නිළිය ඉන්නෙ කැමරාව ඉදිරියෙදි විතරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජයකොඩි ආරච්චිලාගේ ඈන් රෝමා රෝෂි ජයකොඩි,  නමැති මේ රංගන ශිල්පිනිය රංගන ක්ෂේත්‍රයට පැමිණියේ මීට වසර ගණනාවකට පෙරදීය. එද‌ා මුලින්ම මට රංගනයට එන්න පුලුවන් වුණේ ප්‍රවීණ රංග ශිල්පිනියකව සිටි සුසිලා කෑරගම (එන්සිනා) නිසයි.  වේදිකා නාට්‍යවල රඟපාලා මම එතුමිය හඳුනාගෙන සිටියේ. ඒ දැන හැඳුනුම්කම නිසා එතුමිය මාව ‘රෝයි - සුමනා’ ප්‍රවීණ කලාකරුවන් යුවළට හඳුන්වලා දුන්නා. ‘හොටෙල් ඩි කලබල’ ටෙලි මාලාවේ මුලින්ම රඟපෑමට ලැබුණේ ඒ විදියටයි. ඉන්පස්සේ නත්තල් ගීතය, ලියතඹරා, සත්සර රංගන, කෝපිකඩේ, තොටුපළ, බට්ටි, ද‌ාමිණි, වසුදා, ගෞතමි, සිට රන්තාලිය වලව්ව, පෝය නාට්‍ය ආදී රැසකට ද‌ායකත්වය ලබා දුන්නා.
 මේ විදියට කියන රංගනයට අලුත් රුවක් නොවූ මේ දක්ෂ ශිල්පිනිය මේ දිනවල අපට හමුවන්නේ ‘ඉස්කෝලේ’ ටෙලි මාලාව සමගයි. කාලයක් රංගනයෙන් ඈත්ව සිටි ‘රෝමා රෝෂි’ නැවතත් ඉස්කෝලේ ටෙලිමාලාව සමග ආලින්දයට පැමිණි මොහොතක අපි ඇය සමග පිළිසඳරකට එක්වෙමු.

• ‘රෝමා’ කාලයකට පස්සේ, කියමුකො බලන්න ජීවිතේ විස්තර?

මම විවාහකයි. මගේ සැමියාගෙ නම හරීන් පුෂ්පකුමාර. එයා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු වගේම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනවා. මට ඉන්න හොඳම යාළුවා එයා. විටෙක එයා මට සැමියකුට එහා ගිය පියෙක් වගෙයි. තවත් වෙලාවකට සහෝදරයෙක් වගෙයි. අපි දෙන්නට දරුවෝ දෙන්නයි. පුතා ලුවීන් දාසස් ආරධ්‍ය. දියණියගෙ නම ඉතාරා බෝමන්දි. කලා ක්ෂේත්‍රයේ ගමනක් ඒමට මට පුළුවන් වුණේ මගේ මව්පියන් මෙන්ම සැමියා ලබාදුන් සහයෝගය නිසයි. රංගනයට අමතරව මේ දිනවල නාට්‍ය කලාව ගැන වැඩිදුර අධ්‍යාපනයක යෙදී සිටිනවා. ඉදිරියේදී මගේ අරමුණ වන්නෙ සැමියා සමග එක්වී වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමයි. අද දවසේ අපේ ජීවිත ගෙවී යන්නේ ඔන්න ඔය විදියටයි. මේ මොහොතේ ඉස්කෝලේ නාට්‍යයේ චරිතයක් ලබා දුන් යුකී ෆිල්ම්ස් ඇතුළු නාට්‍ය කණ්ඩායමට සහ දෙරණටත් මගේ ස්තූතිය පුදන්නට ඕනෑ.

• පසුගිය කාලයේදී ඔබ පෙනෙන්නට හිටියේ නැහැ. මොනවද කළේ?

ඒකට විශේෂම හේතුව වුණේ විවාහයෙන් පස්සේ මවක් විදියට බබාලා ලොකු වෙනකල් මගේ වගකීම් හරියට කරන්න කැපවූ නිසයි. එය ඇත්තටම මවකගෙ වගකීමක්. ඒ අතර වාරයේදී වරින්වර රංගන කටයුතුවලට ද‌ායක වුණා. බබාලා ලොකු වෙනකල් රඟපෑමට වරින්වර ද‌ායක වෙද්දී, හඬ කැවීම් ශිල්පිනියක ලෙස නම් දිගටම වගේ ද‌ායක වුණා. රාමා සීතා රාවණා සහ කාටුන් වැඩසටහන් වල හඬකැවීම් වලට ද‌ායක වුණා. මේ විදියට ඉන්න අතරේ චරිත කොතලාවල අයියා මාව මේ නාට්‍යයට සම්බන්ධ කළා. ඉස්කෝලෙට එන්නට පෙරත් සැරින් සැරේ ටෙලිෆිල්ම්ස් වලට එහෙම දිගටම ද‌ායක වුණා. අන්තිමට දීර්ඝ නාට්‍යයකට සම්බන්ධ වුණේ මට මතක විදිහට ‘බට්ටි’ නාට්‍යයේ වෙන්න ඕනෑ.
 
• ඉස්කෝලෙ චරිතය කියමු?

එහි මම රඟපාන්නේ ‘නන්දනී’ නමැති චරිතයක්. එයා ටිකක් සැර නැන්ද‌ා කෙනෙක්. ඥ‌ාති පුතාලා දෙන්නෙක් එයාට ඉන්නවා. ඒ පුතාලා දෙන්නගෙ අම්මා ඉන්නෙ පිටරටක. මේ නපුරු නැන්ද‌ා ඒ පුතාලා දෙන්නගෙන් වැඩ ගන්නවා. එයාලට හරියට සළකන්නෙ නැහැ. නපුරුම නපුරු නැන්ද‌ා කෙනෙක්. මේ චරිතය තෝරා ගත්තාම සමහරු මගෙන් ඇහුවෙ ඇයි අනේ ඔයා නන්දනී වගේ චරිතයක් තෝරා ගත්තෙ කියලයි. ඒත් සමාජයේදී අපි මේ විදිහෙ චරිත දකිනවා. ඒ නිසා හොඳම ස්වරූපයේ චරිත කරනවාට වඩා වෙනස් විදියෙ චරිතයක් රඟපාන එක මම නම් දකින්නෙ හොඳ දෙයක් විදියටයි. මේ චරිතයට මම ඇත්තටම කැමැතියි.

• ‘නන්දනීට’ ලැබෙන ප්‍රතිචාර?

මගේ අම්මෝ, දකින දකින කෙනා මට බනින එක තමයි කරන්නේ. ‘ඇයි මෙච්චර දරුවන්ගෙන් වැඩව ගන්නෙ? ඇයි දරුවන්ට බනින්නෙ? කියලා.’ මගේ මූණ දිහා තරහින් බලාගෙන අහනවා. ප්‍රතිචාර ඒ විදියට වීම ගැන මට පුද්ගලිකව සතුටුයි. මොකද මම ඒ චරිතයට සාධාරණයක් කර ඇති වග පෙනෙනවා.

• ගෙදර දරුවෝ දෙන්නටත් ඔය විදියටම සැරයිද?

සැර වෙන්න ඕනෑ වෙලාවට සැර වෙනවා. හොද්ද රස ගන්න නම් හැඳිගාන්න එපායැ. හැබැයි ඉතින් මම සැබෑ ජීවිතයේදී නන්දනී වගේ නම් නෙවෙයි.

• එහෙම නම් සැබෑ ජීවිතයේදී ‘රෝමා’ මොන වගේද?

අනේ මම බොහොම සාමාන්‍ය කෙනෙක් පොළවෙ පයගහලා ඉන්න. මහත්තයා සහ බබාලා දෙන්නා තමයි මගේ ලෝකය. ලැබෙන දෙයින් සතුටු වෙලා, බාහිර කරදර ද‌ාගන්නෙ නැතුව ජීවත්වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. කාටත් කරදරයක් නැතුව, හැකිවුණොත් කාට හරි උදව්වකුත් කරගෙන ඉන්න බලන සාමාන්‍ය කාන්තාවක්. ‘නිළිය’ කියන චරිතය කැමරාව ඉදිරියේදී විතරයි. 

• විවාහ දිවිය සතුටින් ගතකරන්න නම් ඔබ දෙදෙනා ගෙන් සමාජයට ගත හැකි ආදර්ශය මොකක්ද?

අපි දෙන්නගෙ ජීවිතවලින් ගත හැකි හොඳම දේ වෙන්නෙ විශ්වාසයයි. දෙදෙනෙක් අතර විශ්වාසය නැතුව ගමනක් යන්න බැහැ. තමාට තමා විශ්වාස විය යුතු වගේම අනෙක් කෙනාත් විශ්වාස වෙන්නම ඕනෑ. එවිට අනික් බාහිර සමාජය කියන දේ වැදගත් වෙන්නෙ නැහැ. සමහර වෙලාවට දෙන්නෙක් සමගියෙන් සතුටින් ඉන්නවට අකමැති අයත් ඉන්නවා. ඒ ගැනත් පරිස්සම් වෙන්න ඕනෑ. දෙදෙනා අතර අදහස් මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි විශ්වාසය වෙනස් විය යුතු නැහැ. විශ්වාසය සහ ආදරය තියාගන්න පුළුවන් නම් එය රුපියල් කෝටි ගණනකට වඩා වටිනව. වාසනාවකට මට ලැබිලා තියෙන්නෙ මිල කළ නොහැකි ආදරණීය විවාහ ජීවිතයක්.

• ‘ඉස්කෝලේ’ හැර වෙන චරිත මොනවද?

දැනට ඉස්කෝලෙට විතරයි පූර්ණ කාලීනව ද‌ායක වෙන්නෙ.

• ‘රෝමා’ කියන්නද? ‘රෝෂි’ කියන්නද?

‘රෝමා’ ටත් කැමැතියි. ‘රෝෂි’ටත් කැමැතියි. බොහෝ දෙනෙක් ‘රෝමා’ කියලා තමයි කියන්නෙ.

• ‘රෝමා’ රෝමයට ගිහින් තියෙනවද?

අනේ තවම නැහැ.

• සැමියා කොහොමද කතා කරන්නේ?

ආදරේ වැඩිකමට ගොඩාක් නම් වලින් කතා කරනවා. මම නම් එයාට කතා කරන්නේ ‘අප්පච්චියෝ’ කියලයි.

• ‘රෝමා’ කලාවට ආවෙ නැත්නම්?

මම සාමාන්‍ය පවුලක කෙනෙක්. මගේ අරමුණේ වුණේ තව කාට හරි උදවුවක් කළ හැකි දෙයක් කිරීමටයි. රඟපෑම සහ කලාව තෝරා ගත්තෙ නැත්නම්, සමහර වෙලාවට සමාජ සේවා අංශයට ලැදිව කටයුතු කරන්න තිබුණා.

• ‘ජීවිතය’ කියන දේ රෝමා විග්‍රහ කරන්නේ කොහොමද? දකින්නෙ කොහොමද?

දුක සතුට සියල්ල සපිරි, ඊට සම සිතින් මුහුණ දිය යුතු දෙයක්. ජීවිතේට මටත් ප්‍රශ්න ආවා. ඒවා මගේ ප්‍රශ්න නෙවෙයි. අනුන්ගෙ ප්‍රශ්න. ඒත් අපි හරියට ‘ජීවිතය’ ගෙන යනවා නම් වරදින්නෙ නැහැ. සමහර වෙලාවට සමහර අය අපිව තේරුම් ගත්තෙ වැරිදි විදියටයි. ඒත් අපි හරි නම් අපට ජීවිතය හරි පහසුයි. ඒ වගේම ජීවිතය ලස්සනයි. වෙන අය කියන දේ පිළිගන්නෙ නැතුව, නමුත් දකින සත්‍ය විතරක් විශ්වාස කරන්න. ජීවිතය එතකොට හරි පහසුයි.

සඳුන් ගමගේ

20210416Roma (4) 20210416Roma (2) 20210416Roma (3) 20210416Roma (1)