ජානුගෙ අම්මට ලැබෙන තරම් ප්‍රතිචාර කවදාවත් ලැබ්ලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නාලන් මෙන්ඩිස් මහත්මාගේ ‘සත්පුරවැසියෝ’ ටෙලි නාට්‍යයේ ‘පද්මිණි’ කියන්නේ වසර ගණනාවක් ගියත් අදටත් ප්‍රේක්ෂකයාගේ හදවතේ ඉහළ ආදරයක් දිනාගත් චරිතයක්. ඒ වගේම වේදිකාවේ මුල්බැසගත් දක්ෂ චරිත අතර ඇයටත් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වීදි නාට්‍ය, වේදිකාව, පුංචි තිරය තුළ චරිතාංග නිළියක් ලෙස ඉහළ දායකත්වයක් ලබා දුන් ඇය පිළිබඳව අමුතුවෙන් අටුවාටීකා අවශ්‍ය වන්නේ නැත. ඇය නමින් හෂිනිකා කරලියද්දයි.
සද්ධා මංගල සූරියබණ්ඩාරගේ රචනයෙන් හා ජයප්‍රකාශ්ශි වගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල ඉහළ ප්‍රතිචාර මැද්දේ පුංචි තිරය හැඩ කරන ‘නාඩගම්කාරයෝ’ නාට්‍යයේ ඉතාමත් තාත්විත රංගනයකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය වෙනුවෙන් මෙවර කතාබහ තුළින් අපිත් ඉඩකඩක් වෙන් කළා. 

• ඉතින් කොහොමද වැඩ කටයුතු?

මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශනය වෙනවා. නාඩගම්කාරයෝ, සඳ තරුමල්, සිහින ගෙනෙන කුමාරියේ කියන ටෙලිනාට්‍යවලට අමතරව අලුත් නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ටෙලිනාට්‍යය රූගත කිරීම් එක්ක දරුවන්ගේ වැඩයි ගෙදර වැඩකටයුතුයි කොහොම හරි කරගෙන යනවා. මගේ අක්කල, දරුවෝ දෙන්නාගේ වැඩ කටයුතුවලට සහය නොදෙන්න මෙලහට මම රංගනයෙන් අයින් වෙලා. 

• අක්කා කොච්චර චරිත රඟපෑවත් ‘නාඩගම්කාරයෝ’ එක්ක අමුතුම ප්‍රේක්ෂක ආකර්ශනයක් ලැබෙනවා. මොකද හිතෙන්නේ? 

ඇත්තටම ඒ ලැබෙන ආදරය, ප්‍රතිචාර මට දරාගන්න බැරි තරම්. ඔබ කිව්වා වගේ මම කොච්චර රඟපෑවත් අම්මලාගේ චරිත සිය ගණනක් රඟපෑවත් ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ජානුගේ අම්මා නැත්නම් කුකුළා මුදලාලිගේ බිරිඳගේ චරිතයට තරම් ප්‍රතිචාර කවදාවත් ලැබිලා නැහැ. 
ටෙලිනාට්‍යය විකාශනය වෙන්න පටන් අරගෙන පළවෙනි කොටස් එක දෙක ඇතුළතම ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු නොවුණ විදිහට කතාව වැළඳ ගත්තා. 

• මේ චරිතයට අක්කාට ආරාධනා ලැබුණාම ඒ වෙනුවෙන් වෙනස් වියයුතු තැන් තිබුණාද?

ශිවා අයියලා එක්ක මම කලින් වැඩ කරලා තියෙනවා. ඒ විශ්වාසයෙන් මේ චරිතයට මට ආරාධනා කරන්න ඇති කියලා හිතනවා. පිටපත දුන්නම සාමාන්‍ය අම්මා කෙනකුගේ චරිතයක් කියලා හිතුවට ඇත්තටම ඊට වඩා සංකීර්ණ දෙයක් මට කරන්න තියෙනවා කියලා පස්සේ දැනුණා. ඇත්තටම මේ නාට්‍යයේ සියලුම චරිත හිතුවෙවත් නැති විදියට ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඇත්තටම ඒ ගැන හරිම ආඩම්බරයි. මේ හැමදේකම තියෙන්නේ අපේ නාඩගම්කාරයෝ නාට්‍ය කණ්ඩායමේ මහන්සියේ ප්‍රතිඵල. මාවත් ඒ චරිත අතරට තෝරා ගත්තට නාඩගම්කාරයෝ නාට්‍ය කණ්ඩායමට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. 

• කොහොමද ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ජානුගේ අම්මට ලැබෙන ප්‍රතිචාර?

දවසක් මම දැක්කා මුහුණුපොතේ පෝස්ට් එකක් තියෙනවා මගේ චරිතයේ ෆොටෝ එකක් දාලා ‘ඇරපු අතක් නෑ මේ ඉන්නේ අපේ අම්මම තමයි’ කියලා. ඒ වගේ පෝස්ට් ගොඩක් හදලා දාලා තියෙනවා. ඒ වගේ විවිධ විදිහට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඇත්තටම මේ චරිතය ප්‍රේක්ෂකයන් අතරට යන්න ගොඩක්ම හේතු වුණේ රංගනයේ ස්වභාවිකත්වය මත. ජානුගේ අම්මා කියන්නේ හිතේ තියාගෙන ඉන්නේ නැහැ ඕන දෙයක් මූණටම කියලා දානවා. ඒ චරිතයේ බොහෝ තැන් ඉස්මතු කරලා ගන්න අධ්‍යක්ෂවරයාගෙන් විශාල සහයෝගයක් ලැබුණා. 

• සැබෑ ජීවිතේදීත් හෂිනිකා සැර අම්මෙක් ද? 

මටත් ඉන්නේ දුවලම දෙන්නෙක්. ඒ දෙන්න නම් තාම පුංචියි. අඩු වැඩි වශයෙන් ඉතින් මම පොඩ්ඩක් සැරයි. දරුවෙක් දෙයක් කරනකොට ඒක නොගැලපෙන දෙයක් නම් ඕනම අම්මෙක් සැරවෙනවා. ඒ තරහට නෙවෙයි ආදරේටනේ. 

• හැමද‌ාම හැම නිර්මාණයකම දකින ‘අම්මාගේ’ චරිතයෙන් වෙනස් වෙන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? 

විවිධ වූ චරිත හරහා මට පුංචි තිරයේ අවස්ථාව ලැබුණත් මවුවරුන්ගේ චරිතවලට මට ලැබෙන ආරාධනා ප්‍රමාණය වැඩියි. විශේෂයෙන් සැර අම්මලාගේ චරිත තමයි මට වැඩිපුරම ලැබෙන්නේ. මගේ පෙනුමටද දන්නේ නැහැ කියලා වෙලාවකට හිතෙනවා. කොහොම වුණත් නිර්මාණයකට දායක වෙන්නේ ඒ චරිතය ගැන මට තෘප්තිමත් වෙන්න පුළුවන් සහ ඊට සාධාරණයක් කළ හැකියි කියන විශ්වාසය මත. ඒ දේ මට හරියට කරන්න බැරිනම් මම කවදාවත් ඒ වගේ නිර්මාණයක් භාරගන්නේ නැහැ. 

• අද ඔබ චරිතාංග නිළියක් ලෙස යම් තැනක් හදාගෙන ඉන්නවා. ඒ ගමන ගැන අද මොකද හිතෙන්නේ? 

පාසල් අධ්‍යාපනය හමාර කරලා ඉන්නකොට තමයි මට නාට්‍ය රඟපෑමේ ආසාව ඇතිවුණේ. මුලින්ම ගාමිණි හත්තෙට්ටුවගම සර්ගේ වීදි නාට්‍ය වැඩමුළුවලට සහභාගී වුණා. වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය වැඩමුළු පාඨමාලාවලට සහභාගි වෙවී ඉන්නකොට වේදිකා නාට්‍යයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මම රඟපානවාට ඒ කාලේ ගෙදරින් නම් ලොකු අවසරයක් ලැබුණේ නැහැ. මම ඒත් වැඩේ අතෑරියේ නැහැ. කොහොමහරි 98 රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ මම හොඳම නිළිය, ජනප්‍රියම නිළිය වගේම අවස්ථා කිහිපයකදීම සම්මාන රැසක් ලැබුණා. ඔය අතරේ තමයි නාලන් මෙන්ඩිස් මහත්මයා වේදිකා නාට්‍යයකදී මාව දැකලා එතුමාගේ ‘සත්පුරවැසියෝ’ නාට්‍යයට කතා කළේ. මට ටෙලි ප්‍රේක්ෂකාගාරයේ තිරය ඇරෙන්නේ එතැනින්. මට රංගන ජීවිතේ තැනක් හදලා දුන්නේ ‘සත්පුරවැසියෝ’ ටෙලි නාට්‍යයේ ‘පද්මිණි’ කියන චරිතය. අදටත් මිනිස්සු ඒ චරිතයට ගොඩක් ආදරේ කරනවා. 

• වැඩිපුරම ඔබව දකින්න ලැබෙන්නේ ටෙලිනාට්‍ය හරහා. සිනමාවෙන් ආරාධනා ලැබෙනවා අඩුද? 

සිනමා නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි අතලොස්සකට. ගොඩක් වෙලාවට හෂිනිකා කරලියද්ද කිව්වොත් ප්‍රේක්ෂකයන්ගේ මතකයට එන්නේ ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍යය. වේදිකා නාට්‍යය නම් තාම කොරෝනා නිසා ඇණහිටලා තියෙන්නේ. වේදිකාවේ තිරය ප්‍රේක්ෂකයන්ට විවෘත වන දිනය එනතෙක් අපිත් බලාගෙන ඉන්නවා. දෙයක් කියන්න ඕන. මම ඉපදුනේ වේදිකාවෙන්. කොයිතරම් පුංචි තිරයේ වැඩ කරත් මැරෙනකම් වේදිකාව නම් අතහරින්නේ නැහැ. 

• ආදරණීය මවක්, බිරිඳක් විදියට දරුවන් සමග ගෙවන ජීවිතේ ගැනත් කියමු? 

රංගනය පැත්තෙන් මොන තරම් කාර්යබහුල වුණත් දරුවන්ගේ වැඩ නම් අතපසු වෙන්න දෙන්නේ නැහැ. මවක්, බිරිඳක් විදිහට මම හරිම වාසනාවන්තයි. මගේ සැමියා යුද හමුදා නිලධාරියෙක්. මම කාර්යබහුල වෙන වෙලාවට ඔහුගෙන් ගෙදර වැඩවලට විශාල සහයක් ලැබෙනවා. මගේ අක්කා මගේ ළඟින් ඉඳිමින් දරුවන්ගේ, ගෙදර වැඩවලට විශාල සහයක් දෙනවා. සමබරව සැමදේම කරගෙන යනවා. 

 

නදීශා අතුකෝරළ

 

20210416Shashinika-3 20210416Shashinika-2 20210416Shashinika-1