ජාත්‍යන්තර නර්තන දිනයට පහත රට නර්තන තරගයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාම්ප්‍රදායික නර්තන කලාව රැකගැනීමට උත්සාහ දරන තරුණයෙක්ගේ අලුත්ම වැඩකටයුත්තක් පිළිබඳ කතා කිරීමට සඳැල්ලෙන් ඉඩක් වෙන්කරන්න හිතුවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පහතරට නර්තන අධ්‍යයනාංශයේ බිහිවූ ප්‍රථම ස්වර්ණ මුද්‍රිකාලාභියා වූත් 2015 වසරේ අධ්‍යයන වර්ෂයේ නර්තන හා කලා පීඨයේ ඉහළම ශ්‍රේණිගත අගය සහිත විද්‍යාර්ථියා වූ ඔහු නමින් ෂලිත එරන්ද පීරිස්

●  මොකද්ද මේ අලුත් වැඩකටයුත්ත

ලංකාවෙ නර්තන ඉතිහාසයේ පළමු වතාවට තමයි මෙවැනි වැඩකටයුත්තක් සිදු කෙරෙන්නෙ. ඒ තමයි අග්නි සාම්ප්‍රදායික පහතරට නර්තනය විතරක් මූලික කරගත්ත ලංකාවේ තියෙන එකම පරිපූර්ණ නර්තන තරගාවලිය. එහෙම කියන්නෙ හේතු කිහිපයක් නිසා. මොකක් හෝ එක නැටුමක් පුරුදුවෙලා ඇවිල්ලා නටලා තෑග්ගක් අරන් යන නර්තන තරගාවලියක් නෙමෙයි මේ. පළමු වෙනි වටය අවසානයේදී කුසපත් ඇදීමකින් තෝරාගත්ත නර්තන අංගය තරගකරුවන් ඉදිරිපත් කරන්න ඕනෑ. 
ඒ වගේම ඒ සම්බන්ධව ඔවුන් ශාස්ත්‍රීය ලිපියක් ලියන්න ඕනෑ. ඊටත් අමතරව ඔවුන් ඉදිරිපත් කරන නර්තනාංගය ගැන ඉදිරිපත් කිරීමක් කරන්නත් ඕනෑ. මේ සියල්ලෙන්ම දක්ෂතා දක්වන සැබෑ ශිල්පියා හෝ ශිල්පිනිය තමයි වසරේ දක්ෂතම සාම්ප්‍රදායික පහතරට නර්තන ශිල්පියා, ශිල්පිනිය කියන අග්නි කුසලානය දිනාගන්නෙ.

● ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවෙ

වර්තමානයේ තරුණ නර්තන ශිල්පීන්ට ශිල්පිනියන්ට තමන් උගත් සාම්ප්‍රදායික නර්තනය පිළිබඳ තක්සේරුවක් ලබාගන්න. තමන්ගේ දක්ෂතා ගැන සම්පූර්ණ ඇගයීමක් ලබාදෙන්න පුළුවන් කිසිදු නර්තන තරගාවලියක් නැහැ. සමහර වෙලාවට සංවිධානය කරන නර්තන තරගවලට උසස් අධ්‍යාපනය නොලබන අයට ඇතුළත් වෙන්න ඉඩකඩ නැහැ. තරගයකට සහභාගි වුණත් නිවැරදි විනිශ්චයක් ලැබෙන්නෙ නැහැ. තමන්ගෙ දක්ෂතා ඔපමට්ටම් කරගන්න අතහිත දෙන්න කෙනෙක් නැහැ. මේ සියලු බාධක බිඳහෙළන ආලෝකය තමයි අග්නි.

● මේ තරගයට සාම්ප්‍රදායික පහතරට නර්තනයම තෝරගන්න හේතු වුණේ?

සාම්ප්‍රදායික පහතරට නර්තනයම තෝරගන්න හේතුවුණේ වර්තමාන නර්තන කලා ක්ෂේත්‍රයම තමයි කොහෙන් හරි අහුලගත්ත පහතරට අඩියක් නටලා පන්දමක් කරකවලා, ඔළුව වනලා, උකුළ පද්දලා, ගින්දර ටිකක් කටේ ඔබා ගත්තම එයාලට වඩා ශිල්පියෝ, ශිල්පිනියො නැහැ. මේ දේ තුළින් ඊළඟ පරම්පරාවට ලැබෙන්නෙ වැරදි ආදර්ශයක්. ඔවුන් පහතරට නැටුම් කියලා දකින්නෙ ඒ ජනප්‍රිය බහුභූත. පහතරට නර්තනය තුළ මහා විශාල දැනුම් සම්භාරයක්, ශාස්ත්‍රීය බවක් හා සුන්දරත්වයක් තියෙනවා.
හැම නර්තන සම්ප්‍රදායකටම මේ කාරණාව පොදු දෙයක්. අරයා වැරදි මෙයා වැරදි කිය කියා එකිනෙකා විවේචනය කරගෙන ගහ මරාගන්න වෙලාවෙ තමන්ට පුළුවන් හැටියට තමන් ඉගෙනගත්ත කලාව පෝෂණය කිරීම වැදගත්. ඒ වෙනුවෙන් තියපු පළමුවෙනි පියවර අග්නි. නටන්න දන්නවා වුණාට මේ නැටුම මොකද්ද? ඇයි මේ නැටුම නටන්නේ? විශේෂ ලක්ෂණ මොනවද? මෙවැනි නර්තනවලට අදාල සාහිත්‍යමය විමර්ශනයක්, ගවේෂණයක් නර්තන ශිල්පියාට ශිල්පිනියට නැහැ. ජනප්‍රිය බහුභූත නිර්මාණය වෙන්න ඒක තව ප්‍රධාන හේතුවක්. 
සමහර වෙලාවට නර්තනය පුහුණු කරපු කෙනත් ඒක කොහෙන් හරි හොරකම් කරපු එකක්. ඉතින් අපේ සාම්ප්‍රදායික නර්තන කලාව විනාශ වීම අරුමයක් නෙමෙයි. ඒ නිසා තමයි අග්නි අවසන් තරගයට ඉදිරිපත් වන සියලුම තරගකරුවන් තමන් ඉදිරිපත් කරන අංගය ගැන ශාස්ත්‍රීය ලිපියක් සහ ඉදිරිපත් කිරීමක් කරන්න ඕනෑ. ඒ තුළින් පෙර සඳහන් කළ අගතිගාමී සාධක යම්තාක් දුරකට හෝ නැති කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සහ එතැනින් ලබාගත්ත ආභාෂයෙන් ඒ බිහිවුණ අය තමන්ගේ කාර්යය නිවැරදිව සමාජගත කරාවි කියන සද්චේතනාවෙන් සාම්ප්‍රදායික නර්තනයම මේ සඳහා තෝරාගන්න ප්‍රධාන හේතුව වුණේ?

● මේ තරගය පැවැත්වෙන්නෙ කොහෙද? කවදාද?

අග්නි අවසාන තරග උත්කර්ශය අප්‍රේල් 29 වෙනි දිනට යෙදෙන 39 වන ජාත්‍යන්තර නර්තන දිනය දවසේ මරදාන ටවර් හෝල් රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. නියම පහතරට නැටුම් බලන්න කැමති අයට කලා ලෝලී සියලු දෙනාට ආරාධනා කරනවා. එදිනට සම්බන්ධ වෙන්න කියලා.

● මේ කර්තව්‍යයට අතහිත දුන් පිරිසක් ඇති?

මම මුලින්ම සාමාන්‍ය පෙළ දක්වාම නර්තනය ඉගෙනගත්තෙ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්. ෂලිත එරන්ද කියන කෙනාව නිර්මාණය වෙන්නෙ එතැනින්. එතැනින් පසුව මම උසස් පෙළ හදාරන්න කොළඹ ආනන්ද විද්‍යාලයේ කලා අංශයට ඇතුළත් වෙනවා. උසස් පෙළින් පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාසාංගික කලාවේදී විශේෂ උපාධිය ලබාගන්නවා වාර්තාවක් සහිතව.

ධනු විජේරත්න

20210417Dance-1