අපේ කලාකරුවන්ගේ රටෙන් එහා අවුරුදු සිරි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘සිංහල හා හින්දු’ අලුත් අවුරුද්ද කියන්නෙ ශ්‍රී ලාංකීය අපට පමණක් උරුම වූ, ස්වභාව ධර්මයට වඩාත් සමීපව පැවැත්වෙන සංස්කෘතික මංගල්‍යයක් කිව්වොත් නිවැරදියි. මේ අපූරු සංස්කෘතිය ලෝකයේ කොතැනක සිටියත්, සැමරීම ශ්‍රී ලාංකිකයින්ගේ කැමැත්තය. පුරුද්දය. අපි  බලමු පිට රටවල වෙසෙන අපේ ආදරණීය කලාකරුවන් සිංහල අවුරුද්ද සමරන්නෙ මොන විදියටද කියලා?

ලංකාවට වඩා හොඳට අපිට අවුරුදු තියෙනව  - ශ්‍රීනාත් මද්දුමගේ

20210413Awurudu (9)(මෙල්බර්න් - ඕස්ට්‍රේලියාව)

අපේ සියලු සංස්කෘතික වටිනාකම් ලංකාවේ ද‌ාලා ආපු නිසා. මුලින්ම මෙල්බර්න්වලට ආවාම අපට හිතුණෙ නාඳුනන රටක සංස්කෘතික කාන්තාරයක අතරමං වෙයි කියලයි. එතැනදීත් තදින්ම දැණුන දේ තමයි සිංහල අවුරුද්ද. ලංකාවේ කරපු දේවල් මෙහිදී කරන්න ලැබෙන එකත් නැහැ කියලයි හිතුවෙ. මට එකපාරටම මතක් වුණේ අපේ අම්මා අවුරුදු ලබන්නට පෙර කළ කී දේ ගැනයි. නොනගතේට ඉස්සෙල්ලා අපේ අම්මා ලිපේ අන්තිම ටික හුරලා අයින් කරනවා. හට්ටිවල ඉතුරුවුණ පරණ කෑම ගෙනැල්ලා කොළපතකට හලනවා. කොස්කටු, පොල් කටු, පොල් කුඩු, අළු අඟුරු මොකුත් නැතුව කුස්සිය අලුත් කරනවා. අලුත් මැටි වළං කුස්සියට එනවා. කැවුම් කොකිස් ඇතුළු රස කැවිලි ඒවායෙහි පිරවෙනවා. මෙහෙ කොහෙද දෙයියනේ ඒවාට ආම්පන්න කියලා හිතුව වාර අනන්තයි.
ඒත් දැන් බැලුවාම ලංකාවේ හිටියට වඩා හොඳට අපිට මෙහේ  අවුරුදු සරුයි. ඕනෑම දෙයක් නැති වුණාම ඒකෙ අගය වැඩියි කියලා කතාවක් තියෙනවනෙ. ලංකාවෙන් මෙහේ එන අය ඊළඟ සැරේ ලංකාවට ගිහින් එන අතරේ අනිවාර්යයෙන් අරන් එන දේවල් තියෙනවා. කැවුම්, කොකිස් අච්චු වරදින්නෙ නැහැ. ඉන්දියාවෙන් එන ගල්වංගෙඩි, මිරිස්ගල් විතරක් නොවෙයි. චීනෙන් මෙහෙට එන පුංචි වංගෙඩිත් ඇති පදමට තියෙනවා. සිංහල අවුරුදු චාරිත්‍ර කරන්න ඕනෑ කරන කෑම හදන කළමනා අඩුවක් නැතුව සිංහල කඩවල තියෙනවා. මෙහේ සිංහල සෑම ගෙදරකම මොනවා හරි කැවිලි දෙයක් හදනවාමයි. බැරි ඒවා සල්ලි දීලා කඩෙන් ගන්න පුළුවනි. සමහර ගෙවල්වල දුවා දරුවන්ගෙ අත්තම්මලා එහෙම ඇවිල්ලා ඉන්නවා නම් එයාලා දරුවන් වට කරගෙන කැවිලි හදනවා. නැකැත් චාරිත්‍රත් ඒ විදියටම අපි කරනවා. ලිපි ගිනි මෙලවීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම, මේ ඔක්කෝම ශ්‍රී ලංකාවේ නැකතට වෙලාවටම අපි මෙහි සිට ඉටු කරනවා. අවුරුදු උත්සව එහෙමත් මෙහේ අඩුපාඩුවක් නැතුව පැවැත්වෙනවා. ඒත් මෙවර නම් කෝවිඩ් තත්ත්වය නිසා ඒවා කිසියම් පාලනයක් යටතේ පැවැත්වේවි. කොහොම වුණත් අපේ සංස්කෘතික වටිනාකම් ලංකාවේ හිටියටත් වඩා හොඳට ලෝකෙට පෙන්වමින් අපි සිංහල අවුරුදු සමරන බව සතුටින් කියන්න පුළුවනි.

රතිඤ්ඤා විතරයි අඩු - රනිල් මල්ලවාරච්චි

(මෙල්බර්න් ඕස්ට්‍රේලියාව)

ලංකාවෙ වෙලාවයි මෙහෙ වෙලාවයි ගත්තොත් ලංකාවට වඩා පැය හතරහමාරක් විතර ඉස්සරහින් අපි ඉන්නෙ. ඉතින් ඒ නිසා මෙහේ ඇවිල්ල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයින් අතර සිටින නැකැත් හදන අය මෙහේ වෙලාවට අනුව නැකැත් හදලා දෙන අවස්ථා තියෙනවා. ඇත්තම කිව්වොත් ඒ අනුව අපි කෑම මේසය පිළියෙළ කරලා, කිරි උතුරවලා අපේ අවුරුද්ද සමරනවා. පන්සල් එහෙමත් යනවා. ලංකාවේ වගේ රතිඤ්ඤා විතරයි නැත්තෙ. මම හිතන්නෙ ලංකාවේ පැවැත්වෙන අවුරුදු උත්සවයකටත් වඩා ලොකුවට මෙල්බර්න්වල අවුරුදු උත්සවයක් පැවැත්වෙනවා. හාර පන්දහසක විතර සෙනගක් ඊට සහභාගි වෙනවා. ඕස්ට්‍රේලියාව කියන්නෙ සියලුම ජාතීන්ට එයාලගෙ සංස්කෘතියට අනුව උත්සව සමරන්න නිදහස තියෙන රටක්. මමයි, බිරිඳ නිරාශයි, අපේ දුව – පුතා එකතුවෙලා අපි සෑම වසරකම අවුරුද්ද සමරනවා.

20210413Awurudu-(10)

යාළුවෝ හැමෝම අපේ ගෙදර - සසන්ති ජයසේකර


(ලන්ඩන් - එංගලන්තය)

මෙහේ හිටියා කියලා වෙනසක් නැහැ. අනිවාර්යයෙන්ම අවුරුද්දට මම අපේ කැවිලි හදනවා. කොහොමටත් මම අපේ කෑම ජාති හදන්න ආසයි. අප්‍රේල් 14 වැනිද‌ාට අවුරුදු උත්සවය සමරන්න අපි සංවිධානය වෙනවා. අපේ ශ්‍රී ලාංකීය යාළුවෝ කට්ටිය එකතුවෙලා ඒ විදියට සමරන අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරන්න මුල් වෙන්නෙ මම. එක එක්කෙනා තමුන් හදලා ගෙනෙන කෑම ගැන කියනවා. 
ඊට පස්සේ අපි ලස්සනට කෑම මේසය සරසනවා. අවස්ථා දෙකකදි, යාළුවෝ අපි ඔක්කෝම එකතුවෙලා අපේ ගෙදර ඒ විදියට උත්සවය පැවැත්වුවා. අනෙක් අවුරුදු වලදි යාළුවන්ගෙ ගෙවල්වලදි ඒ විදියට අපි සංවිධානය වුණා. එකම දේ වෙලාව වෙනස් නිසා ලංකාවේ නැකත නැති වුණත් අපි පහන පත්තුකරලා කෑම මේසය ඉඳුල් කරනවා. අනෙක් සියලු චාරිත්‍ර එහෙමත් ඒ විදිහට කරනවා. පුංචියට හරි අපි අවුරුදු තරග එහෙමත් පවත්වලා පොඩි අයට තෑගි එහෙමත් දෙනවා. බැලුම් පිපිරවීම, අලියට ඇහැ තැබීම එහෙම ඒ වගේ ඔක්කෝම කරනවා. එකම දේ මේ අවුරුද්දෙ මේ පවතින තත්ත්වය නිසා අපට වෙනද‌ා වගේ අවුරුදු සමරන්න පුළුවන් වේවිද මන්දා? හැබැයි අපි අතාරින්නෙ නැහැ. අපට එකතු වෙන්න පුළුවන් වූ විගස අපි එකතු වෙනවා. එතෙක් අවුරුදු දවසේ අපේ ගෙදර, මගේ පවුලේ අය එක්ක පුංචියට හෝ කෑම මේසය හදලා අපි අවුරුදු සමරන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් ලංකාවේ හැමෝටමත් මම සුබ අලුත් අවුරුද්දක් කියා ප්‍රාර්ථනා කරනවා.

20210413Awurudu (7) 20210413Awurudu (8)

නිවාඩු නැතත් අවුරුදු තියෙනවා - තරුපති මුණසිංහ

මෙල්බර්න් - ඕස්ට්‍රේලියාව

ලංකාවේදි අපට සිංහල අවුරුදු දවස් නිවාඩු දින ලෙස නම් කර තිබුණත්. මෙහේ එහෙම නැහැ. ඒත් අපේ ලාංකිකයින් තමුන්ගෙ වැඩ රාජකාරි පැත්තකට දාලා කොහොම හරි  සිංහල අවුරුද්ද සමරන්න දින වෙන්කර ගන්නවා. ඒක මම මෙල්බර්න්වල සිටින ශ්‍රී ලාංකිකයින් වෙතින් දැකපු විශේෂ දෙයක්. ඒ සියලු දෙනා වගේම අපිත් ඒ සියල්ල නොවරදවාම ඉටු කරන්නෙ, අපේ මේ මහා සංස්කෘතික මංගල්ලයෙන් ඇති වටිනාකම ලෝකයට පෙන්වීමටයි. 
මේ සංස්කෘතික මංගල්ලය සමරන්න මෙල්බර්න්වල වෙසෙන ශ්‍රී ලාංකීය බොහෝ කණ්ඩායම් විසින් විවිධ උත්සව සංවිධානය කරලා තියෙනවා. පසුගිය වසරේ හැර ඊට පෙර සෑම වසරකදිම එහෙම අය සිදු වුණා. ඩැන්ඩිනොන් පළාතේ වෙසෙන අපේ අය මේ විදියට උත්සව ඉතා සරුවට පවත්වනවා. ශ්‍රී ලංකාවේ වගේ ‘‘සිංහල – දමිළ’’ එකමුතුකම සිංහල හින්දු අවුරුද්දෙදි මෙහි සිටින දරුවන්ට එතරම් නොදැනෙන්නෙ, වෙනත් ජාතිකයින් සමග ඔවුන්ට නිතර ජීවත්වීමට සිදුව ඇති නිසයි. වෙනසකට තියෙන්නෙ ඒ දේ විතරයි.

20210413Awurudu (1)

නැකතට කිරිබත්  - කාංචනා මෙන්ඩිස්

(ලන්ඩන් - එංගලන්තය)

ඇත්තම කිව්වොත් මම කතෝලික පවුලක කෙනෙක් වෙච්ච නිසා, ලංකාවේදි සිංහල – හින්දු අවුරුද්ද සැමරුවෙ නැහැ. හැබැයි එංගලන්තයට ආවාට පස්සෙ සැමියා නිසා සිංහල අවුරුද්ද සමරන්න මම පුරුදු වුණා. ඉතා හොඳට සමරන්න කටයුතු යෙදුවා කිව්වොත් හරි. ලංකාවෙදි වගේම නියමිත විදියටම නැකත්. පැය හතරහමාරක වෙනස එක්ක අපි අවුරුදු සමරනවා. කැවිලි හදන්න පුළුවන් වුණොත් අපි හදනවා. නැත්නම් ගන්න තැන් පවා තියෙනවා. පැය හතරහමාරක වෙනසක් තිබුණාට, ලංකාවේ චාරිත්‍ර කරන වෙලාවට අපි ඒ චාරිත්‍ර ඉටු කරනවා. ගෙදරට ඇතුළු වන තැන වතුර බඳුනක් තියලා ඒකට සුදුමල් ද‌ාලා සරසනවා. කිරි ඉතිරිවීමත් ලිප්ගල් බැඳ ඒ විදිහටම කරනවා. අවුරුදු ලබන අවස්ථාවේ ගේ ඉස්සරහා වතුර බඳුනකට මල් ද‌ාලා හෝ කිරි බඳුනක් තියන්නෙ සෞභාග්‍යය අපේක්ෂාවෙන්. ලංකාවේ කෑම ගන්න පුළුහන් තැන් මෙහේ තියෙනවා. එයාලට කිව්වාම අපිට ඕඩර එකට ඒවා හදලා දෙනවා. අපි මේ ඔක්කෝම කරන්නෙ දරුවන්ට අපේ චාරිත්‍ර – වාරිත්‍ර, ඉටු කිරීම පුරුදු කරවන්නයි. විශේෂයෙන්ම වැඩිහිටියන්ට ගරු කිරීම ආදිය ගැන කියා දෙනවා. අපේ දරුවන් තුන් දෙනාත් අපේ චාරිත්‍ර සහ සිංහල අවුරුදු උත්සවයට හරිම ආසයි.

20210413Awurudu (2) 20210413Awurudu (3)

වසන්තය ආවත් කොවුල් ගී නෑ - කිත්සිරි ජයසේකර

(ටොරොන්ටෝ - කැනඩාව)

ලංකාවේදි නම් අපට අවුරුද්ද දැනෙන්න පටන් ගන්නෙ, ඒ කාලයට පරිසරයේ සිදුවන වෙනස්වීම්ද සමගයි. පරිසරයෙ නැවුම් බවක් අපි දකිනවා. ඇහැල මල් පිපෙන – කොහෝ හඬ ඇසෙන සමයක්. මුළු පරිසරයම එක්ක මිනිස්සු අලුත් සහ නැවුම් බවකින් අවුරුද්ද සමරන්න එක්වන්නෙ. කැනඩාවටත් මෙකී සමය වසන්ත කාලය තමයි. ඒත් අපෙ ලංකාවෙදි වගේ ඒ පාරිසරික වෙනස්වීම මෙහිදී දකින්නට ලැබෙන්නෙ නැහැ. ඒකට හේතුව අපේ සංස්කෘතික ලක්ෂණවලට පමණක් උරුම වූ දෙයක් නිසා වෙන්නට ඇති. පිටරටක ජීවත් වෙද්දි මේ වෙනස පැහැදිලිව දකින්නට පුළුවන්. ඒත් මීට අවුරුදු දෙකකට විතර පෙරදි මම ලංකාවට ගිහිල්ලා නැවත කැනඩාවට එද්දි, මට එන්න වුණේ මාර්තු මාසයක. 
ඉතින් මම කැවිලි වර්ග මෙහේ අරගෙන ආවා. එහෙම ගෙනැල්ලා කෑම මේසය සරුවට හදලා අපේ යාළුමිත්‍රයින් එක්ක එකතු වෙලා ජයට අවුරුද්ද සැමරුවා. අපි මේ අවුරුද්දෙත් ඒ විදියට අවුරුදු සමරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරේදී නම් අපි අවුරුදු සැමරුවේ නැත්තෙ උපේඛාගේ පියාණන්, මියගිය නිසයි. දැන් මේ අවුරුද්දෙ උපේඛාගෙ අම්මත් මෙහේ ඇවිත් ඉන්නේ. ඒ නිසා අම්මා සහ උපේඛා කැවිලි වර්ග හදන්න සූද‌ානමින් ඉන්නෙ. ඒ දෙන්නටම හොඳට එක එක ජාතික කැවිලි වර්ග රසට ගුණට හදන්න පුළුවනි. ලංකාවට වඩා පැය දොළහාමාරක් විතර අපි ඉන්නෙ පිටුපසින්. ඒ නිසා බොහෝ වෙලාවට මෙහි සිටින ශ්‍රී ලාංකිකයින්ට අවුරුදු සමරන්න වෙන්නෙ ලංකාවෙ නැකතට පසුවයි. 14 වෙනිද‌ා ලංකාවට රාත්‍රිය වෙද්දි අපට මෙහි උදෑසනයි. අපි ඒ වෙලාවට අවුරුදු සමරනවා. නැකැත් එක්ක එය කිරීම ප්‍රායෝගික නොවුනත්, අපි අපේ අවුරුද්ද සමරනවා. අපේ බෞද්ධ විහාරස්ථාන කීපයක්ම මෙහි තිබෙනවා. ඒ විහාරස්ථානවල වැඩ වෙසෙන ස්වාමීන්වහන්සේලා පිරිත් කර මෙහි සිටින ශ්‍රි ලාංකියන්ට ආශිර්වාද කරනවා. එය සුවිශේෂි දෙයක්. ඒ වගේම හිසතෙල් ගෑම පවා සිදුවෙනවා. එය ස්තුති පූර්වකව මතක් කළ යුතු දෙයක්. අපේ සංස්කෘතිය මෙහි සිටින දුවා - දරුවනට කියා දෙන්න මෙහි වැඩ වෙසෙන මහ සඟරුවන කරන සේවාව අපි නමස්කාර පූර්වකව සිහිපත් කිරීම වැදගත්. පසුගිය වසරවලදි අපි අපේ මෙහි සිටින හිත මිත්‍රාදින්ට කෑම යැවීම කළත් මේ පවතින තත්ත්වය නිසා ඒ වගේ දේ නම් මෙවර කරන්න බැරි වේවි. නමුත් කෝවිඩ් තත්ත්වය තුළ පවා අපි අපේ අනන්‍යතාවය අත් නොහළ යුතුයි. ඒ නිසා පුළුවන් ආකාරයට අපි මෙවරත් අපේ අවුරුද්ද සමරනවා.

සඳුන් ගමගේ

20210413Awurudu (5) 20210413Awurudu (6)