උයන පිහන වෙලාවට දුව ළඟ ඉන්නවට මම කැමැතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සෙනෙහෙබර සුන්දර මවක් ලෙසින් විවිධ සිනමා සිත්තම් හරහා ඔබේ ආලින්දයට පැමිණි ඇය, සිනමාව, ටෙලිනාට්‍ය මෙන්ම වේදිකාව එකලෙස ජයගත් සොඳුරු කලාකාරිණියකි මීනා කුමාරි. ඇය සමඟ ඇගේ මුළුතැන්ගෙයි ගතකළ මොහොතක සොඳුරු කතා බහකින් අද ලස්සන කුස්සිය හැඩවේ.

• කොහොමද මේ දිනවල වැඩ කටයුතු 

මේ දිනවල ස්වර්ණවාහිණියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයටයි, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘තාදී’ ටෙලිනාට්‍යයටයි හොඳ ප්‍රතිචාර තියෙනවා.

• රඟපෑම් කටයුතුවලින් කාර්යය බහුල වුණාම නිවසේ කටයුතු මඟ හැරෙන්නේ නැද්ද?

මොනතරම් කාර්යබහුල වුණත් ගෙදර කටයුතු සැළසුමකට අනුව කරන නිසා මඟ හැරෙනවා හරිම අඩුයි. ෂූටින් ගියත්, උදෑසන කෑම, දහවල් කෑම පිළියෙල කරලා දුවටයි, මගේ අම්මටයි, තාත්තටයි අඩුපාඩුවක් නොවෙන විදිහට තමයි යන්නේ. ඒ නිසා මම ගෙදර නොහිටියත් ගෙදර අයට කඩෙන් කන්න වෙන්නේ නෑ.

• උයන වෙලාවට සතුටින් ඉන්නවාද?

ඔව්, මොනතරම් රාජකාරි බහුල කෙනෙක් වුණත්, ඉවුම් පිහුම් කටයුතු සතුටින්, භාවනාවක් වගේ කලාවකට කරන එක මගේ පුරුද්දක්. 

• මුළුතැන්ගෙයි වැඩ කරනකොට රේඩියෝ අහන්න, ටී. වී. බලන්න පුරුදු වෙලා ඉන්නවාද?

පොඩි රේඩියෝවක් නම් කුස්සියේ තියෙනවා. සමහර වෙලාවට සිංදුවක් අහන ගමන් වැඩසටහනක් අහන ගමන් ප්‍රවෘත්ති අහන ගමන් ඉවුම් පිහුම් කටයුතු කරනවා. සමහර වෙලාවට දුව එයා කැමැතිම සිංදු දාලා තිබ්බාම ඒවා අහගෙනත් උයනවා. ඒ කොහොම වෙතත් මම හරිම ආසයි ‘සිහිය පිහිටුවාගෙන’ කරන වැඩේ ගැන අවධානයෙන් භාවනාවක් වගේ ඉවුම් පිහුම් කටයුතු කරන්න.

• ඔබ මුළුතැන්ගෙයි කටයුතු කරනකොට කවුරු එනවාටද කැමැති උදව්වට?

මම හරිම ආසයි දුව උදව්වට එනවාට. මොනවා නොකළත් එයා කුස්සියට වෙලා මගේ ගාව හිටියත් මට ලොකු හයියක්.  

• ඇයට ඉවුම් පිහුම් කටයුතු ඔබ පුරුදු කරනවාද?

උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවෙන නිසා මුළුතැන්ගෙයි කටයුතු කරන්න ඇයට ඇත්තටම වෙලාවක් නෑ. නමුත් ඕනෑම දෙයක් පිළිවෙළට වගකීමෙන් කිරීමේ හැකියාවක් දුවට තියෙනවා. ඒ නිසා මා ළඟ නිදහසේ ඉන්න ටික කාලේ මම දුවව වෙහෙස කරන්න හිතන්නෑ. නමුත් ඇයට විවේකයක් ලැබුණු වෙලාවට අපි දෙන්නාම එකතුවෙලා අන්තර්ජාලය බලන් ඉක්මනින් හදාගන්න පුළුවන් අලුත් කෑම වර්ග හදන්න උත්සාහ කරනවා. ඒ අත්දැකීම නම් හරිම රසවත්. සමහර වෙලාවට අපි දෙන්නාම හිතනවාටත් වඩා රසට එනවා. සමහර වෙලාවට වරදිනවා. කොහොමටත් කාලය ගොඩක් වෙනස් වෙලා තියෙන නිසා මම හිතනවා මගේ අම්මලා, අත්තම්මලා ඉවුම් පිහුම් කටයුතුවලට යෙදුවාට වඩා අඩු කාලයකින් මම ඉවුම් පිහුම් කටයුතු කරනවා වගේ මගේ දුවලාගේ කාලේ වෙන විට මුළුතැන්ගෙයි ගත කරන කාලය වෙනස් වෙයි. කාර්යය බහුල බව නිසා මේ වගේ වෙනස්වීම් වෙනවා.

• ඔබ හදන කෑමවලින් ගෙදර හැමෝම සතුටින් කන්නේ මොනවාද?

දුව ආසයි මම හවසට හදන පීසා, පෑන්කේක්, බනිස් වර්ග වගේ කෙටි කෑමවලට. අම්මයි තාත්තායි ආසයි උදේ කෑමට මම හදන රතුබතුයි, පරිප්පුයි, පොල්සම්බෝලයි, කරවල තෙල්දාලා කන්න. තව මම හවසට අම්මාටයි තාත්තාටයි විශේෂයෙන්ම හදන කුරක්කන් පිට්ටුවලටත් අම්මා හරිම ආසයි. තාත්තා නම් කැමැතිම මම හදන කරවල හොද්දට.

• ඔබ හදන කෑමක් ඒ අය අගය කරද්දි මොකද හිතෙන්නේ?

හරිම සතුටක් හිතට දැනෙනවා. සතුටින්, කැමැත්තෙන්, වගකීමෙන්, පිළිවෙළට පිරිසුදුව හදලා දෙන වෑංජනය දෙක හරි, හරිම රසට, ගුණට, පෝෂණයෙන් ඉහළට මම හදන්නේ ‘රාජ බෝජනයක්’ හදනවා වගේ පවිත්‍ර සිතුවිල්ලක් හිතේ තියාගෙන. ඒ නිසාම මම කොහොම හැදුවත් කෑම රසයි.

• අත් ගුණේකුත් ඇති එහෙනම්?

මම හිතනවා මගේ අම්මාට තිබුණ අත් ගුණේ එහෙන්පිටින්ම මටත් ලැබිලා ඇති කියලා. මොකද මගේ පවුලේම ප්‍රසිද්ධ කාරණයක් තමයි මගේ අම්මාගේ කෑමවල රහ සහ එයාගේ අත්ගුණය. දැන් ගොඩක් වයස නිසා නිතර ඉවුම් පිහුම් කටයුතු නොකළත් එයා ඉඳහිට හදන පොළොස් ව්‍යාංජනයට, කිරිකොස් මාළුවට, කොස් මැල්ලුම වගේම අවුරුදු මේසයට නොවරදවාම හදන හත් මාළුවටත් අපි හැමෝම කැමැතියි. 

• මුළුතැන්ගෙයි අරපිරිමැස්මෙන් කටයුතු කිරීම ගැන ඔබ දරන අදහස මොකක්ද?

මම පෞද්ගලිකවම හිතනවා පවුලක ඇතිවීම වගේම නැතිවීම ආර්ථික වශයෙන් තීරණය වෙන්නේ මවකගේ, බිරිඳකගේ සකසුරුවම්කම අනුව කියලා. එදා අම්මලා, අත්තම්මලා කළමනාකරණය විෂයක් විදිහට කවදාවත් හදාරලා නැතත් එයාලා හරි අපූරුවට ගෙදර දේවල්, මුළුතැන්ගේ දේවල් කළමනාකරණය කළා. හැමදාම උයන්න ගන්න හාල්වලින් මිටක් අරං වෙනත් මුට්ටියක ඉතුරු කළා පුංචි දවස්වල අම්මා කරන දේවල් එතරම් නොතේරුණත් ලොකු වෙනකොට තමයි දැනුණේ ඒ හාල් මිට මිට එකතු කරලා දවසක හාල් ගෙදර නැති වුණොත් කිසිම අපහසුවක් නැතුව ගෙදර හැමෝටම වේලක් කන්න හාල් හොයාගන්න පුළුවන් වෙනවා කියලා. අම්මාගේ ඒ පුරුද්ද අදටත් මම ක්‍රියාත්මක කරනවා. බත් ඇටයක් හෝ නාස්ති නොකළ යුතුයි කියලා මම නිතරම හිතනවා. ඒ නිසා හාල්, එළවළු, පලතුරු මොන දේ ගෙනාවත් අහක යන්නේ නැති වෙන්න පාවිච්චි කරන්න පුංචි කාලේ ඉඳලාම මම ඉගෙන ගත්තේ අම්මාගෙන්.

• කෑම ඉතුරු වුණොත්?

කෑම ඉතුරු වුණොත් අපේ පාරේ ඉන්න බල්ලන්ට, බළලුන්ට දෙනවා. හැමදාම වත්තට කුරුල්ලෝ වර්ග ගොඩක්, ලේන්නු එහෙම්මත් කෑම කන්න එන්න පුරුදු වෙලා ඉන්නවා. ගිරව්, පරවියෝ, පොල්කිච්චෝ දවල්ට මම කෑම දානකං බලන් ඉන්නවා. 

• ඉවුම් පිහුම් කටයුතුවලට අවශ්‍ය තුනපහ, මිරිස්කුඩු ගෙදරම හදා ගන්නවාද?

බොහෝ දුරට ඔව්. ගෙදරට අවශ්‍ය ගොඩක් දේවල් ගමෙන් එවනවා. කුරුඳු, කරාබු නැටි, ගම්මිරිස්, පොල්, කොස්, මඤ්ඤොක්කා වගේම මැංගුස්, අඹ, දොඩම්, පේර වගේ පලතුරු ගොඩක් ගෙදරින් ගෙනාවා. වේලිච්ච මිරිස් ගෙනල්ලා හෝදලා අවශ්‍ය වෙලාවට කුඩු කරලා කෑළි මිරිස්, මිරිස් කුඩු හදා ගන්නවා. ගම්මිරිස් එහෙම කවදාවත් කොටලා තියන්නෑ. අවශ්‍ය වෙලාවට ග්‍රයින්ඩර් එකට දාලා ගන්නවා. කුළු බඩු එවෙලේ කොටලා ගත්තාම හරිම නැවුම් බවක් තියෙනවා. ඉස්සර නම් අම්මා කහ, තුනපහ, මිරිස්, අබ, ඔක්කොම ගලේ අඹරලා ලුනු කැටයක් දාලා අරං තියනවා. ඒ වගේ දේවල්නම් කාර්යය බහුල නිසා කරන්න බැරි වුණත් ඒවා හරිම රසයි වගේම ගුණයි. 

• උදේ සාමාන්‍යයෙන් අවදි වෙන්නේ කීයටද?

උදෑසන අවදිවීම පුරුද්දක්. නමුත් ගොඩක් රෑ වෙනකම් ෂූටින් වැඩ තිබුණොත් ටිකක් පමාවෙලා අවදිවෙන වෙලාවල් තියෙනවා. කොහොම වෙතත් අවදි වෙච්ච ගමන් මුල්ම කාර්යය වෙන්නේ රාත්‍රී ඇඳුම් ඉවත් කරලා ශරීරය හොඳට පිරිසුදු කරලා ඇඳුමක් ඇඳගෙන තමයි කුස්සියට යන්නේ. රාත්‍රියේදිත් මම රාත්‍රී ඇඳුම අඳින්නේ රාත්‍රි වැඩ කටයුතු ඔක්කොම ටික ඉවර වෙලා ඇඳට යනකොට. එහෙම ඇඳුම ඇඳන් රාත්‍රි කෑම හදන එක කුස්සිය අස්කරන එක විතරක් නොවේ රාත්‍රී ඇඳුමෙන් රාත්‍රී කෑම ගන්න එකවත් මම අනුමත කරන්නෑ. එවැනි දේ කාන්තාවකගේ වටිනාකම අඩුවෙන්න බලපානවා කියලා මම විශ්වාස කරනවා. සමහර රූගත කිරීම්වලට ගියාම නයිටි ඇඳන් කෑම පිළියෙළ කරන මිදුල අතුගාන ජවනිකා තිබුණොත් මම ඒ වෙලාවෙම ආට් ඩිරෙක්ටර්ලාට කියලා එවැනි දේ ඉවත් කරනවා. ඇත්තටම කාන්තාව කියන්නේ වටිනා කෙනෙක්. ඒ නිසා එවැනි දර්ශන හෝ සමාජ ගත නොවිය යුතුයි කියන එක තමයි මගේ නම් අදහස.

• ඔබ කිව්වා ගෙදරක ඇතිවීම, නැතිවීම තීරණය කරන ප්‍රධානම තැන මුළුතැන්ගෙය කියලා. ඊට අමතරව හිත හදන තැනක් විදිහටත් ඔබ මුළුතැන් ගේ පාවිච්චි කරනවා නේද?

ඇත්තටම ඔව්. කරුණාව, මෛත්‍රිය, පතුරුවන්න, උපේක්ෂාවෙන් ඉවසීමෙන් වැඩ කරන්න සිහිය පිහිටුවා ගන්න, සියලු සත්ත්වයන්ට මෙත් වඩන්න වටිනම තැනක් තමයි මුළුතැන්ගේ කියන්නේ. නිවසේ මව, බිරිඳ සතුටින් ගෙදර ඉන්න මේ දේවල් හරිම වැදගත්. ඇත්තටම මම හිතනවා මුළුතැන් ගෙට සවිකරන කබඩ්වල වටිනාකමවත්, ටයිල්වල වටිනාකමවත්, නොවේ මුළු තැන්ගෙයි වටිනාකම තීරණය වෙන්නේ ගෙදර ගෘහණිය අතින් මනාව පවත්වාගෙන යන ක්‍රමය, පිරිසුදුකම, පිළිවෙල මත. අනිත් දේ තමයි මොන දේ තිබුණත් මම හිතනවා ඊර්ෂ්‍යාව, තරහාව, ක්‍රෝධය අතහැරිය මවක, බිරිඳක් ඉන්න ගෙදරක අනිවාර්යයෙන්ම සෞභාග්‍යය උතුරනවා කියලා.

අසුන්තා එදිරිසූරිය
සිතුවම: සමන් කළුබෝවිල

20210415Meena-2 20210415Meena-1