මම වයස 18ක වගේ තරුණියක්. විවාහ වෙලා ඉන්නේ පවුලට සම්බන්ධ දිසාවේ නිලමේ කෙනෙක් එක්ක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජාත්‍යන්තර කීර්තියට පත් සිනමාවේදී ප්‍රසන්න විතානගේ සිනමාකරුවාගේ තවත් අපූරු සිනමා නිර්මාණයක් මේ දිනවල තිරගත වෙනවා. මෙහි විශිෂ්ට චරිත රංගනයක් සමග හමුවන ඩිනාරා පුංචිහේවා සමග අද අපි පිළිසඳරකට එක්වෙමු. ඩිනාරා මෙහි රඟපාන්නේ ‘ටිකිරි’ නම් වූ චරිතය වන අතර ඇයගේ එම රංගනය ජාත්‍යන්තර මට්ටමේ රංගන කුසලතාවක් බව සඳහන් කළ හැකියි. ඩිනාරා යන්නෙහි තේරුම අරාබි කලාපයේ රටවලට අනුව ‘රන් කාසිය’ යන්නය. ඊට ටිකක් එහාට ගිහින් රුසියානු කලාපයේ කසකස්ථානයේ අරුතට අනුව ඩිනාරා යනු ‘මිල අධික’ යන අරුතය. එනයින් බැලු කල මේ ඩිනාරා ඇයගේ නාමයට සැබෑ ලෙස අරුතක් ලබාදුන් තුරුණු රංග ශිල්පිනියකි. මේ ගාඩි ටිකිරි වූ ඩිනාරාගෙ හඬයි. 

කවුද මේ නම දාලා තියෙන්නෙ ? 

මගේ සීයා. 

කවුද මේ ඩිනාරා ? 

මම හිතන්නෙ මම රංගනයට කැමති කෙනෙක්. කුඩා කාලයේ ඉඳලම රඟපෑමට ආසා කළ කෙනෙක්. ප්‍රසන්න විතානගේ වැනි ජාත්‍යන්තර නිර්මාණකරුවකුගේ නිර්මාණයක රඟපෑම ඕනෑම කෙනෙකුගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කරගත්ත ශිල්පිනියක්. එවැනි අවස්ථාවක් මට ලැබීම ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 

ඩිනාරාගෙ පවුල් වටපිටාව ගැනත් කැමතිද කියන්න ?

මට අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි තමයි ඉන්නෙ. මම විවාහකයි. සැමියාගෙනුත්, පවුලේ අයගෙනුත් මගේ රංගන කලාවට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. උපන්නෙ කොළඹදී. ඉගෙන ගත්තෙ කොළඹ කාන්තා විද්‍යාලයෙන්. ඉන්පසුව උසස් අධ්‍යාපනය ලැබුවෙ එංගලන්තයෙ ‘ක්වීන් මේරී’ සරසවියේ. උපාධිය වෙනුවෙන් කළේ නාට්‍ය හා රංග කලාව. තාත්තා ඇඟලුම් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ.. අම්මයි තාත්තයි කලාවට හරි කැමතියි. වේදිකා නාට්‍යවලටත් කැමතියි. කුඩා කාලයේ ඉඳලම මම කරන දේට එයාලා උදවු කළා. රංග කලා අංශයේ උපාධිය කරන්න යද්දි ඇයි ඒක කරන්නෙ? කියලා බාහිර අය අපේ අම්මා තාත්තාගෙන් ඇහුවත් එයාලා ඒකට විරුද්ධ වුණේ නැහැ. කරන දේට වඩාත් සැළකිලිමත් වෙන්න කීවා. ඒවගේ මව්පියන් ලැබීම ගැන මට හරි සතුටුයි. 

ව්‍යාපාර අංශය ගැන ඩිනාරාට අදහසක් ආවෙම නැද්ද? 

කවදාවත්ම නැහැ. කුඩා කාලයේ ඉඳලාම අම්මයි, තාත්තයි මාව එක්කගෙන ගියේ නාට්‍ය බලන්න සහ ස්ටීවන් ස්ෆිල්බර්ග් වැනි සිනමාකරුවන්ගෙ චිත්‍රපට නරඹන්න. මට මතකයි ස්ෆිල්බර්ග්ගෙ Jaws එහෙම බලන්නත් ගියා. ඒ වටපිටාව එක්ක මගේ මනස තිබුණෙ කලා අංශයට. රංගනය ගැනම තමයි හිතුවෙ. මගේ නංගි නම් ව්‍යාපාර අංශය ගැන හිතනවා. ඉතින් එයා ඒ අංශයේ යද්දි මම කලාව තෝරා ගත්තා. එක අරමුණක් මට තිබුණෙ. මේ දක්වා ආවේ ඒ අරමුණ ඔස්සේ. 

ගාඩි ෆිල්ම් එකේ ටිකිරි වීමට පෙර රඟපෑ නිර්මාණ මොනවද? 

උසස් අධ්‍යාපනය කරලා ආවට පස්සෙ මහරාජා ආයතනයේ රේඩියෝ නාලිකාවේ News First ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කළා. අමතර තෝරා ගත් වෙළඳ දැන්වීම් කිහිපයකත්, ඉංග්‍රීසි වේදිකාවේ වේදිකා නාට්‍යවලටත් දායක වුණා. ඉන්පස්සේ කෙටි චිත්‍රපටයක රඟපෑවා. ඒක ජාත්‍යන්තර සිනමා උළෙලවලට ඉදිරිපත් කළ එකක්. ඒ අතරේදි තමයි ප්‍රසන්න විතානගේ සර්ගේ ගාඩි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් පුහුණු පරීක්ෂණයකට සහභාගි වුණේ. ගාඩි චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සංජීව පුෂ්පකුමාර මහතාගේ ෆිල්ම්ස් දෙකක රඟපෑවා. ආසු සහ ආරම්මන. ඒ  ෆිල්ම්ස් තිරගතවීමට නියමිතයි. 

ඩිනාරා, ඔබ ගාඩි චිත්‍රපටයේ රඟපාන ටිකිරිගේ චරිතය ගැන විචාරකයින් බොහෝම ප්‍රසංසාවෙන් කතා

කරන්නෙ? එය ජාත්‍යන්තර මට්ටමේ රංගනයක් කියලයි කියන්නෙ? මොකක්ද ඔබ කළ හරඹය? 
කතාවට අනුව මම වයස 18ක වගේ තරුණියක්. විවාහ වෙලා ඉන්නේ පවුලට සම්බන්ධ දිසාවේ නිලමේ කෙනෙක් එක්ක. ඒ කාලයේ හැටි එහෙමයි. පවුලෙන් පිට විවාහ කරවන්නෙ නැහැ. ඒ දිසාවේ නිලමේ කළ පාවාදීමක් නිසා ඇයට හිමිවන ඉරණම වන්නෙ දියේ ගිල්වා මැරීමයි. ඇය ඒක ප්‍රතික්ෂේප කළ නිසා ඇයව රොඩීන්ට පාවා දුන්නා. මේ චිත්‍රපටය ඓතිහාසික කතාවක් වුණත් මේක ආදර කතාවක් කියලයි මට හිතෙන්නෙ. ටිකිරිව ගාඩි රැහැට පාවාදුන් පසුව ඇයගේ ජීවිතයට සිදුවන දේ ඔබට චිත්‍රපටය නරඹා දැන ගන්න පුළුවනි. ආදරයට කුලය සම්බන්ධ නොවුණට අදටත් ඒ සමාජ ප්‍රශ්න සමාජයේ පවතිනවා.  

ඔබගේ සැමියා ගුවන් නියමුවෙක්. හිටපු ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණිගෙ පුත් සංජේ වෙත්තමුණි. සංජේ ඔබට මේ රංගන කටයුතුවලට ලබාදුන් සහයෝගය මොන වගේද? 

කුඩා කාලයේ ඉඳලම එයාට තිබුණෙත් එක් අරමුණක්. ගුවන් නියමුවකු වීමේ අරමුණ. එයා ඒ අරමුණ ජය ගත්තා. ඒ වගේම මම රංගන  ශිල්පිනියක වීමට සිටි බව එයා දන්නවා. අපි දෙන්නට දෙන්නා අපි  ගැන දන්නවා. ඒ නිසා දෙන්නට දෙන්නා සහයෝගය ඇතිව තමයි නිතරම කටයුතු කරන්නෙ. මගේ සැමියා මේ චිත්‍රපටයේ චරිතය රඟපෑමට වගේම මගේ රංගන විෂයයට ලබාදෙන්නෙ ලොකු සහයෝගයක්. ඒ ගැන මම එයාට ස්තුතිවන්ත වෙනවා. මොකද සමාජය ගත්තොත් හැමෝටම ඒ වගේ අවබෝධය නැහැනෙ. ඒත් මගේ සැමියාට මා ගැන වගේම මට එයා ගැන ලොකු අවබෝධයක් තියෙන්නෙ. විශේෂයෙන්ම ක්ෂේත්‍ර දෙකක ඉන්න දෙදෙනකුට ඒ වගේ ලොකු අවබෝධයක් වටහා ගැනීමක් තිබීම හරිම වැදගත්. මගේ සැමියා වගේම එයාගෙ පවුලෙන් සහ මගේ පවුලෙන් මට ඒ සපෝට් එක ලැබෙනවා. 

සංජේ සහ ඔබගේ මුණ ගැසීම, සිදුවුණේ කොහොමද? ඒ ගැන කියන්න කැමතිද? 

අපේ යාළුවකුගේ වෙඩින් එකකදි හමුවුණේ. ඉතින් එතැනින් පසුව අපේ ආදරණීය කතාවත් පටන් ගත්තා. 

සංජේ, ජාත්‍යන්තරයේ ප්‍රකට ක්‍රිකට් පවුලකින් පැවත එන කෙනෙක්නෙ. ඔබ ක්‍රිකට් ගැන දක්වන උනන්දුව මොන  වගේද? 

මම නම් ක්‍රිකට් ගැන උනන්දු නැති තරම්. ඒත් හොඳ මැච් එකක් තිබුණොත් නරඹනවා. වර්ල්ඩ් කප් වගේ තරගයක් නම් නරඹනවා. ඒ හැර ලොකුවට ක්‍රිකට් ගැන උනන්දු නැහැ. 

සංජේ ගුවන් නියමුවකු නිසා ගුවන් නියමු කුටියේ සිට (cocpit)  ලෝකය දකින්න ඔබටත් අවස්ථා ලැබෙන්න ඇති? 

බොහෝ අවස්ථාවල මාත් cocpit එකේ ගිහින් තියෙනවා. එය වෙනස්ම අත්දැකීමක්. එය වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් දෙයක්. 

ඒ විදියට ගිය අවස්ථාවලදී ඔබට ඇතිවූ අදහස් මොන වගේද? 

‘ගුවන් නියමු’ ජොබ් එක මොන තරම් නම් අසීරුද කියලා හිතුණා. එය දැනෙන්න නම් ‘කොක්පිට් එකේ ගිහිල්ලම බලන්නම ඕනෑ. ගුවන් නියමු ජොබ් එක ඉතා අසීරු එකක්. එයාලට තියෙන පීඩනය වගකීම ඉතා ඉහළයි. ඒ ගැන සියැසින් දකිද්දී සංජේ ගැන මට දුකත් හිතුණා. 

ඔබගේ පවුලේ අය මේ ‘ගාඩි’ නැරඹුවද? 

ඔක්කෝමලා වගේ නැරඹුවා. එයාලටත් හරි පුදුමයි. මම  මේ චරිතය හරහා පුදුමයක් තමයි පත්තු කළේ. එයාලට හරි සතුටුයි ඒ වගේම මම මේ වගේ චරිතයක් කළ විදිය ගැන පුදුමත් වෙනවා. 

ඩිනාරාට රොඩි ලෙස සමාජය විසින් වෙන්කළ මිනිස්සු  හමුවෙලා තියෙනවද? 

අද ඒ කුල වෙනස් වෙලානෙ. නම් පවා වෙනස්වෙලා. ඒ නිසා ඉතිහාසය සොයා යන්න ප්‍රසන්න සර් අපට ගොඩාක් උදවු කළා. මාස 8ක් තිස්සේ අපි පොත්පත් පරිශීලනය කළා. බොහෝ දේ සොයා බැලුවා. ඒ වගේම සර් වැඩමුළු පවා කළා. ඉන්පසුව තමයි  ගාඩි රූගත කිරීම් ආරම්භ කළේ. එදා ඒ සමාජය සිටි විදිය අවබෝධ කර ගැනීමට කළ පර් යේෂණයක් වගේ අත්දැකීමක් මට ලැබුණෙ. ප්‍රසන්න සර් එක්ක වැඩ කරද්දී හරියට සරසවියකට ගියා වගේ හැඟීමක් දැනෙන්නෙ. 

ගාඩි චිත්‍රපටයේ රඟපෑම ඉතා අසීරු වෙන්නැති කියලා නැරඹු අපට තේරෙනවා. එච්චරම දුෂ්කර ප්‍රදේශවලදී නේද රූගත කළේ? කොහොමද ඒ අත්දැකීම?

මුලදි කිව්ව විදියට අපි මේ චිත්‍රපටය වෙනුවෙන් හොඳ සූදානමක් වුණානෙ. ඒ වුණත් රූගත කරද්දී බොහෝ අභියෝග තිබුණා. සාමාන්‍ය ජීවිතයේදී නයි, පොළොඟුන්, කූඩැල්ලො ඉන්න පරිසරයක නෙමෙයිනෙ අපි ජීවත් වෙන්නේ. ඒත් මේ රූගත කිරීම්වලදී අපට ඒ වගේ පරිසරයක ගත කරන්න සිද්ධ වුණා. ඒ නිසා බියක් දැනුණෙ නැහැ කියලා කියන්න බැහැ. ඒත් අපිට ඒවා අභියෝග වුණේ නැහැ. අපි ඔක්කොම නිර්මාණය ගැන විතරයි හිතුවෙ. 

ඩිනාරා මොන වගේ කෙනෙක්ද? 

මගේ පාඩුවෙ ඉන්න කෙනෙක්, කලාවට ආස කෙනෙක්. චිත්‍ර අඳින්න කැමතියි. ලෝක සිනමාවේ නිර්මාණ නරඹනවා. ඒ වගේ දේ එක්ක මගේ දැනුම වර්ධනයට අවශ්‍ය දේ සොයා ගන්න උත්සාහ ගන්නවා. අද මම නාට්‍ය සම්බන්ධව ගුරුවරියක ලෙසත් සේවය කරනවා. ඒ විදියට තමයි කාලය ගෙවෙන්නෙ. ජීවිතය කියන්නෙ තමන් කරන දේ එක්ක සතුටු විය යුතු දෙයක්. සිනමාව යනු මගේ ජීවිතයේ එක් අංශයක්. ඒත් මගේ ජීවිතය කියන්නේ  සිනමාව විතරක් නෙමෙයි. මගේ ෆැමිලි ලයිෆ් එක සහ පවුලේ සතුට තමයි  මට වඩා වැදගත්. සිනමාව සහ කලාව ඔස්සේ යන ගමනේදී මට අනාගතයේදී තව පිරිසකට උදවු කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න සූදානමින් සිටින කෙනෙක්. 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ