සහ එම ආයතනය කළ නිර්මාණවල රඟපාන්න අවස්ථාව උදාකර ගත්තා. ඒ අතරේදි කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය එතුමියගෙ ‘දුටුතැන අල්ලනු’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට මාව ගත්තේ.

• වැඩි දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ?

‘කළුමාලි’ එකටත් කලින් කළ තුසිත ලක්නාත්ගෙ ‘ලේ නෑයා’ නාට්‍යයේ රඟපෑම නිසයි.

• ටෙලි ක්ෂේත්‍රයට මුලින්ම ආවේ?

මුලින්ම ආනන්ද අබේනායක මහතාගේ ‘අහසින් වැටුණා’ නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. ඉන්පසුව කසුන් සමීරගේ ‘ක්වීන්’ නාට්‍යයේ සහ ‘දාංගලේ’ නාට්‍යයේ රඟපැවා. එයින් පසුව ‘චලෝ’ නාට්‍යයේ අවස්ථාවක් ලැබුණා. 

• චලෝ නාට්‍යයේ ඔබ රඟපාන්නෙ ආබාධිත පාසල් සිසුවකුගේ චරිතයක්. 

මෙයා ආබාධිත වුනාට පාපන්දු ගහන්න ආසයි. ඒ සිහිනය යාළුවා ලවා ඉටු කරගන්න හදන කෙනෙක්. චලෝ එකේ මගේ චරිතයේ නම පූර්ණ. ඒ තමයි පළවැනියට මට ලැබුණු ප්‍රධාන චරිතය. එහි මගේ අනෙක් චරිතයට පණ පොවන්නෙ ශලනි තාරකා.

• කොහොමද පූර්ණට ලැබෙන ප්‍රතිචාර?

බොහොම හොදයි. සමහරු මගෙන් අහන්ගෙ ඇත්තටම ඔයාගෙ කකුල නැද්ද, අබාධිතද කියලයි.

• වෙන චරිත මොනවද?

මේ දිනවල ‘චලෝ’ නාට්‍යයට අමතරව වේදිකා නාට්‍යයක පුහුණුවීම් කරනවා. ඒකෙ නම බ්‍රදර්ස් සයිස්.

• ප්‍රධාන චරිතයක් ලැබෙන්නෙ හොඳ පෙනුමක් තියෙන්න ඕනැද?

පෙනුමට වඩා දක්ෂතාවය සහ  හැකියාව තමයි බලපාන්නෙ.  මිනිසුන්ට හොඳ රසයක් තියෙනවා. අද මිනිස්සුන්ට බොරු කරන්න බැහැ. හොඳ පරිසරයක් නිර්මාණ්‍ය වෙලා. පසුගිය කාලයේදි හොඳ නිර්මාණ බිහිවුණේ ඒ පරිසරය නිසයි.

• ධනුෂ්ක සැබෑ ජීවිතයේ කොහොම කෙනෙක්ද?

සැබෑ ජීවිතයේ මම හරි සතුටින් ඉන්න උත්සාහ ගන්න පුද්ගලයෙක්. මේ ක්ෂේත්‍රය ගැන හදාරමින් හොඳ ගමනක් යාමේ බලාපොරොත්තුව තිබෙන කෙනෙක්. 

• කොහොමද ධනුෂ්කගෙ ආදරේ. 

හැමෝටම ආදරෙයි.

• ආදරේ ඔබ දකින විදිය කොහොමද?

හැමෝටම අවශ්‍ය දෙයක්. ආදරය තියෙන තැන හරි ලස්සනයි.

• ආදරේ ගැන කියැවෙන ඔබ ආසම ගීතය?

බොහොමයක් තියෙනවා. ඒ අතරින් ‘ආදරේ සුන්දර වරදකී’ ගීතයට ආසයි.

• කොහොමද ඉස්කෝලෙදි ගුරුවරයාගේ භූමිකාව? 

ඒක මම අවංකවම කරනවා කියලා හිතනවා. උතුරු කොළඹ මෝදර පැත්තේ ළමුන්ට උගන්වන නිසා එයාලගෙ ප්‍රශ්න තේරුම් අරගෙන හරි ආදරෙන් ඒ කටයුතු කරනවා. ළමයි මට හරි ආදරෙයි. 

• කොහොමද ධනුෂ්කගේ ගෙදර ජීවිතේ?

පවුලෙ අය එක්ක සතුටින් ගතවෙනවා.

• කවදද ධනුෂ්කගෙ විවාහය එහෙම?

ළඟදීම නම් නොවෙයි. තවම ඒ ගැන කියන්න මමවත් දන්නේ නැහැ.

සඳුන් ගමගේ