කරදිය වළල්ලෙන් පැන ආ බඹර වළල්ලේ ‘පොඩි එකා’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘බඹර වළල්ල’’ චිත්‍රපටය තිරගත වුණේ 2010 වසරේදියි. එදා මෙදා තුර ශ්‍රී ලාංකීය සිනමාවේ බිහි වූ චිත්‍රපට අතරින් තවත් විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණයක් වූ බඹර වළල්ල අධ්‍යක්‍ෂණය කළේ අතුල ලියනගේ සිනමාකරුවා විසිනි. ජාත්‍යන්තර මෙරට චිත්‍රපටයක් ලද ඉහළම සිනමා සම්මාන පවා එදා මෙම චිත්‍රපටයට හිමිවුණා. එහි සාඩම්බර හිමිකරුවා වන සම්මානනීය මේ සිනමාකරුවා අතුල ලියනගේ පසුගිය කාලයේ සිටියේ ලංකාවේ නම් නෙවෙයි. කාලයක් තිස්සේ ජාත්‍යන්තරව සිනමාවේ හැදැරීම් සම අභාෂයන් ලබමින් ඇමරිකාවේ දිවි ගෙවන අතරේ අතුල ලියනගේ යළිත් ලංකාවට පැමිණ සිටින මොහොතකි මේ. බඹර වළල්ලේ චරිතය සමග ඔහු මෙරට සිනමා ප්‍රේක්‍ෂකයන් අතරට සමීප වුයේ ‘‘ගෝන මඩිත්තේ පොඩි එකා’’ නමිනුයි. බඹර වළල්ලේ ඔහු රඟපෑ චරිතය වෙතින් විශිෂ්ට රංග කුසලතාවයක් පෙන්නුම් කළ බව කිව හැකියි. සිනමාකරුවකු රංග ශිල්පියකු සහ සමාජ විශ්ලේෂයකු වන දේශබන්ධු ගරු නාමයෙන් පවා පිදුම් ලැබු අතුල ලියනගේ නොහොත් ගෝනමඩිත්තේ පොඩි එකා ඇමරිකාවේ සිට යළි පැමිණ සිටින මොහොතක සඳැල්ල සමග කතා බහකට එක්වුණේ මේ විදියටයි. 

• අතුල එදා ඔබ මේ ගමන පටන් ගන්නේ වේදිකාවෙන් එතැනින් එහාට ආ ගමන ගැන කෙටි හැඳින්වීමකින් මේ පිළිසඳර අරඹමු. 

වේදිකාවෙන් පටන් ගන්න ගමනේදී තරුණ සේවා සභාවේ සහ මගේ ඇකඩමිය හරහා මේ ගමනේ බොහෝ අභාෂයක් ලබන්න පුළුවන් වුණා. කොහොම වුණත් රංගනයට අවතීර්ණ වුණේ ටෙලි නිර්මාණ ඔස්සේයි. යද්දෙහි ගෙදර නාට්‍යයෙන් ඒ ගමන පටන් ගන්නෙ. පසුව ධර්මසිරි බණ්ඩාරනායක සූරීන්ගේ මකරාක්‍ෂයා ඇතුළු වේදිකා නාට්‍ය කීපයක රඟපෑවා. මොන දේ කරත් මගේ හිත ඇතුළෙ තිබුණෙ ෆිල්ම් එකක් කිරීමේ අරමුණයි. පසු කාලෙක සපල කරගන්නෙ ඒ අරමුණයි. ටෙලි ක්ෂේත්‍රයේ මම රඟපෑ චරිත අතරින් මහතලා සටනේ කුඩා පොළ හාමුදුරුවන්ගෙ චරිතය මට සළකුණක් වුණා. 

• එදා චිත්‍රපට ක්ෂේත්‍රයට රඟපෑමෙන් දායක වුණේ නැද්ද?

සරත් ධර්මසිරිගේ ගිනි කිරිල්ලි චිත්‍රපටයේ රඟපෑවා. එහි රඟපෑම උදෙසා හොඳම නළුවා ලෙස නිර්දේශ වුණා. ප්‍රථම වරට චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට ලංකාවේ නළුවකු නිර්දේශ වූ ප්‍රථම අවස්ථාවක් එය බව මා පසුව දැන ගත්තා.

• එදා බඹර වළල්ල චිත්‍රපටය කළේ විශේෂ අරමුණක් ඇතිව ද? 

ඒ වන විට මම අධ්‍යයනය කරන්න පටන්ගෙන තිබුණේ ඇමරිකානු සිනමාවයි. මොකද ලෝක සිනමාවේ මුලාශ්‍ර එන්නෙ එතැනින්. අපි යමක් කිරීමේ දී නිවැරදි මුලාශ්‍ර භාවිතය හරි වැදගත්. මට බලපෑවේ ඩේවිඩ් ලීන්, රිචඩ් ඇටෙන්බරෝ, වැනි අධ්‍යක්‍ෂවරු සහ චාලි චැප්ලින් වගේ චරිතයි. එයාලා අපිව පුදුම කළේ එයාලගෙ පොළවේ මුලාශ්‍ර වලින්. ඒ නිසා තමයි මටත් අපේ පොළවේ මුලාශ්‍ර එක්ක බඹර වළල්ල කරන්න හිතුවේ. මාලබේ ගෝනමඩිත්තේ කතාවක් තමයි මම මේ විදියට බඹර වළල්ලෙන් ගොනාවේ. 

• මේ චිත්‍රපටයෙන් පසුව ඔබ ඇමරිකාවට ගියා. චිත්‍රපටය කළේ ඇමරිකාවට යාමේ අරමුණින් ද?

බඹර වළල්ල කළේ සරසවි සම්මාන උළෙලටවත් දැමීම අරමුණ ඇතිව නෙවෙයි. නිර්මාණකරුවකුගේ ස්වකීය ප්‍රථම නිර්මාණය යොමු කළ හැකි අන්තර්ජාතික උළෙලක් ලෙස හුස්ටන් ලෝක සම්මාන උළෙල. ඒක එක අතකට ඓතිහාසික සම්මාන උළෙලක්. ස්ටීවන් ස්පිල්බර්ග් රිඩ්ලි ස්කොට් යන මහා සිනමාකරුවන් පවා ලෝක සිනමාවට අවතීර්ණ වුණේ මෙම උළෙලින්. මට ඕනෑ වුණේ මගේ නිර්මාණය මොන වගේද කියලා හරියටම දැන ගන්නයි. ඒකයි එදා මේ උළෙලට එය යොමු කළේ. නමුත් වාසනාවකට හොඳම අධ්‍යක්ෂක සඳහා වූ සම්මානය සහ ජුරියේ විශේෂ සම්මානය හිමිවුණේ බඹර වළල්ලටය. පසුව දකුණු ආසියාවේ සාක් සිනමා උළලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා. ඒත් එක්කම මෙම චිත්‍රපටය එක්ක ඇමරිකාවේ පැවැත්වූ තවත් උළෙල ත්‍රිත්වයකට නියෝජනයට ආරාධනා ලැබ සිටියා. ව්‍යාපාරික අංශයේ විසා එකක් තමයි මට ලැබී තිබුණේ. ඉතින් කීප සැරයක්ම යාමේ අවකාශය ඇති නිසා එයින් මගේ සිනමා ගමනට ප්‍රයෝජනයක් ගත යුතුය කියලා විශ්වාස කළා. මට ඕනෑ වුණේ තුන්වැනි ලෝකයේ ඔබ්බට ගොස් පළමු ලෝකය අධ්‍යයනය කිරීමටයි. එහෙම හිතාගෙන 2011 දී ඇමරිකාවට ගියේ. පුරවැසිභාවය නැතත් ස්ථිර පදිංචිය සඳහා වූ වීසා ලැබුණා. 

• ඒ කියන්න ඔබගේ පවුලම දැන් එහේද? 

බිරියයි, දරුවෝ දෙන්නයි මමයි. පුතා පරිගනක ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේ අරමුණින් උසස් අධ්‍යාපනය හදාරනවා. දියණිය ක්ෂේත්‍ර කීපයකට දක්‍ෂයි. ඒ හැකියාව අනුව ඇය හදාරනවා. 
‘‘අතුල’’ එහේ මොනව ද කරන්නේ.
මුලින් මම වැඩ කළේ ගෝඩ්ෆාදර් ෆිල්ම් එකේ සහාය පසුතල නිර්මාණ ශිල්පියා වන ස්ටැන්ලි ස්මිත් ළඟ. මොන දේ කළත් විශේෂ අවධානය යොමු කළේ දරුවෝ දෙන්නගෙ අධ්‍යාපනය ගැනයි. ඒ අතරේ මගේ සිනමා ගමනෙහි කටයුතු අධ්‍යයනය කිරීම දිගටම සිදු කළා. යම්කිසි අංශයක වෘත්තිය වශයෙන් කාලයක් නිරතව සිටින අයට එම අංශයෙන් උපාධිය ලබා ගැනීම වෙනුවෙන් අධ්‍යාපනය හැදැරීමේ ක්‍රමවේදයක ‘ඔබාමා’ පාලනය යටතේ හඳුන්වා දී තිබුණා. ඒ ක්‍රම වේදයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමට මටත් ලැබුණ ලොකු අවස්ථාවක්. ශිෂ්‍ය ණය පවා අනුමත වෙලා තියෙන්නෙ. මගේ ඊළඟ ව්‍යාපෘතිය වෙන්නෙ ඊළඟ චිත්‍රපටයට පාදක වන නිබන්ධනයයි. ඒ වෙනුවෙන් මට ඒ රටේම ඉන්න ඕනැය කියලා දෙයක් නැහැ. මගේ ඊළඟ චිත්‍රපටය කරන්නෙත් මම උපන්න මේ පොළවෙදියි.

• කොහොමද ඇමරිකාවේ ගෙවන ජීවිතය? 

ඒක පළවැනි ලෝකයනෙ. අපට වඩා බොහෝම වෙනස් උපයන මුදලට සාපේක්‍ෂව වැඩි දෙයක් මිලදී ගත හැකියි. හැබැයි ඔය හම්බ කරන දෙයින් 65% ක් විතර ආණ්ඩුව කොහොමහරි ගන්නවාමයි. අපේ රට කියන්නේ සුබ සාධනය මත පදනම් වූ රටක්. අපි කෝවිඩ් වලින් ගොඩ යාමටත් ඇමරිකාව අසාර්ථක වීමටත් හේතුව අපි සතු සුබ සාධන ආර්ථිකය සහ භාවිතය නිසා. එහේ මාසයේ වැටුපකින් කාර් එකක් ගන්න පුළුවන්. දවසේ වැටුපකින් විස්කි බෝතලයක් ගන්න පුළුවන්. හැබැයි අපේ වගේ බෙදා හදා ගෙන ජීවත්වීමේ සුබ සාධන ආර්ථික ව්‍යුහයක් නැහැ. මාඕ සේතුං චීනය වෙනස් කළේ චීනයට ගැලපෙන විදියට. හෝචිමිං වියට්නාමයට කළේ වියට්නාම් විදියට. එත් අපට හැමදාම තියෙන ප්‍රශ්නය තමයි අපි වෙනස් වෙන්නෙ මොන විදියට ද කියන එක ගැන වැටහීමක් නැතිකම. අපි අපේ ක්‍රමයට නොවී වෙන ක්‍රමයකට අනුගත වෙන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. කොහොම වුණත් ඇමරිකාවෙදි ජීවිතය සැහැල්ලුයි. සංකීර්ණ නැහැ.

• ඇයි ඔබට ඇමරිකානු සිනමාට සම්බන්ධ වෙන්න බැරි වුණේ.

මට අවස්ථාවක් ලැබුණා. ඇමරිකාව මාව දන්නේ අධ්‍යක්‍ෂවරයකු ලෙසයි. එහි සිනමාවේ තියෙන්නේ සංසද විදියටයි. ඒවා හරි ප්‍රබලයි. ඒ සංසදයක සාමාජිකයකුවීමට අයදුම්පත් යොමු කරද්දී ඇයි ඔයා ස්වාධීනව අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු නොකරන්නේ. කියලා එයාලා මගෙන් ඇහුවා. එහි වෙනස තියෙන්නෙ ස්වාධීනව චිත්‍රපටයක් කිරීමේ දී  ලැබෙන මුදලට වඩා සංසදය හරහා සාමාජිකයකු වී කරද්දි ලැබෙන මුදල ටිකක් අඩුයි. හැබැයි මුදල අඩු වුණත් සාමාජිකත්වය ලැබීම බොහෝම ශක්තිමත් දෙයක්. ඊළඟ ෆිල්ම් එක ඇමරිකානු මාකට් එකට විකුණන්න මට ඒජන්ට් කෙනෙක් වගේම මැනේජර් කෙනෙකුත් ඉන්නවා. ලෝ ප්‍රකට විලි ස්මිත් නළුවාගේ මල්ලි විවාහ වී සිටින්නෙ මගේ මැනේජර්ගේ දියණිය සමඟයි. එයාලා දැන් බලා ඉන්නෙ මගේ ඊළඟ ෆිල්ම් එක හැදුවට පස්සේ ඇමරිකානු මාකට් එකට විකුණන්නයි. 

• අතුල නැවතත් ලංකාව ඇතුළෙ නිර්මාණවල රඟපාන්න අදහසක් නැද්ද? 

අනිවාර්යයෙන් ඒ ගැන උනන්දුවෙන් ඉන්නෙ. මට ගැලපෙන චරිතයක් ලැබුණොත් බාර ගන්නවා. දැන් මේ පිළිසඳර පළවූ පසු බොහෝ දෙනා මා මෙහි සිටින බව දැන ගනීවී. ඒක ලොකු දෙයක් මම රඟපෑම සම්බන්ධයෙන් හැදැරීමක් පවා කළා. 

• ඇමරිකාවේදී ඔබට මුණ ගැසුණු ඇමරිකාවට ගිහින් පදිංචිව සිටින කලාකරුවන් එහෙම මුණ ගැසුණේ නැද්ද?

සොමි රත්නායක, සුනේත්‍රා සරච්චන්ද්‍ර, ලින්ටන් ​සේමගේ, ඩොනල්ඩ් කරුණාරත්න එහෙම හමුවුණා. ඒ වගේම තවත් බොහෝ වැදගත් චරිත ඉන්නවා. එත් වැඩි දෙනෙක් ඒ අය ගැන දන්නෙ නැහැ. මයිකල් ජැක්සන්ගේ අන්තිම ෂෝ එකට ගිවිසුම් ගහපු ‘‘ෆොටේ කේම් ’’ ආයතනයේ සාමාන්‍යාධිකාරි වෙලා හිටියේ ශ්‍රී ලාංකිකයෙක්. එයා කාන්තාවක්. දැන් විශ්‍රාමිකයි. ඒ වගේ බොහෝ අය ඉන්නවා. 

• ඇත්තම කියන්න ඇතුල කැමති මෙහේ ඉන්න ද? එහේ ඉන්න ද?

මම දරු දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. එයාලා තවම එහෙ ඉගෙන ගන්නවනේ. 
ඉතින් දරු සෙනෙහස වෙන සියලු දේට වඩා ඉහළයි නේද?

• හැබැයි ඔබට දේශපාලනයට ඒමට ආරාධනා තියෙනවා කියලත් ආරංචියි.

ඇත්තෙන්ම ඔව්. මම දේශපාලනය ගැන අධ්‍යයනයකුත් පසුගිය කාලයේ දී කළා. අපි බලමු.

• ඇමරිකාවෙන් ඔබට ආචාර්ය පදවියකුත් ලැබුණා නේද?

විච්කොන්සින් සරසවියෙන් මට ගෞරව ආචාර්ය උපාධිය ලැබුණෙ. බඹර වළල්ල හරහා සමාජයට ඇතිකළ බලපෑම සහ සමාජ ප්‍රගතිය වෙනුවෙනුයි. 

සඳුන් ගමගේ

20210418Athula-1 20210418Athula-2