විශාරද නිපුනි නයනතාරාගේ හඬින් අකිල සුබසිංහගේ ගී පද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සරා සඳ ගුවන් ගැබ කරා ඇවිදින්
නුරා ගිනි ගෙට එබෙන
සරා ගී සිතුම් ගෙන
සරා සඳ ගුවන් ගැබ 
කරා ඇවිදින් 

නද සියොත් රාව නැති 
නෙක කුසුම් සුවඳ නැති 
අඳුරු නිසසල රැයක
සරා සඳ ගුවන් ගැබ කරා ඇවිදින්

කිසිවෙකුත් නෙත නොරැඳි
ඔබ සුසුම් සුවඳ රැඳි
සොඳුරු නිසසල රැයක
සරා සඳ ගුවන් ගැබ කරා ඇවිදින්

අන්ධකාරය පැතිරෙමින් තිබිණි. එහෙත් සරසවි බිම පුරා තැන තැන වූ විදුලි පහන් එකින් එක දැල්වෙන්නට විය. බිහිදොර අබියස කලා උළෙල පැවැත්වුණු බැවින් සරසවි බිම පුරා වූයේ කල එළියකි. සරසවි සිසුහුද සිසුවියෝද කඩිසර ලෙස ඔබ මොබ යන හැටි අකිල බලා සිටියේය. 
ප්‍රවීණ සිනමා මාධ්‍යවේදියකුවන ගුණසිරි සිල්වා සංවිධානය කළ පොත් ප්‍රදර්ශනයකට අත් උදව් දෙන්නට එදා අකිල සුබසිංහද කැලණි සරසවියට ගොස් සිටියේය. 
මද ඉසිඹුවක් ලැබ, ඔහු කැන්ටිමට ගියේ තේ කෝප්පයක් බොන්නටය.
බනිස් ගෙඩියක් කා තේ කෝප්පයක් තොල ගෑ ඔහු කැන්ටිමේ පඩිපෙළ නැග සරසවි පාරට ගොඩවිය. ඉන් ඔබ්බෙන් වූයේ තෙල් බැම්මය. එය බොහෝ සිසුන්ද සිසුවියන්ද වාඩිවූ කුඩා බැම්මකි. සරසවි භාෂාවට අනුව, සිසු සිසුවියන් කරන කතා තෙල බෙදීමය. බොහෝ විට ජ්‍යෙෂ්ඨ සිසුන් නවක සිසුනට දේශපාලන පාඩම් කියා දී තම තමන්ගේ ශිෂ්‍ය සංගම්වලට බඳවා ගන්නේද මේ තෙල් බැම්මේ සිට තෙල බෙදීමෙනි.
උසස් පෙළ විභාගය අවසන් වූවා පමණක් බැවින් මේ සරසවි ජීවිතය ගැන අකිලගේ හිතේ උපන්නේ කුහුලකි. ඔහු විමසිල්ලෙන් බලන්නේ ඒ කුහුල නිසාමය.
ඉතින් ඒ සන්ධහනේදීත් ඔහු තෙල් බැම්ම කරා ගියේය. දවල් දවසේ තෙල බෙදුවන් කිසිවෙක් එහි නොවූහ. සිටියේ එකම එක යුවතියක පමණි. ඇගේ දෑස යොමුව තිබුණේ අහස වෙතය.
අකිලට අහස බැලුණේ ඉබේටමය.
ඒ මොහොතේ අහසෙහි අඳුර බිඳිමින් සඳ නැගෙමින් තිබිණි. පසළොස්වක පොහොයට ළංවෙමින් තිබූ බැවින් සඳ බොහෝ දුරට වටකුරුව තිබිණි. අර යුවතිය බොහෝ කැමැත්තෙන් සඳ දෙස බලා සිටියාය.
අහසේ වූයේ අපූරු නිල් පැහැයකි. අඳුර නිසා නිල් පැහැය හරිහැටි නොපෙනුණත් අකිලට ඒ සුනිල අහස හිතින් මවාගත හැකි විය.
සඳ කෙමෙන් අහසට නැගුණි. සුන්දර පාසල් විය හමාර කර තිබූ බැවින් ප්‍රේමයේ සුන්දරත්වය අකිල දැන සිටියේය. ඔහුටම කියා පෙම්වතියක් නොසිටියද යුවතියන් ගැන ප්‍රේමණීය හැඟීම් ඔහුගේ සිට ආගන්තුක නොවීය. කටක් ඇර ආදරය නොකීවත්, ආදරය නොලැබුණත් හිතින් පෙම් සුව විඳින්නට බැරිකමක්ද නොවීය.
සරසවි ප්‍රේමය පාසල් ප්‍රේමයට වඩා නිදහස්ය. 
මේ යුවතියද සඳට කියන්නේ තමන් හැරගිය ප්‍රේමවන්තයා, ගැන විය යුතු යැයි අකිලට නිකමට සිතිණි.
කාලය ටිකින් ටික ගෙවී ගියේය. සඳ දෙස බලාගෙන සඳට පෙම් රහස් කොඳුරා කී යුවතියද තෙල් බැම්මෙන් නැගිට ගවුම හදාගෙන යන්නට පිටත් වූවාය. 
ඇය ගිය පසු අකිල, පොත් ප්‍රදර්ශනය පැවැති ස්ථානයට ගියේය.
මොකද බං මෙච්චර වෙලා කළේ?
ගුණසිරි ඇසුවේ ලෙංගතුවය.
‘‘මං තෙල් බැම්ම ළඟට ගියා. එතන ලස්සන කෙල්ලක් හඳ දිහා බලාගෙන හිටියා.’’
ඉතිං උඹ ඒ කෙල්ල දිහා බලාගෙන හිටියද? 
ගුණසිරි ඇසුවේ සිනාසෙමිනි.
ඔව්. 
ඔය ෂුවර් එකටම බූට් එක වැදුණු කෙල්ලක්. සාමාන්‍ය කැම්පස් ලව් එකේ හැටි එහෙමයි. අලුත් නැවෙන් ලස්සන කෙල්ලක් දාගත්තාම පරණ කෙල්ලට බූට් එක දෙන එක කැම්පස් කොල්ලන්ගෙ හැටි. 
ගුණසිරි කීවේය. 
එදා රෑ අකිල නිසඳැසක් ලිව්වේ ගුණසිරි කී කතාවත් අර යුවතියත් ඔහුගේ සිත රිදවූ බැවිනි.
මේ 1992 තරම් ඈත කාලයකදී සිදුවූවකි. අද අකිල කොළඹ සරසවියෙන් උපාධියද ලබා රජයේ ආයතනයක රැකියාවක් කරන්නෙකි. තබ්ලා වාදනය, සංගීතය මෙන්ම ගායනයද ප්‍රගුණ කළ කෙනෙකි. එමතු නොව ගීත රචකයෙක් ද වේ. මේ වනවිට අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස ද අකිල ලියූ ගී ගයා තිබේ. 
දිනක පරණ ෆයිල් කවරයක තිබී අර කී නිසඳැස ඔහුට හමුවිය. ඔහු එය යළි කියවූ විට එය වඩා සුදුසු කවියකට නොව ගීයකට යැයි ඔහුට සිතිණි. ඉනික්බිති නිසඳැස ගීපද මාලාවක් බවට පරිවර්තනය කළ අකිල එය යොමු කළේ අනුරාධ අබේසිංහ තරුණ සංගීතවේදියාටය.
අපි මේක කාටද ගයන්න දෙන්නෙ?
පද වැල කියැවූ අනුරාධ ඇසුවේය.
අනේ මන්දා මට එහෙම අදහසක් නැහැ.
අකිල කීවේය. 
‘‘මේ පද වැලේ හැටියට මේක ගායනා කරන්න ඕනෑ තරුණ ළමයෙක්. ඒවගේම හඬ බර කරලා ලයාන්විතව ගයන්න පුළුවන් කෙනෙක්.’’ 
අනුරාධ විස්තර කළේය. 
‘‘එහෙම කෙනෙකුට මම දන්නෙ නිපුනි නයනතාරා. කෙල්ල විශාරද කෙනෙක්. මේ වෙද්දී ගීත හතළිහකට කිට්ටු ගණනක් කියලත් තියෙනවා.’’ 
එහෙම නම් එයා ලව්වා කියවන්න 
අකිල කීවේය. 
අන්තිමේදී නිපුනිගේ හඬින් ගීතය ගැයිණි. ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්ද වේ. තෙල් බැම්මක් නැතත්, සෞන්දර්ය සරසවියටද සරාසඳ පායන බැවින් ගීතයේ අප්‍රාණික වචනවලට ප්‍රාණයක් එක්කරන්නට නිපුනි නයනතාරාට බැරිකමක් නැත. 
ගීතයට සවන් දුන් පසු ඔබද මා සමග එකඟ වෙනු ඇත.

ශාන්ත කුමාර විතාන

20210416Song-1