මෝඩයගෙ දවසෙ නොඉපදී හය වැනිදා උපන්න එක සතුටක් - මම කවදාවත් කේක් කපලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ‘සුබ උපන්දිනයක්’ විශේෂාංගයෙන් සදැල්ල හා එකතුවන්නේ කලා ක්ෂේත්‍රයේ ගායන අංශයට සදා නොමැකෙන සටහනක් තැබූ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ප්‍රේක්ෂක සිත්සතන්වල ලැඟුම්ගත් ඒ ආදරණීය චරිතය එඩ්වඩ් ජයකොඩි, 

• අප්‍රේල් මාසයේ උපත ලැබීම ගැන මොකද හිතෙන්නේ.

අප්‍රේල් මාසෙ හොඳ සරු භාග්‍යවන්ත මාසයක් නිසා ඒ මාසෙ ඉපදුණු අපිත් භාග්‍යවන්තයි කියලා හිතෙනවා. ඒවගේම ඉතින් මගේ උපත සිදුවෙන්නෙ අප්‍රේල් මුල් සතියෙනෙ. ඉතින් අප්‍රේල් පළවෙනිදා ඉපදෙන්නෙ නැතිව හයට ගිය එක හොඳයි. නැත්නම් ඒ දවසෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවනෙ මෝඩයාගෙ දවස කියලා. වෙලාවට ඒ දවසෙ ඉපදුණේ නැහැ. දැන්නම් ඉතින් පොඩි පොඩි ක්‍රම තියෙනවනෙ දරුවාගේ ඉපදෙන දවස වෙනස් කරගන්න. තමන්ට ඕනෑ දවසට දරුවාට ගන්න පුංවන්නෙ. ඉතින් අපේ අම්මලා තාත්තලාට එහෙම දේවල් තිබුණෙ නැහැනෙ. ඉතින් මට සතුටයි මගේ උපත අප්‍රේල් මාසෙ සිදුවීම ගැන. මොකද ශ්‍රී ලාංකිකයෝ විදියට අපේ රටේ ජාතික අවුරුදු උත්සවය සමරනවා. ඒකත් විශේෂ දෙයක්නෙ.

• ඔබේ උපත ගැන මොනවද දන්නා විස්තර?

මගේ පවුලෙ ඔක්කොම 7 දෙනයි. සහෝදරියො 4 යි. සහොදරයො 2 යි. ඉතින් ඒ අතරින් මගේ උපත සිදුවෙන්නෙ 6 වෙනියට. ඒ අප්‍රේල් 6 දවසක.

• සාමාන්‍යයෙන් අපන්දිනය දවසට ඒ කාලෙ සහෝදර සහෝදරියො එක්ක කොහොමද ඒ දවස ගත කළේ?

ඇත්තටම අපේ ගෙදර කවදාවත් කිසිම කෙනෙකුගෙ උපන්දිනයක් සමරලා නැහැ. ඒ දවසෙ විශේෂයක් තිබිලා නැහැ. මොකද අපේ ගම්වල උපන්දින සමරනවා කියලා දෙයක් ඇත්තටම නැහැ.
මම නම් මගේ උපන්දිනයක් වෙනුවෙන් ඒ කාලෙ තියා අද වනතුරුත් කේක් එකක් කපලා නැහැ. මම ඒ දේට කැමතිත් නැහැ.

• ඒත් ඔබ කලාකරුවෙක් විදියට ඔබ වෙනුවෙන් යම් යම් දේවල් පිළියෙල කරනවනෙ ඔබට ආදරය කරන පිරිස්?

මම ගුරුවරයෙක් විදියට මට ආදරය කරන මගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවො බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මගෙ ආදරණීය හිත මිත්‍රාදීන්, කලාකරුවෙක් විදියට අපිට ආදරය කරන රසික රසිකාවියො බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර සමහර වෙලාවට විවිධ නාළිකාවලින් ගෙදරට එන්න අහනවා. ඒ අයත් අපිට ගොඩක් ආදරෙයිනෙ. ඉතින් ඒ හැමෝම දන්නවා මම එහෙම කේක් කපන්න කැමති නැහැ කියලා. ඒ නිසා ඉතින් ඒ දවසට ඒ හැමෝමත් එක්ක මම එකතුවෙලා කරන්නෙ ඒ දවසට යම්කිසි දානයක් හෝ පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීම තමයි. 

• ඇයි කේක් කපන්න අකමැති ඒ දවසට?

මම කේක් කන්නෙත් නැහැනෙ. ඒ නම් මම නිර්මාංශ නිසා. කේක් වටලප්පම් කිසිම දෙයක් කන්නෙ නැහැ. ඒ නිසාම එක් වතාවක නාළිකාවකින් ඒ දවසට කිරිබත් පිගානක් අරගෙන අපේ ගෙදර ආවා. 

• උපන්දිනය දවසෙ සිදුවුණු විශේෂ සැමරුමක් ගැන මතකයන් ඇති?

උපන්දිනයක කියලා මට මතකෙ රැදෙනම දෙයක් තියෙනවා. ඒ මාරම්බරී ප්‍රසංගයෙ 100 වෙනි කඩඉම ඒ වෙනුවෙන් විශේෂ ප්‍රසංගයක් පැවැත්වුවා. ඒ මමත්, චරිතාත්, අපේ පුතා චන්දීපත් එකතුවෙලා. 100 වෙනි මාරම්බරී ප්‍රසංගය අපි පැවැත්වුවෙ ‘‘නෙතු දැහැන්’’ නමින් අපි තුන්දෙනාගෙම ප්‍රසංගයක්. ඉතින් ඒ දවසට කලාව පැත්තෙන් නම් නිර්මාණාත්මක දේවල් ගොඩක් සිද්ධවෙලා තියෙනවා. 

• පවුලෙ අයගෙන් සර්ප්‍රයිස් එහෙම ලැබිලා නැද්ද?

සර්ප්‍රයිස් කියලා නැහැ. අපි දෙයක් කළොත් හැමදේම කතා කරගෙන තමයි කරන්නෙ. විශේෂයෙන්ම අපි හතර දෙනා මමත්, චරිතාත්, දුවත්, පුතාත් එකට ඉද්දි විශේෂ දවසකට කළේ එකට එකතුවෙලා මොනවා හරි කෑමක් හදපු එක. නැත්නම් කොහේහරි ඇවිදින්න යනවා. නමුත් සාද පවත්වලා එහෙම නැහැ. දැන්නම් ඉතින් ගොඩක් වෙලාවට දරුවො දෙන්නා අපිත් එක්ක ලංකාවෙ නැහැනෙ. 

• උපන්දිනය දවසට ඔබට ආදරය කරන අයගෙන් ලැබෙන සුභපැතුම් කොහොමද?

ඒ ගැනනම් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ අපිට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවානෙ. ඉතින් ඒ අයගෙන් ලැබෙන ඒ ප්‍රතිචාර සුභපැතුම් ආදරය මිල කරන්න බැහැ. ඒ හැමදේම පිරිසිදු හිතකින්නෙ එවන්නෙ. ඉතින් ඒ හැමදේම ලොකු ආශිර්වාදයක් මේ තරම් ආදරය කරන පිරිසක් ඉන්නවද කියලාත් හිතෙනවා. 
අද තාක්ෂණයෙ දියුණුවත් එක්ක සමාජජාලා වෙබ් අඩවි, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් ඔස්සේනෙ වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ. නමුත් තරුණ කාලෙදි වගේ නිරන්තරයෙන්ම අපේ ඡායාරූප දාලා, සුභ පැතුම් පත් ලස්සනට නිර්මාණාත්මකව හදලා එවපු අය හිටියා. ඒ වගේම තෑගිභෝග එවනවා. හරිම ආදරණීයයි. ඒ හැමදේමත් ඒ දවස උද‌ාවත් එක්ක ඉතින් සුභපැතුම් ගලාගෙන එනවා.  
ඒ අතරෙ විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ අපේ සහෝදර කලාකරුවෙක් වන දයාන් විතාරණ ඔහු හැම වතාවකම අපේ පවුලෙ ඡායාරූප 100 ක් වගේ යොදවලා අන්තර්ජාලයේ සුභ පැතීමක් එකතු කරනවා. ඒ දේ දීර්ඝ කාලයක් තිස්සේ කලාකරුවන් වෙනුවෙන් ඔහු කරගෙන යන වැඩ කටයුත්තක්. ඉතින් ඒ සුභ පැතුමත් අගය කරන්න ඕනෑ. ඒ වගේ දේවල්වලින් හොඳ පන්නරයක් අපිට ලැබෙනවා. දැන් ඉතින් අපි වයසයිනෙ. නමුත් ඒ වගේ දේවල් තුළින් ලොකු ශක්තියක් ලැබෙනවා.  
ඒ වගේම නොකඩවාම මගේ උපන්දිනය වෙනුවෙන් සුභපැතුම් එකතු කරනවා. මහින්ද රාජපක්ෂ  මැතිතුමා එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ විදියට සුභ පැතුම් එකතු වෙද්දී හරි සතුටුයි. ඒ සුභපැතුම් ලොකු ආශිර්වාදයක් විදියට මම දකින්නේ. 

• අවුරුද්දෙන් අවුරුද්ද වයසට යාම ගැන මොකද හිතෙන්නෙ?

මට හිතෙන්නෙ දැන් ජීවත්වුණා ඇති. දැන් අපේ කාලය අවසන්. දිර්ඝ චාරිකාවක් යන්න ඕන නැහැ කියලා මට හිතෙන්නෙ. අපි ඕනෑම වෙලාවක මරණයට සුදානම් වෙන්න ඕනැ. අපි අපෙන් ඉටුවෙන්න ඕනැ යුතුකම් ඉටුකරන්න හැමවෙලාවෙම සුදානමින් ඉන්නෙ. මම ජීවිතේ ගැන හැරිලා බලද්දී සතුටුවෙන්න පුළුවන් කියන තැනක ඉන්නවා. එක පැත්තකින් සමාජයට හානියක් අනර්ථයක් කරලා නැහැ කියන තැන. සමහරවිට යම් යම් අතපසුවීම් වැරදි වෙන්න පුළුවන් ඒ මිනිස් ස්වභාවයනෙ. ඉතින් ඒ හැමදේම නිවැරදි කරගෙන ඇස් දෙක පියාගන්න තියෙනවානම් හොඳයි කියන හැඟීම තියෙනවා. මගෙ දැන් දරුවොත් ලොකුයි. පුතා විවාහ වෙලා විදෙස් ගතවෙලා ඉන්නෙ දුවත් විදේශ විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නවා. ඉතින් ඒ අය කැමති මාර්ගවලින් ඉදිරියට යන්න අපිට පුළුවන් විදියට යුතුකම් කරලා තියෙනවා. ඉතින් ඒ අය ඉදිරි ජීවිතේ හැඩ ගස්වගන්න ඕනැ අපි හිටියත් නැතත්. මම මේ වෙද්දි අවුරුදු 30 කට ආසන්න කාලයක් පෙරදිග සංගීතය ගුරුවරයෙක් විදියට අධ්‍යාපන නිලධාරීයෙක්, අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදියට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කළා. ඉතින් ඒ ක්ෂේත්‍රයේ පුළුවන් දෙයක් මම යහපත්ව ඉටු කළා. ඉතින් මම ඉගෙනගත්තු සංගිතය ඒ දැනුම තවමත් ලබාදෙනවා. ඒ නිසා ඇත්තටම මම දරුවන්ට හෝ වැඩිහිටියන්ට හෝ වේවා අපි දන්න දෙයක් හොඳින් කියලා දීලා අවසන් කරන්න ඕනැ කියලා මම හිතන්නෙ. ඒ නිසා මම කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම තවමත් පන්ති කරගෙන යනවා. ඒක ඇත්තටම හරිම සුන්දරයි. මම අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගියාකියලා විශේෂත්වයක් නැහැ. මොකද මම ක්‍රියාකාරීව තවමත් අධයාපන කටයුතුවලත්, කලා කටයුතුවලත්, නියැළිලා ඉන්න නිසා. විශේෂයෙන් පුංචි දරුවො එක්ක වැඩ කරන එක හරිම සුන්දරයි. මම තවම ළමයි වෙනුවෙන් ගීත ලියනවා. ගයනවා, ඒ ළමා ලෝකෙට  ගිහින් දරුවො එක්ක ඒ මොහොතවල ජීවත් වෙන්නෙ ඒ ලෝකෙට ගිහින් ඒ ජීවිතේ විදිනවා වගේ තමයි දැනෙන්නෙත්.

• මෙවර උපන්දිනය වෙනුවෙන් විශේෂ සැලසුමක් තියෙනවාද?

මම පුංචි කාලෙදී දැකපු හරි ලස්සන සිද්ධියක් තියෙනවා. අපේ අම්මයි තාත්තයි දෙන්නම කතෝලික. නමුත් අපේ ගෙදර දානයක් තිබුණු වෙලාවක පන්සලේ ස්වාමීන් වහන්සේලායි පල්ලියේ පියතුමන්ලායි එකට අසුන්ගෙන් දානයකට සම්බන්ධ වුණා. ඒ කාලෙදී අපිට ඒක ඒ තරම් දැනුණේ නැහැ. ඒත් වැඩිහිටියන් වුණාට පස්සේ ඒ කොයිතරම් වටිනාකමක්ද කියන දේ හදවතට දැනුණා. ඉතින් මටත් හිතුණා ඒවගේ දෙයක් කරන්න අපේ නිවසේත්.

ධනු විජේරත්න

20210416Edwerd-1 20210416Edwerd-2