ලෙජන්ඩ්ස් තරඟාවලියේ රස මතක - වයස වුණාට ක්‍රිකට් ගහන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ක්‍රිකට් ලොව සොඳුරු මතක යළි විවර කර වූ තරගාවලියක් ලෙස පසුගිය දා නිමාවට පත් වූ ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය නම් කරන්න පුළුවනි. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබුවේ අනු ශූරතාවය වුව ද, ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ප්‍රවීන ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ප්‍රශංසනීය රිද්මය යළිත් අප රස මතක අතරට ගෙන ගිය බව කියන්න පුළුවනි. ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ මෙම තරගාවලිය වෙනුවෙන් ලෝක පූජිත සනත් ජයසූරිය පවා තරග කිරීම විශේෂත්වයක් වුණා. මේ විදියට ලෙජන්ඩ්ස්ලා හෙවත් හිටපු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් අතර සිටි කෞෂල්‍ය විරරත්න මෙන්ම චින්තක ජයසිංහ වැනි ක්‍රීඩකයන් පැමිණ සිටියේ ඕස්ට්‍රේලියාවේ සිටයි. ඔවුන් එහි පදිංචිව සිටීම ඊට හේතුවයි. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ප්‍රවීනයන් දිනා ගනු ලැබුවේ අනුශූරතාවය වුව ද ඔවුන් ආදරණීය ක්‍රිකට් ලෝලීන්ගේ ආදරයට - ගෞරවයට නැවතත් යොමු වූයේ දැක් වූ දක්ෂතා නිසාමයි. අපේ ලෙජන්ඩ්ස්ලා මෙම තරගාවලියට සහභාගි වුණේ කොහොම ද? තරගාවලියේ දී දක්ෂතා අතර සිටි කෞෂල්‍ය වීරරත්න හෙවත් කව්වා නොහොත් ‘වීරා’ ඕස්ට්‍රේලියාවේ සිට අපට ඒ ගැන කිව්වේ මෙන්න මේ විදියටයි.

• කෞෂල්‍ය විරරත්න අපි කොහොම ද ඔබට කතා කරන්න ඕනෑ. කව්වා කියන්න ද? ‘වීරා’ කියන්නද?

යාළුවෝ වැඩි දෙනෙක් මට කතා කරන්නෙ නම් ‘වීරා’ කියලයි. 

• ‘වීරා’ කොහොමද ජීවිතේ?

හොඳයි, සුවෙන්-සැපෙන් ඉන්නවා.

• තවමත් ක්‍රිකට් ඇඟේ තියෙනවා වගේ? මොකක්ද මෙච්චර හොඳට ක්‍රීඩා කිරීමේ රහස? 

ලංකාවෙන් අන්තිමට මම මෙහේ ආවේ 2012දී. ඒ ආ පසු දිගටම ප්‍රාන්ත තරගාවලියකට ක්‍රීඩා කරනවා. ඒ නිසා ක්‍රිකට් එක්කම දිගට ඉන්න පුළුවන් වුණා. පොඩ්ඩක් වයසයි නම් තමයි, ඒත් දෙයියන්ගෙ පිහිටෙන් තවම ටිකක් හොඳට ක්‍රීඩා කරන්න පුළුවනි.

• ඕස්ට්‍රේලියාවේ සිට කරන්නෙ වෘත්තිය විදියට ක්‍රිකට් ගහන එක විතර ද?

වෘත්තියෙන් මම පුද්ගලික සමාගමක සේවය කරනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා කරන අතරේ පුහුණුකරුවකු ලෙසත් කටයුතු කරනවා.

• කොහොමද ලෙජන්ඩ්ස්ලාට එකතු වුණේ?

එක්තරා විදියකට මගේ එක්වීම අහම්බයක්. ඩිල්ෂාන් තමයි අන්තිම මොහොතේ මට කතා කළේ. ක්‍රීඩකයන් කීප දෙනෙක් ආබාධයට ලක්වෙලා හිටපු මොහොතක, තරගාවලියට යෑමට දින තුනකට විතර පෙරදී මට කතා කළේ. එතකොට මම නිවාඩුවක් අරගෙන නෙවෙයි හිටියේ. හැබැයි ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ ශ්‍රී ලාංකිය හිතවතුන් ඒ මොහොතේ, ඉක්මනට මේ සංචාරයට යන්න මට සෑහෙන උදව් කළා. ඒ උදව් නොවෙන්නට සමහර විට මට මේ තරගාවලියට යන්න ලැබෙන්නෙ නැහැ. ඒ වෙලාවෙ ලිය කියවිලි හදාගත්ත වගේම සංවිධාන කටයුතුවලට එයාලා මට බොහෝම උදව් කළා. ඒ ගැන කියන්නම ඕනෑ. 

• ලෙජන්ඩ්ස්ලා ටික ඉන්දියාවට ආවාම මුලින්ම මොනව ද කළේ ?

අපි ඔක්කෝටම දින දෙකක් විතර නිරෝධායනය වෙන්න තිබුණා. කොරොන්ටයින් ඉවරවෙලා ඉස්සෙල්ලාම එළියට ආවාම මට හම්බවුණේ ඩිල්ෂානුයි, සනත් අයියායි.
‘මාව දැක්ක ගමන් සනත් අයියා ආ උඹ ආවා ද?” කියලා ඇහුවා. ඩිල්ෂාන්, මගෙන් ඇහුවෙ, මොකද ෆිට් ද? මැච් එකට ලෑස්ති ද කියලයි.”
මම කිව්වා ඔව්. ඔව් කියලා. ඇත්තටම මේ කණ්ඩායමේ ඔක්කෝමලා ළඟ තිබුණු එකමුතුකම ගැන කියන්නම ඕනෑ. කාලයකට පසුව ක්‍රීඩා කළත් සුපුරුදු සුහදත්වය දිගටම පැවැති දෙයක්. අපි නිතරම කතා කරද් දී කොහොම හරි මේ ‘කප්’ එක දිනා ගමු කියලා හැමෝම කතා වුණා. ඒ අතරේ හරිම සුහදව බොහෝම විනෝදයෙන් විහිළු තහළු කර ගනිමින් අපි හිටියේ.

• වැඩිපුර විහිළු සපයන්නත් වුණේ ?

තිළිණ තුෂාර, ධම්මික ප්‍රසාද්, රසල් ආනල්ඩ් එහෙම තමයි. ඇත්තම කිව්වොත් ඒ මුළු කණ්ඩායමේම අය එක්ක ඉඳිද්දි කාලය ගත වෙනවාවත් දැනුණෙ නැහැ. එච්චරටම එයාලා හොඳයි. ඒ කාලයේ රස කතා එහෙම හැමෝම මතක් කළා. ඒ දිනවල සනත් අයියා කැප්ටන් කරද්දි බැනපු විදිහ ගැන අපි කතා වුණාම සනත් අයියට හිනාව නවත්ත ගන්න බැරි වුණා. එදා එහෙම එයා බැන්නෙ තරහකට නෙවෙයි. මැච් එකට බැස්සාම තනිකරම මැච් එකේ හිටපු නිසයි.

• කණ්ඩායමේ තිබුණු බැඳීම මොන වගේ ද?

ඒක එක අතකට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් දෙයක්. අපි කෑමට ගියත්, ජිම් එකට ගියත්, ඔක්කෝමලා එකටමයි හිටියේ. කවුරුවත් වෙන් කරලා තනි කරලා කෑමකටවත් ගියේ නැහැ. අපි හිටපු හෝටලයේ දී  ඔක්කෝමලා එකට එකතු වුණේ අජන්ත මෙන්ඩිස්ගෙ කාමරයේදියි. එයා හිටියේ මැද කාමරයක. ඉතින් අපි හැමෝටම එකතු වෙන්න එතැන ලේසි වුණා. 

• එක් තරගයක දී සනත් ඔබගේ ළඟට ඇවිල්ලා මොකක්ද කිව්වා නේද?

මම කිව්වෙ එයා ක්‍රීඩා කරද්දි එදා වගේමයි කියලා. ඔන්න පන්දු රකිමින් සිටිය දී මට පන්දුව එක්වර අල්ලා ගන්න බැරි වුණා.
‘උඹට උඹ යවන බෝලේවත් ලකුණක් නොදී නවත්ත ගන්න බැරි ද ? කියලා සනා අයියා මගේ ළඟට ඇවිත් කිව්වා. ඇත්තෙන්ම එයාලා එක්ක නැවතත් මේ විදියට සෙල්ලං කරන්න ලැබීම මම ලැබුව ලොකු භාග්‍යයක්.

• කට්ටිය එකතුවෙලා ගොල්ෆ් ක්‍රීඩා කරන ඡායාරූප එහෙමත් දැක ගන්න ලැබුණා. කවුද ගොල්ෆ් ගහන්න දක්ෂයා ?

කොවිඩ් නිසා අපි හිටපු හෝටලයෙන් පිටට යන්න බැරි වුණත් හෝටලය තිබුණු පරිශ්‍රයේ ගොල්ෆ් පිටියක් තිබෙනවා. අපිට හරියට ගොල්ෆ් ගහන්න බැරි වුණත් අපි විවේකය දී ගිහින් සෙල්ලම් කළා. ‘ඩිල්ෂාන්’ ගොල්ෆ් ගහන්නත් දක්ෂයි.

• ක්‍රීඩා කරද්දී මේ ක්‍රීඩකයන් වෙතින් කිසිම අපහසුතාවයක් අපි දැක්කෙ නැහැ. ඒත් කීප දෙනෙක්ම ආබාධවලට මුහුණ දීලා නේද හිටියේ ?

මේ අය කොච්චර නම් කැපවීම තියෙන අයද කිව්වොත්, ඩිල්ෂාන්, මහරූෆ්, සනත් අයියා, කුලසේකර ආබාධවලට ප්‍රතිකාර ගනිමින් සිටිය දී තමයි මෙම තරගාවලිය නියෝජනය කළේ. හැබැයි කාටවත් ඒ ආබාධ තත්ත්වය පෙන්නුවේ නැහැ. ඩිල්ෂාන්ගේ එක් පාදයක මිලි මීටර් අටක් විතර ප්‍රමාණයක් පේශීන් ඉරිලා තිබුණේ, ඒ වෙනුවෙන් එයා වේදනා නාශක එන්නත් ලබාගෙන ඇවිත් ක්‍රීඩා කළේ. රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී එයාලට කකුල නෙවෙයි වෙන ආබාධයක් තිබුණත් වැඩක් නැහැ. එයාලා තනිකරම හිටියේ තරගයේ සනත් අයියා පාදයේ ආබාධය නිසා ඒ වෙනුවෙන් නිතරම ප්‍රතිකාර ලබා ගත්තා. ඒ කැපවීම නම් ඇත්තටම හරි පුදුමයි.

• ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහිල්ලා ඉන්න ක්‍රීඩකයන් අතරින් ‘වීරා’ ගේ සමීපතම යාළුවෝ කවුද?

ප්‍රභාත් නිස්සංක, තරංග ලක්ෂිත, කෞෂල්‍ය ලොකු ආරච්චි වගේ අය නිතර හමුවෙනවා.

• ලෙජන්ඩ්ස්ලාගෙ තරගාවලියේ දී ශ්‍රී ලංකා ටීම් එක්ක වැඩියෙන්ම මිත්‍රශීලී වුණේ මොන කණ්ඩායම ද?

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයන් අපි එක්ක බොහොම මිත්‍රශීලී වුණා. මකායා නිට්නි, ජොන්ටි රෝඩ්ස් ඇතුළු ඔක්කෝමලා හරි හොඳයි. ජොන්ටි රෝඩ්ස් අපි එක්ක රාත්‍රි භෝජනයකට පවා එක්වුණා.

• ‘ලාරා’ කොහොමද?

‘ලාරා’ සනත් අයියා එක්ක තමයි ගොඩාක් කතා කළේ. ඒ කතා කරන අතරේ මට අත වනලා ‘හලෝ’ කිව්වා.

• මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හැර ඔබගේ හොඳම යාළුවා වුණේ?

ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් කයිෆ් සහ මම 2000දී 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කර තිබුණා. යුවරාජ් පවා එදා අපි එක්ක ඒ විදිහට ක්‍රීඩා කරලා තිබුණත් ‘මොහොමඩ් කයිෆ්’ මා එක්ක බොහෝ දේ කතා කළා. අපි ඒ දවස්වල මතකයන් අවදි කරමින් පැයක් විතර කතා කර කර හිටියා. යුවරාජ් එක්ක වැඩිපුර කතා කරන්න ලැබුණෙ නැහැ. එයා මට ‘හලෝ’ කිව්වා.

• බොහෝ ප්‍රේක්ෂකයන් කියන්නෙ අවසන් තරගයේ දී ‘ගෝනි’ හිතා මතාම චින්තක ජයසිංහගෙ ඇඟට බෝලය දමා ගැසුවා කියලයි? ඔබ මොකද හිතන්නෙ?

ඇත්තම කිව්වොත් එයාට බෝලය විකට්ටුව දෙසට එල්ල කරන්න ඕනෑ තරම් ඉඩ තිබුණා. ඒත් චින්තක දෙසට හිතාමතාම එය එල්ල කළා වගේ කියලයි මටත් හිතුණෙ. කොහොම වුණත් තරගවල දී ඒ වගේ දේ සිද්ධ වෙනවා. මටත් මුනාෆ් පටෙල් පන්දුව දමා ගැසුවා. මම යාන්තමට බේරුණා. ඒවා ඉතිං තරගයේ ස්වභාවය එක්ක වෙන දේවල්. 

• ‘වීරා’ ගේ ගෙදර විස්තර කිව්වොත්?

අපට ඉන්නෙ පුතාලාම දෙන්නෙක්. ලොක්කාට අවුරුදු 15යි. දෙවැනියට අවුරුදු 11යි. ඒ දෙන්නත් ආසාවෙන් ක්‍රිකට් ගහනවා.

• වීරාට ජීවිතය දැනෙන්නෙ කොහොම ද?

පොඩි කාලයේ ඉඳලා අම්මා අපිව හොඳට බලාගත්තා බාප්පලා අපිට සැළකුවා. මම ගියේ ‘ට්‍රිනිටි’ එකට. අපේ පාසලෙන් පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනාගෙන් ලැබුණෙ ලොකු සහයෝගයක්. අන්තිමට රට නියෝජනය කිරීම නිසාම ඕස්ට්‍රේලියාවට එන්නත් පුළුවන් වුණා. ඉතින් ජීවිතය සාමාන්‍ය විදියට ගත කරමින් ඉන්නවා. පුළුවන් විදියට අනික් අයටත් උදවු කරන්න උත්සාහ ගන්නවා.

සඳුන් ගමගේ

20210416Kaushalya (1)

20210416Kaushalya (2) 20210416Kaushalya (3) 20210416Kaushalya (4) 20210416Kaushalya (5) 20210416Kaushalya (6) 20210416Kaushalya (7) 20210416Kaushalya (8)