හැම තිස්සෙම හිනාවෙලා ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විශාරද නිපුනි නයනතාරා තෙන්නකෝන් හඬ මෙන්ම රුවද ලස්සන සොඳුරු යුවතියක්. පුංචි දවස්වල සිටම ගී ගයන්නට පෙළැඹුණු ඇය, වරෙක ‘ඉර අවර’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ද පණ දුන්නා. 2012 වසරේදී දැයට කිරුළ ගී තරුව ලෙස තේරුණු ඇය මේ වනවිට ගීත හතලිහකට වඩා ගායනා කර තිබෙනවා. සිය මියුරු හඬින් ඔබේ හදවතට වඩාත් සමීප වූ ඇගේ ලස්සන ගැන කතා කරන්න මෙවර ලස්සන රහස් පිටුව වෙන් කළා

• හඬ මෙන්ම රුවද ඔබේ ගමනට ආශිර්වාදයක් වුණා ද?

මා දිගු ගමනක් පැමිණ සිටින්නේ මා නියැලෙන ක්​ෙෂ්ත්‍රයට දක්වන ආදරය, දක්ෂතාවය, නිපුනත්වය, හැදැරීම කියන හැම දෙයකම එකතුවකින්ම. උපතින් ලැබුණ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමෙන් නියැලෙන ක්​ෙෂ්ත්‍රයට පොඩි වටිනාකමක් ලැබී තිබෙනවා.

• කාන්තාවකට සුන්දරත්වය වැදගත් කියා ඔබ විශ්වාස කරනවා ද?

ඔව්. කාන්තාව කියූ සැනින්ම මතකයට එන්නේ සුන්දරත්වය කියන දේ. ඒ නිසාම කාන්තාවකට සුන්දරත්වය වැදගත් කියා මම විශ්වාස කරනවා. විශාල මුදලක් වියදම් කරලා සුන්දරත්වය සොයා යනවාට වඩා, පිළිවෙලට, පිරිසිදුව, ප්‍රියමනාපව, සිටිම මෙන්ම හැසිරීම, අනෙකාට ගරු කිරීම, හිනාවෙලා ඉන්න එක කියන මේ සෑම කරුණකින්ම කාන්තාවකට ලොකු වටිනාකමක් ලැබෙනවා. 

• සුන්දරත්වය කියන්නේ ආඩම්බර විය යුතු දෙයක් ද?

කොහෙත්ම නෑ. අපිත් සමහර වෙලාවට සමාජයේ දකිනවා ඇතැම් කාන්තාවන් තමන්ගේ සමාජයේ මහා විශාල අන්‍යතාවක් හද‌ා ගන්න, තව කෙනෙක් පාගන්න තමන්ගේ රූපය යොද‌ා ගන්නහැටි. රූපය කියන්නේ හරිම තාවකාලික. මොහොතක් පාසා වෙනස් වෙන දෙයක් විදිහට නොදැන වෙන්න ඇති ඒ දේවල් එහෙම කරන්නේ. ඒක හරිම මෝඩ වැඩක්.

• රූපයකින් ලෝකය වෙනස් කරන්න පුළුවන් ද?

ලෝකය වෙනස් කරන්න දැනෙන දේවල් කරන බොහෝ දෙනෙක් ඒ දේ කළේ හමේ පාටින්වත්, ඇගේ හැඩයෙන්වත් නොවේ. අධිෂ්ඨානය, උත්සාහය, නොපසුබට විර්යය වගේම උගත්කම, බුද්ධිමත්කම නිසා.

• කෙනෙකුට සුන්දර රූපයක් ලැබෙන්නේ

මම හිතන්නේ නම් සුන්දර රූපයක් කෙනෙකුට ලැබෙන්නේ අප පෙර ආත්මවල කළ කුසල් අනුව. ඒ වගේමයි අපි මේ ආත්මයේ දී කරන හොඳ දේවලුත්, අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන විදිහත් අනුව සුන්දරත්වය ආරක්ෂා වෙනවා.

• ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් කියලා ද ඔබ විශ්වාස කරන්නේ

ඔව්. අපි දකින විදිහයි, බලන විදිහයි අනුව කෙනෙක් සුන්දරව දකින්නත් පුළුවන්. අසුන්දරව දකින්නත් පුළුවන්. ඒ හැරෙන්න මම නම් හිතන්නේ ලෝකයේ ජීවත්වෙන හැමෝම ලස්සනයි. කැතයි කියලා කවුරුත් නෑ.

• වර්තමානයේ බොහෝ දෙනෙකු සුන්දරත්වය කියා සිතා සිටින්නේ

හම සුදුනම්, ඇඟ කෙට්ටුනම් ලස්සනයි කියලා හිතන මානසිකත්වයක් ගොඩ නැගිලා ති​ෙයන්නේ බටහිර අලේපන වර්ග අලෙවිය සඳහා යොද‌ා ගන්න වෙළෙඳ දැන්වීම් හරහා ඇත්තටම ඒ වගේ දේවල් නිසා බොහෝ දැ ඇහිරි යන අවස්ථා අපි දකිනවා. විශේෂයෙන්ම පාසලක දී පවා යම් විෂයකට නිවැරදිවම දක්ෂ දරුවෙකු සොයා ගන්න බෑ. සංගීතයට දක්ෂ වුණත්, නර්තනයට දක්ෂ වුණත්. ඔවුන් රූපයෙන් අග තැම්පත් නැත්නම්, සමහර වෙලාවට ඔවුන්ට දක්ෂතාවයන්ගෙන් එළියට එන්න බැරි වෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේමයි එතරම් දක්ෂතාවයක් නොදක්වන අය රූපය නිසාම යම් යම් ක්​ෙෂ්ත්‍රවලට පිවිස ඒ ​ක්​ෙෂ්​​ත්‍රයන්හි වටිනාකම් හීනකර දමන මට්ටමට අද රූපය පත්වෙලා. 

• දියණියකගේ සුන්දරත්වය මවක් ප්‍රාර්ථනා කරන්නේ ඇය කුසේ සිටිනා කාලයේ සිටම අම්මා ඔබටත් ඒ සොඳුරු අතීතය ගැන කියා තිබෙනවා ද?

ඔව්, ඔව්, මගේ අම්මා නර්තන ගුරුවරියක්. ඇය මගේ සුන්දරත්වය ගැන පුංචි කාලේ සිටම ගොඩක් වෙහෙසුන කෙනෙක්. මාව ලැබෙන්න ඉන්නකොට ඇ​ඟේ ලේ පිරිසිදු වෙන්න කියලා කරවිල, එහෙම නිතර කාලා තියෙනවා. ඒ වගේම ලස්සන කොණ්ඩයක් ලැබෙන්න කියලා කොළ වර්ග, පළතුරු, එළවළු හොඳට කාලා. තැඹිලි කුරුම්බත් නිතර බීලා. ඒ වගේම හිත සතුටින් නිතරම හිනාවෙලා ඉන්න උත්සහා කරලා. ඒ හැම දේකම එකතුවකින් තමයි මං ලස්සන වෙලා ඉපදිලා තියෙන්නේ කියලා මට හිතෙනවා.

 • පුංචි කාලේ ඉදලාම ‘‘ලස්සනයි’’ කියන වචනය නිතර අහනවා ද?

පුංචි කාලේ ඉදලා අද දක්වාම මා දකින හැමෝගේම මුවෙන් ‘‘ලස්සන කෙනෙක්’’ කියන වචනය පිටවෙනවා. 

• කාන්තාව හැමද‌ාම සුන්දරව ඉන්න ඕනේ ද?

ඔව්. ඇය දියණියක්. යුවතියක්, බිරිඳක්, මවක්, මිත්තනියක් ලෙසට විවිධ චරිතවලට පණපෙව්වත් හැමද‌ාම සතුටින් ලස්සනට ඉන්න ඕනේ කියලා මම හිතනවා. මම අද පුංචි පුතෙකුගේ මවක්. නමුත් මම හැම තිස්සේම හිතනවා මම ලස්සනට, පිළිවෙලට, පිරිසිදුව ඉන්න එකට මගේ ආදරණිය ස්වාමියා වගේම, චූටි පුතු ගොඩක් සතුටු වෙනවා කියලා. ඇත්තටම කාන්තාවක් තමන්ගේ සුන්දරත්වය ගැන වඩාත්ම සැළකිලිමත් වෙන්න ඕනේ විවාහයෙන් පස්සේ සහ දරුවන් ලැබීමෙන් පස්සේ කියලා මම විශ්වාස කරනවා.

• ලස්සන ඔබ ඔබේ රූපය තවත් ලස්සන කර ගන්න මොනවා ද කරන්නේ?

ස්වභාවික දේවල් වලින් රූපය ආරක්ෂා කර ගන්න තමයි මම නිතරම උත්සහා කරන්නේ. ඇග ලස්සනට තියා ගන්න ඕනේ කියලා කරන පළමුවන දේ තමයි හිතලාම වතුර ගොඩක් බොන එක. ඊට අමතරව එළවළු, පළතුරුත් ගොඩක් කෑමට ගන්නවා. විවේකි දවසට අමුකහයි කොහොඹ කොළයි කොටලා මූණේ ගානවා. යෝගට්, කඩල පිටි මිශ්‍ර කරලා පැක් එකක් විදිහට ආලේප කරනවා. ඊට අමතරව ඇඟ ලස්සනට තියා ගන්න යූ ටියුබ් එකෙන් බලන් ඉඩ ලැබෙන වෙලාවට පුංචි පුංචි ව්‍යායාම ටිකක් කරනවා.

• කට හඬ පරිස්සන් කර ගන්න මොනවාද කරන්නේ

ඇත්තටම මගේ අනන්‍යතාව ගොඩ නැගී තියෙන්නේ කටහඬ නිසා මම හඬට ගොඩක් ආදරෙයි. කොච්චර ආදරේ ද කියනවානම් හඬට බලපෑමක් වෙයි කියලා හයියෙන් කතා කරන්නේවත් නෑ. මොනතරම් ආස වුණත් අයිස් වතුර ටිකක් බොන්නෑ. අයිස් ක්‍රීම් එකක්වත් කන් නෑ. 

• හදවත ලස්සනට තියා ගන්න මොනවා ද කරන්නේ?

මම පෞද්ගලිකව හිතනවා කෙනෙක් හදවතින් ලස්සන නම්, සිතුවිලි වලින් සුන්දරනම් ඊර්ෂ්‍යාව, තරහාව, අත් හැරලානම් ඉන්නේ ඉබේම ලස්සන වෙනවා කියලා. අනිත් දේ තමයි අපිට අනිත් අයගේ සතුටක් දැකලා හඳවතින්ම සතුටු වෙන්න පුළුවන්නම් තව කෙනෙකුගේ දුකක දී හිත උණු වෙනවා නම් ඒකත් මානුෂික හදවතක ලක්ෂණයක්. හදවතේ කැඩපත තමයි මුහුණ කියන්නේ.

• විලාසිතා කිරීමේ දී සැලකිලිමත් ද?

ඔව්. මම හරිම ආසයි විලාසිතා කරන්න. විලාසිතා කිරීමේදී මම නියැලෙන වෘත්තිය, වගේම ඇඟේ හැඩය, වයස ගැනත් සැළකිලිමත් වෙනවා. ඊට අමතරව මවක්. බිරිඳක් කියන කාරණයත් අමතක කරන්නේ නෑ. 

• ඇඟට ලස්සන පාට

ලාපාට වලට ගොඩක් ආසයි. ඒත් ඕනෑම පාටක් ඇඟට ලස්සනයි.

• ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව

මම ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව තමයි මගේ අම්ම. මට ජීවිතය දුන්න, මගේ ජීවිතය ආලෝකමත් කරන මගේ අම්මාට මම ගොඩක් ආදරෙයි.

අසුන්තා එදිරිසූරිය
ඡායාරූප: ලසාන් සංජීව

20210417Nipuni-1 20210417Nipuni-2