මම අවුරුදු කුමාරයෙක් - තරුණකම තියෙන්නෙ හිතේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ‘සුබ උපන් දිනක්’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතු වෙන්නේ චරිතාංග නළුවෙක් ලෙස ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම්ගත් සුවිශේෂ චරිතයක්. ඔහු නමින් ජනක කුඹුකගේ.

• අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා උපන් දිනයක් එද්දි දැනෙන්නෙ මොනවගේ හැඟීමක්ද?

දවසින් දවස අපි වයසට යනවා. ඒක ජීවිතේ ස්වභාවය. ලෝක ධර්මතාවය. ඉතින් අපි ඒ දේට මුහුණ දෙන්න ඕනැනෙ. ඒක වෙනස් කරන්න අපි කාටවත් බැහැ. ඒ හැඟීම තමයි තියෙන්නෙ.

• තරුණ කාලෙ ගෙවිලා යද්දි ජීවිතේ දුකක් දැනෙන්නෙ නැද්ද?

තරුණ කාලෙ කියන්නෙ වයස නෙමෙයි. අදහස්වලින් තරුණයි නම් හැමදාම තරුණයි. මම දැකලා තියෙනවා අවුරුදු 19, 20 මහළු අයත් වගේම අවුරුදු 80, 90 අතිශය තරුණයො. ඒ තරුණකම තියෙන්නෙ තමන්ගෙ අදහස්වල. තමන් හිතන පතන විදිය, තමන්ගෙ ජීවිතේ ගොඩනගාගන්න විදිය, ලෝකය දකින විදිය, තමන් ලෝකයත් එක්ක අප්ඩේට් වෙන විදිය. ඒ තුළ තමයි තරුණකම තියෙන්නෙ. ශාරීරිකව කිසි කෙනෙකුට සදාකාලිකව තරුණයො වගේ ජීවත් වෙන්න බැහැ. මනසින්, තමන්ගෙ අදහස්වලින් තරුණයි නම් එතැනින් එහාට කිසි කෙනෙකුට ඒදේට අත තියන්න බැහැ. 

• ඔබේ උපත ගැන දන්න විස්තර මොනවද?

මගේ උපත සිදුවෙන්නෙ අප්‍රේල් 13 පවුලෙ වැඩිමලා විදියට උපත ලබන්නෙ. මට පස්සෙ තවත් පිරිමි දරුවෙක් ඉන්නෙ. ඉතින් මාව උපදින වෙලාවෙ අම්මාට ගොඩාක් අමාරුවෙලා තියෙනවා. ජීවිතයත් මරණයත් අතර සටනකින් තමයි දෙන්නම බේරිලා තියෙන්නෙ. කොහොම වුණත් ඒ සටන ඇතුළෙ ජයග්‍රහණය කරලා මාව මේ ලෝකෙට උපත ලබලා තියෙනවා. 

• ඔබේ උපත සිදුවෙන්නෙ මුළු රටටම විශේෂ වූ දවසක?

ඔව්. මම ඉපදිලා තියෙන්නෙ අලුත් අවුරුද්ද දවසෙ. ඒ දවස ගැන හැමෝගෙම වගේ මතකයෙ තියෙනවා. විශේෂයෙන් ගෙදර අයට ඥාතීන්ට මතකයි. ඒ ඇරෙන්න ඉතින් ලොකු විශේෂයක් නම් නැහැ.

• අම්මා කියලා නැද්ද අවුරුදු කුමාරයා ගෙදරට ගෙනාවා කියලා?

එහෙම කියලා නම් නැහැ මේ වනතුරු. ලංකාදීපෙන් තමයි ඒ වගේ දෙයක් මතක් කළේ. ඉතින් ඇත්තටම අම්මට තාත්තට ගොඩක්ම සතුටුයි මගේ උපත ගැන.

• ඒ දවසට පුංචි කාලෙදි සැමරුම් එහෙම පවත්වනවද?

අපේ ගෙදර කවදාවත්ම උපන් දින සැමරුම් පවත්වලා නැහැ. උපන් දිනය සාමාන්‍ය දවසක් විතරයි. සමහරුන්ගෙ උපන්දින සැමරුම් දකිද්දි ඇත්තටම මට හිනායනවා. ඒක ඉතින් තමන්ගෙ කැමැත්ත. නමුත් අපේ ගෙදර ඒ ගැන ලොකු සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. කොහොමත් මගේ උපන්දිනය අප්‍රේල් 13 නිසා අලුත් අවුරුද්දත් එක්කමනෙ යෙදිලා තියෙන්නෙ. සමහරවිට ඒ නිසාම වෙන්න ඇති උපන් දිනය ගැන සැලකිල්ලක් දැනෙන්නෙත් නැත්තෙ. කොහොමත් ඒ දවසෙ මව්පියො, ඥාතීන්, හිත මිත්‍රාදීන් මුණ ගැහෙනවා. අවුරුදු සැමරීම කොහොමත් සිද්ධ වෙනවනෙ ඒ දවසට, අවුරුදුවල පරණ අවුරුද්දක් ලබනවනෙ. ඉතින් එතකොට 14 තමයි අවුරුදු එන්නෙ. ඒ දවසට කොහෙවත් යන්න බැහැ. චාරිත්‍ර විධි තියෙනවනෙ. ඒවා අපි ලොකුවට කරන අය නෙමෙයි. නමුත් ඒ දේවල් සාමාන්‍ය විදියට සිද්ධ වෙනවා. ඒ අතරෙ ඉතින් මතකයට එනවා අද මගේ උපන්දිනය නේද කියලා. ඒ ඇරෙන්න උපන්දිනයක් කියලා විශේෂයක් නැහැ. මට ඒක ජීවිතේ එක දවසක් විතරයි. ඒ දවසෙත් උදේට ඉර පායනවා. හවසට ඉර බහිනවා. නැවතත් පහුවදා තවත් දවසක් උදා වෙනවා. 

• ඔබට එය විශේෂ දවසක් නොවුණත් ඒ දවසට සුබ පැතුම් නම් අඩුවක් නැතිව ඇති?

ඔව්. අනිවාර්යයෙන්ම ඒ දවසට සුබ පැතුම්වලින් නම් අඩුවක් නැහැ. විශාල වශයෙන් සුබ පැතුම් ලැබෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක FB හරහා ඉතා ඉක්මනින් උපන්දිනය ගැන දකින්න ලැබෙනවනෙ. ඉතින් ඒ දවසට FB හරහා විශාල වශයෙන් සුබ පැතුම් එකතු වෙනවා. ඒ වගේම ජංගම දුරකථනයට කතා කරලා සුබ පතනවා, කෙටි පණිවිඩ එවනවා. ප්‍රතිචාර ගොඩයි. ඉතින් ඒ තුළින් දැනෙනවා කොයි තරම් ආදරේ කරන පිරිසක් ඉන්නවද කියන දේ ගැන. ඒ ආදරය ලැබෙද්දි සුබ පැතුම් එකතුවෙද්දි මට පුළුවන් විදියට මම නැවතත් පෙරළා ඒ හැමදෙනාටම මගේ ස්තූතිය පුද කරනවා. ඒ ප්‍රතිචාරවලට හදවතින්ම සතුටුයි. 

• මේ ගෙවුණු ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?

දැන් මේ සසර කෙටි කරගන්න මට ඕනැ. මොකද මේ වගේ රටවල්වල ඉපදිලා මේ දුක තවත් විඳින්න බැහැ. මම හිතන්නෙ මට හැම තිස්සෙම දැනෙන දේ තමයි බෞද්ධ දර්ශනයට අනුව අපිට ඊළඟ ආත්ම භවය කියලා දෙයක් තියෙනවනෙ. ඉතින් පෙර ආත්මයක කර්මයක් කරලා තියෙනවා මේ විදියට නැවත නැවත ඉපදෙන්න. ඒ නිසා මේ සසර කෙටි කරගන්න ඕනැ. සසර දිගු කර ගැනීම එතරම් හොඳ කාරණයක් නෙවෙයි. 
කාටවත් කරදරයක් හිරිහැරයක් නැතිව අනුන්ට වළ කපන්නෙ නැතිව ගිනි නොදී ජීවිතේ හරියට නිවැරැදි මාර්ගවල සකස් කර ගන්නවා තරම් පුණ්‍ය කටයුත්තක් තවත් නැහැ. ඉතින් එවැනි ජීවන දර්ශනයකට යම් පදනමක් සාදා ගැනීම තමයි කළ යුතු වෙන්නෙ කියන දේ දැන් හිතට දැනෙනවා.

ධනු විජේරත්න

20210417Janaka-3 20210417Janaka-2 20210417Janaka-1