මට දිග ගවුම් ලස්සනයි කියලා හැමෝම කියනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි නදිශා දයාරත්න මේ වනවිට බොහෝ පිරිසකගේ ආදරය දිනා සිටින්නේ යොවුන් ගායිකාවක් විදිහට. වර්තමානයේ නිරන්තරයෙන්ම ප්‍රසංග වේදිකාව තුළ දකින නදිශාට අප සාරවිට තුළින් මෙවර ඉඩක් වෙන් කළා.

විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද ඔබගේ?

කාන්තාවන් කොහොමත් විලාසිතා කරන්න කැමතිනේ. මාත් ඉතින් එහෙමයි. හැබැයි මම යම් සීමාවක් මත ඉඳගෙන තමයි විලාසිතා කරන්නේ. කොටට හිරට තියෙන ඇඳුම් මම අදින්නේ නැහැ. මම ආස කලර්ස් ටිකක් තියෙනවා. ඒ කලර්ස්වලට ගැළපෙන ඇඳුම් අඳිනවා. බොහෝ වෙලාවට ඒ කලර් එකට ගැළපෙන සපත්තු සෙරෙප්පු, හැන්ඩ් බැග් වගේම කොණ්ඩේට දාන හේයාර් ෆින් පවා මම ගන්නවා. ඒ තමා මම විලාසිතා කරන හැටි. එකම පාටින් හැමදේම අරගෙන මම පාවිච්චි කරනවා.

කාලයෙන් කාලයට එන හැම විලාසිතාවක්ම ඔබ භාරගන්නවාද?

නැහැ. ඇත්තටම මම සරළ ජිවිතයක් ගතකරන කෙනෙක්. මම මේකඅප් එකක් එකක් වුණත් දාන්න ගියොත් නෝමල් මේකඅප් එකක් තමයි දාන්නේ. කොණ්ඩේ වුණත් මම කලර් කරන්න කැමති නැහැ. සාමාන්‍ය විදිහට තියාගන්න තමයි හැම වෙලාවේම බලන්නේ. ගොඩක් ආසයි මම සරල විදිහට ජිවිතේ ගෙවන්න. මගේ විලාසිතාවට තියෙන කැමැත්තත් ඒ වගේ. සරළ චාම් විලාසිතා තමයි මම මුල්තැන දෙන්නේ. කොටින්ම කිව්වොත් මම විලාසිතා පැත්ත පස්සේ ලොකුවට යන කෙනෙක් නෙමෙයි.

ඔබට වැඩියෙන් ගැළපෙන්නේ කොට ඇඳුම්ද දිග ඇඳුම්ද?

මට ගැළපෙන්නේ ගොඩක් දිග ඇඳුම්. මම හිතනවා මට ලස්සන එහෙම ඇඳුම් කියලා. ගොඩක් අය මට ලස්සනයි කියන්නේ දිග ඇදුම්. ඒක මටත් තේරිලා තියෙනවා. හොඳම උදාහරණය තමා ෆේස්බුක් හරි ඉන්ස්ටර්ග්‍රැම්ස් එකේ හරි මම පොටෝ එකක් දැම්මොත් ගොඩක් අයගේ ප්‍රතිචාර එන්නේ මට දිග ඇඳුම් ලස්සනයි කියලා. මම කොටටත් අඳිනවා. හැබැයි ඒක මම සීමාවක් මත කරන දෙයක්.

ගැළපෙන ඇඳුම් තෝරගන්නේ ඔබමද?

මට ඇදුම් තෝරගන්නේ මමමයි. මේ දවස්වල නම් ගොඩක් වෙලාවට ඔන්ලයින් තමයි ඇදුම් ගන්නේ. එහෙම අවස්ථාවකදී නම් මම ගන්න ඇඳුමේ පොටෝ එකක් මගේ සැමියාටත් පෙන්වලා එයාගෙනුත් අහනවා මේක මට ගැළපෙනවද කියලා. එයා දන්නවා ඉතින් මම තෝරගන්න මට ලස්සනටම ගැළපෙන ඒවා කියලා.

ඇඳුම්වලට වෙන් කරන මුදලක් තියෙනවද?

ප්‍රසංග තියෙන කොට ඒවාට අපිට එකම ඇදුම අඳින්න බැහැනේ. ප්‍රසංගවලට යන කොට මම මටම කියලා මහපු ඇදුම් තමයි ගොඩක් වෙලාවට අඳින්නේ. ඉතින් මෙච්චර මුදලක් ඇඳුම්වලට වියදම් කරනවා කියලා මට කියන්න අමාරුයි. මොකද, රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක හැමදේකම මිල වෙනස් වෙනවානේ. ලැබෙන ප්‍රසංග ප්‍රමාණය අනුව තමයි ඉතින් වියදම් කරන මුදල තිරණය වෙන්නේ.

බුද්ධික සේනාධීර