කොල්ලො කෙල්ලො කාලේ අවුරුදු විඳපු හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අප සෑම කෙනකුටම සුන්දර අතීතයක් තිබේ. විශේෂයෙන් අවුරුදු සමයේ කුඩා කල ගත කළ ජීවිතය සිහිපත් කරමින් බොහෝ දෙනකු අතීතය ආවර්ජනය කරති. මේ අතරින් කලා ලොවේ කිහිප දෙනක් අවුරුදු සමයේ ගත කළ ඒ සුන්දරත්වය පිළිබඳ මෙසේ අදහස් දැක්වූහ.

ගමේ අවුරුදු හරි අපූරුයි 

 

විශ්ව කොඩිකාර

ඇත්තටම මගේ පුංචි කාලෙ අවුරුදු අසිරිය මම උපරිමයෙන්ම වින්දා. ඒ මහනුවර ගොඩමුන්න කියන සුන්දර ගම් ප්‍රදේශයේ. 1999 වසරෙ වගේ මම 6 වසර 7 වසර වගේ ඉගෙන ගන්න කාලෙ ඒ ප්‍රදේශයේ තමයි හිටියෙ. ඉතින් ඒ කාලෙ අවුරුදු කාලෙට ගමේ යාළුවො හැමෝම වගේ එකතු වෙනවා සෙල්ලම් කරන්න. ඒ එකතු වෙලා ජන ක්‍රීඩා, ජන සෙල්ලම් ගොඩක් කළා. ඒ කාලෙට ඔංචිලි පදිනවා. බෙල්ලො දානවා. පිට්ටු ගහනවා. ඒ වගේම අවුරුදු උත්සව තියෙනවා ගමේ හැමෝම එකතුවෙලා. ඉතින් අපි ගම වටේ දුවනවා. හරිම සුන්දරයි ඒ දවස්. 1999 වසරෙන් පස්සේ ඒ සුන්දරත්වය ලබන්න මට බැරි වුණා. මොකද අපි ඒ ගමෙන් නුවර නගරයට ආවා. නමුත් තවමත් අවුරුදු ළංවෙද්දි මට ඒ ගොඩමුන්න කියන සුන්දර ප්‍රදේශයේ සුවඳ දැනෙනවා. ඒ තරම් සුන්දර මතකයක්.

20210413Cele (3)

නිවාඩුව දෙනකම් ඇඟිලි ගනිනවා

 

රුවන්ගි රත්නායක

කාලයක් වහින්නේ නැතිව ඉඳලා එක පාරටම වැස්සත් එක්ක වටපිට අවුරුදු ගතියක් දැනෙනවනෙ. ඉතින් ඒ වෙනස පුංචිම කාලෙ ඉඳලම මට දැනුණා. ඒ අවුරුදු අසිරියට මම හරිම ආසයි. ඒ කාලෙදි ඇත්තටම ඉස්කෝලේ නිවාඩුව දෙනකම් තමයි බලාගෙන ඉන්නෙ. අලුත් ඇඳුම් ගන්න යනවා. ගෙදර කෑම හදනවා. කෑම ජාති හදද්දි අම්මා ළඟට වෙලා ඉන්න එහෙම හරි ආසයි. රතිඤ්ඤා, බඹර චක්කර, නිලාකුරු මට ඕනෑ. ඒවා පත්තු කරන්න ගොඩක් ආසයි. ඒත් හරි බයයි. නිලාකූරූ පත්තු කරන්නෙ උඩට ලීයක් බැඳගෙන. රතිඤ්ඤත් එක වතාවක පත්තු කරලා තියෙනවා. එදා අම්මාගෙනුත් හොඳට බැනුම් ඇහුවා. ඒත් පුංචි කාලෙ ඒ දේවල් කරන්න ආසයිනෙ. බරක් පතලක් තේරෙන්නෙ නෑනෙ. ආසාවට ඒ හැමදේම කළා. ඒත් දැන්නම් ඇත්තටම බයයි. ඉතින් මගෙ පොඩි කාලෙ ගෙවුණෙ කුරුණෑගල සුන්දර ප්‍රදේශයක. ඒ කාලේ අවුරුදු අසිරිය අඩුවක් නැතිව වින්දා. නෑගම් ගියා. ඒවත් ඇත්තටම හරි සුන්දර දේවල් අද මතකයට එන.

20210413Cele (2)

කැට ගහලා දිනනවා

අනුෂා දමයන්ති

විශේෂයෙන්ම ඒ කාලෙ ගැන මතකයට එන්නෙ අපි කරපු සෙල්ලම් සහ දඟ වැඩ ගැන. මොකද පුංචි කාලෙ මම හරිම දඟයි. ඒ කාලෙ අවුරුද්දට අපි පිරිමි ළමයි එක්ක එකතුවෙලා කැට ගහනවා. මම හරිම දක්ෂයි කැට ගහන්න. ඒ වගේම මම ඒකෙන් දිනනවා. දවසක් මම එහෙම කැට ගහලා සල්ලි ගොඩක් දිනුවා. ඒ දවසේ මම දිනපු සල්ලිත් තෑගිවලට ලැබුණු බිස්කට් පැකට්, සබන් කැට, ඒ හැමදේම මම ඇඳගෙන හිටපු සායට දාගෙන ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඒ ඔක්කොම බිමට හැලුවා. අම්මා ඒවා දැකලා මට හොඳටම බැන්නා මේවා කාගෙද කියලා. මම කිව්වා මම කැට ගහලා දිනපුවා කියලා. ඒ මොහොතෙම ඒ ළමයින්ට ඒවා ගිහින් දෙන්න කියලා අම්මා කෑ ගැහුවා. ඉතින් මම ආයෙත් ඒ සල්ලි ඒ ගත්තු අයටම බෙදලා දුන්නා. මට ඇත්තටම අවුරුදු කාලෙදි මතකයට එන ලොකුම සිදුවීම මේක තමයි. ඇත්තටම හරිම සුන්දර ළමා කාලයක් අපි ගෙව්වෙ. ගෙදර ඔන්චිල්ලාවක් බඳිනවා. දවසක් මට මතකයි ඔංචිල්ලාවක් බඳින්න හොඳ තැනක් නැතිව හොඳටම අඬලා බාර් එකක් ගෙනල්ලා ඔංචිල්ලාවක් බැඳගත්තා. අදට වුණත් මම හරිම ආසයි ඒ අවුරුදු අසිරිය විඳින්න. සුන්දර ළමා කාලයක් ගෙවපු කිසි කෙනෙක් ලොකු වුණත් මම හිතන්නෙ නැහැ ඒ දේවල්වලින් ඈත්වෙලා ඉන්න කැමති වෙයි කියලා. ඒ තරමට ඒ අවුරුදු අසිරියට කැමතියි. අදටත් අපේ ගෙදර ඒ අවුරුදු චාරිත්‍ර හැමදේම ඒ විදියටම කරනවා. ඒ කාලෙනම් නොනගතේ වෙලාවට කන්න දෙන්නෙ නැති නිසා හොරෙන් කෑවා. දැන්නම් ඉතින් ඒ දේවලුත් නිසි විදියට කරනවා.

20210413Cele (4)

 

සිඟිති අවුරුදු කුමාරි

වත්සලා දියලගොඩ

ඇත්තටම අපේ ගෙදර අපි පුංචි කාලෙ ඉඳලම අවුරුදු චාරිත්‍ර අකුරටම සිදු කළා. අම්මා ඒ හැමදේම අපිට පුරුදු කළා. පුංචි කාලෙ ගොඩක්ම කැමති මම අවුරුදු උත්සවවලට යන්න. කොහොමහරි අම්මාවත් ඇදගෙන යනවා. ඒ ගියාම ගොඩක්ම කැමති මම සිඟිති අවුරුදු කුමාරිට යන්න. ඉතින් රෙද්දයි හැට්ටෙයි අන්දවලා මාව සිඟිති අවුරුදු කුමාරිට සම්බන්ධ කරවනවා. ඒවගෙන් සමහර තරගවල දිනනවා. සමහර ඒවගේ දිනන්නෙ නැහැ. ඉතින් එතකොට පැරදුණොත් කියලා අම්මා මට ගෙදරින්ම තෑගි අරගෙන යන්නෙ. දිනුවා හෝ පැරදුණා මට තෑගි ඕනෑ. තෑග්ගක් දුන්නෙ නැත්නම් මම ඒ වේදිකාවෙන් බහින්නෙ නෑලු. ඉතින් ඒක ඒ පැත්තෙ ගොඩක් ප්‍රසිද්ධ කතාවක්. අවුරුදු උත්සවවල සිඟිති අවුරුදු කුමාරි තරග දකිද්දි මට ඉතින් ඒ කාලෙ මතක් වෙනවා. 
ඒ වගේම මම පොඩි කාලෙ අපේ පවුලෙ අයට පොඩි ළමයි හිටියෙ නැහැ. මම විතරයි ඒ කාලෙ ගොඩක් කල් යනකම් තනියෙන් හිටියෙ. ඒ හින්දා මාමලා, නැන්දලා, පුංචිලා හැමෝගෙන්ම ඒ ආදරෙ ඒ තෑගි ගොඩක් ලැබුණා. අවුරුදු කාලෙදි විශේෂයෙන්ම. 

20210413Cele (6)

මැරතන් දිව්වා

දිමංක වෙල්ලාලගේ

ඒ කාලෙ ගමේ යාළුවො එකට එකතුවෙලා සෙල්ලම් කරනවා. විශේෂයෙන්ම අවුරුදු කාලෙට කට්ටිය එකතුවෙලා අවුරුදු උත්සව පවත්වනවා. ඉතින් මම මැරතන් දුවලා තියෙනවා. තවමත් මතකයි ගම වටේ දුවපු විදිය. ඒ වගේම ලිස්සන ගහේ නැග්ගා එක වතාවක. විශේෂම මතකයක් තියෙනවා අපි ඒ කාලෙ ඔංචිලි පදිනවා. අපි ඒ ඔංචිල්ලාව බැඳලා තිබුණ තැන ප්‍රපාතයක් වගේ. එතැන හරි භයානකයි. බැරි වෙලාවත් වැටුණොත් ලොකු ප්‍රශ්නයක්. නමුත් අපි ඒ දේට හරි ආසයි. ඔංචිල්ලාව යද්දි යන්නෙ ප්‍රපාතෙට. ඉතින් අපිට බයක් හිතෙන්නෙ නැහැ. වැඩිහිටියො එපා කිව්වත් ඒ කාලෙ ඉතින් එපා කියන ඒවනෙ කරන්න කැමති. ඒත් ඉතින් කාටවත් අනතුරක් වුණේ නැහැ. දැන්නම් ඒවා මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා. ඒ වගේම ගෙදර කැවිලි හදනවා. ඒවා ළඟ ඉඳගෙන කනවා. මම ගොඩක්ම කන්න කැමති කොකිස් තමයි.

20210413Cele (1)

ජනගී කියලා පළමු තැන ලැබුණා

කෝකිල පවන් ජයසූරිය

ඇත්තටම පුංචි කාලෙ අවුරුදු අසිරිය මමත් සුන්දරව වින්ද කෙනෙක්. මගේ පුංචි කාලෙ ආච්චියි, සීයයි එක්ක තමයි ගෙවෙන්නෙ. අම්මා තාත්තා එක්ක ගෙවනවට වඩා එතැනින් එහාට ගියපු සෙනෙහසක් ඒ දෙන්නා තුළ තිබුණා. නමුත් මීට අවුරුදු 9කට පෙර සීයා නම් අපි අතරින් වෙන් වෙනවා. අපේ සීයා කියන්නෙ හරිම නීතිගරුක කෙනෙක්. ආච්චි හරිම ආදරණීයයි. ඉතින් ඒ කාලෙ අවුරුද්දට ආච්චි දණගහලා සීයාට වඳිද්දි, ගනුදෙනු කරද්දි ඒවා අපි බලාගෙන ඉන්නවා. ඒ දේවල් හරිම ආදරණීයයි. සමහර වෙලාවට අපි හිස තෙල් ගාන්න පන්සල් යන්නෙත් නැහැ. ගෙදර හැමෝටම හිස තෙල් ගාන්නෙ සීයා තමයි. ඒ වගේම අවුරුද්දට විශේෂයෙන්ම අපේ ගෙදර කැට ගහන එක කළා. ඉතින් ඒ හැමෝටම සල්ලි දෙන්නෙත් සීයා. ඒ කාලේ ඉඳන් හරිම චාම් විදියට අපේ ගෙදර චාරිත්‍ර හැමදේම කළා. කැවුම්, කිරිබත් හදන එකේ ඉඳන්ම. ඒත් අවාසනාවකට සීයා නැතිවුණාට පස්සෙ මෑතක් වෙනකම් ගෙදර කිරිබතක් නම් හැදුවෙ නැහැ. 
ඒ හැමදේමත් එක්ක විශේෂ අවුරුදු මතකයක් තියෙනවා. ඒ යාළුවොත් එක්ක අවුරුදු උත්සවයකට ගියා. එහි අවසාන අංගය වුණේ ජන ගී. ඒ වෙලාවෙ තමයි අපි එතැනට ගියේ. ඉතින් අපේ යාළුවෝ ජන ගී ඉදිරිපත් කරන්න මගෙ නම දාලා තිබුණා. සාමාන්‍යයෙන් මම ඒ දේවල්වලට ඉදිරිපත් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒත් මගේ නම කිව්වම මට ඒ වෙනුවෙන් සහභාගි වෙන්න සිදුවුණා. ඉතින් මම කොහොමහරි ජන ගී ඉදිරිපත් කළාම ඒ තරගයෙන් පළමු ස්ථානය ලබාගෙන ජයග්‍රහණය කරන්න හැකිවුණා. මම සංගීත අංශයේ තරග රැසකට සම්බන්ධ වෙලා ජයග්‍රහණ ලබාගෙන හිටියත් නොසිතූ වෙලාවක අහම්බයෙන් වගේ යාළුවෝ මගේ නම ඉදිරිපත් කරලා මේ තරගයට සම්බන්ධ කළේ. එතකොට මට අවුරුදු 16ක් වගේ ඇති. ඉතින් ඒ තරගය ජයග්‍රහණය කරලා මට තෑග්ගක් විදියට ෆෑන් එකක් ලැබුණා. ඉතින් අවුරුද්ද හා බැඳුණු සුන්දර මතකයක් තමයි ඒ. 

20210413Cele (5)