අවුරුද්දට ගෙදර එන අය තෑගි ගේන්නෙ මට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර ‘‘සුබ උපන්දිනක්’’ විශේෂාංගයෙන් සඳැල්ල හා එකතුවන්නේ පුංචි තිරයේ අහිංසකාවියක්. ප්‍රේක්‍ෂක ආදරය ආකර්ෂණය නොඅඩුව ලබාගනිමින් රංගන හැකියාවෙන් රටක් පින වූ ඒ ආදරණීය චරිතය නිලුක්ෂි ප්‍රනාන්දු. 

• අම්මා, තාත්තා කියලා තියෙන විදියට නිලුක්ෂිගෙ උපත ගැන මොනවද දන්නෙ?

මම ඉපදිලා තියෙන්නෙ අප්‍රේල් 19 කළුබෝවිල රෝහලේ, පාන්දර 3.30 තමයි ඉපදිලා තියෙන්නෙ. ඒ පවුලෙ වැඩිමල්ම දරුවා විදියට. ගෙදර ඉන්නෙ ගැහැණු ළමයිම 4 දෙනෙක්. මමයි නංගිලා තුන්දෙනයි. ඉතින් මම පළවෙනිම දරුවා නිසා අම්මා කොහොමත් හිතාගෙන ඉඳලා තියෙනවා ගැහැණු ළමයෙක් ලැබෙයි කියලා. ඉතින් බලාපොරොත්තු වුණාටත් වඩා ලස්සන ළමයෙක් ලැබුණා කියලා තමයි කියන්නෙ. 

• සාමාන්‍යයෙන් උපන්දිනයක් කියන දේ සැමරීමක් සිදු කෙරෙනවද?

අපිට නොතේරෙන කාලෙදි උපන් දිනය කියන දේ සමරන්න ගොඩක් කැමතියිනෙ. නමුත් තේරෙන කාලෙ ඉඳලා උපන්දිනය කියන දේ ලොකු විශේෂත්වයක් මම දක්වන්නෙ නැහැ. නමුත් මගේ උපන්දිනය අප්‍රේල් 19 නිසා ඒ අලුත් අවුරුදු කාලෙනෙ. ඉතින් අපි නැදෑ ගෙවල්වල ගිහින් ඒ චාරිත්‍ර කරලා අවසන් කරලා අප්‍රේල් 19 වෙනිදා ඒ නෑදෑයො හැමෝටම අපේ ගෙදර කෑමවේලක් පිළියෙල කරනවා. ඒ මගෙ උපන්දිනයත් නිසා. ඉතින් එදාට තෑගිත් මට ගොඩක් ලැබෙනවා. මොකද අවුරුද්දට අපේ ගෙදරට එන අය තෑගි ගේන්නෙ මට. ඒත් මම සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් විදිහට මේ දේවල් සමරන්න කැමති නැති කෙනෙක්. ඒ නිසා හැම උපන්දිනයකටම වගේ කිරිපිඬු පූජාවක් කරනවා. ඒ දේවල් තමයි විශේෂයෙන් කියලා සිදු කරන්නෙ, මොකද උපන්දිනයක් කියන්නෙ අපි තව අවුරුද්දක් වයසට යන එකනෙ. 

• පාසල් කාලෙ යාළුවොත් එක්ක සැමරීමක් සිදුකරලා නැද්ද?

පුංචි කාලෙදිනම් ඉතින් විශේෂ දෙයක් කරන්න ලැබිලා නැහැ. මොකද නිවාඩු කාලෙටනෙ මගෙ උපන්දිනය යෙදිලා තියෙන්නෙ. නමුත් ඉස්කෝලෙ පටන් ගන්න දවසට මොනවා හරි අරගෙන යනවා. ඒත් A/Lවලින් පස්සෙ වගේනම් යාළුවො ටික එකතු වෙලා කේක් කපලා එහෙම සැමරීමක් කළා. ඒ කාලෙ ඉතින් ගොඩක් සුන්දරයිනෙ. 

• අවුරුදු කාලෙ උපත සිදුවීම ගැන මොකද හිතෙන්නෙ?

අප්‍රේල් මාසෙ ආරම්භයත් එක්ක අපේ හිතට ඒ අවුරුදු කියන හැඟීම එනවනෙ. ඉතින් ඒ මාසෙ මුල ඉඳන්ම අපි අවුරුද්දට ලෑස්ති වෙනවා. මගේ ගෙදර කොහොමත් එහෙම වටපිටාවක් තියෙන්නෙ. මගෙ අම්මා හැම චාරිත්‍රයක්ම පොඩි කාලෙ ඉඳන්ම කළා. ගෙදර වැඩ කටයුතුත් අපිමයි කරන්නෙ. පිටි කොටන එකේ ඉඳලම අපිම පිටි කොටලා, ඒවා හලලා අම්මට දෙනවා කෑම හදන්න. ඉතින් ඒ දේවල් අද මම මගේ ගෙදරත් තනියම මගේ දුවට පේන්න කරනවා. අපි ඒ දේවල් දරුවන්ට කියලා දුන්නමනේ දරුවො ඒ හැමදේම ඉදිරියට අරගෙන යන්නෙ. ඉතින් අප්‍රේල් මාසෙ මුල සිටම සැණකෙළියක් වගේ තමයි අග දක්වාම. ඉතින් ඒ මාසෙ මගෙ උපන්දිනය යෙදිලා තිබීමත් විශේෂ සතුටක් එක පැත්තකින්. මොකද ඒ මාසෙම අවුරුදු අසිරිය එක්කනෙ අපි ජීවත් වෙන්නෙ. මගේ ගමේ අවුරුදු උත්සවය තියෙන්නෙත් ගොඩක් වෙලාවට අප්‍රේල් 19 මගේ උපන්දිනය දවසෙ. ඒ සංවිධායක මණ්ඩලය දන්නවා මගෙ උපන්දිනය කියලා. ඉතින් ඔවුන් කේක් එකකුත් ගෙනල්ලා ඒ දවසට සැමරීමක් සිදු කරනවා. ඉතින් මේ හැමදේමත් එක්ක අවුරුදු කාලෙ උපත ලැබීම ගැන මට හිතෙනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා.

• ඒ දවස ගතවෙන්නෙ කොහොමද?

උදෙන්ම අම්මා කිරිබතක් හදනවා. මම දැන් ගෙදරින් පිටවෙලා හිටියත් අම්මා ඒ දවසට අනිවාර්යයෙන් කිරිබතක් හදනවා. ඉතින් ඒවාත් අරගෙන තාත්තා එක්ක අපි හැමෝම පන්සලට යනවා. ඒ ගිහින් වතාවත් කරලා ඇවිල්ලා තමයි නෑදෑයන්ට දෙන කෑමවේල පිළියෙල කරන්නෙ. ඉතින් ආච්චිලා, සීයලා, නැන්දලා, මාමලා ඇතුළු පවුලේ හැමෝම අපේ ගෙදරට එකතු වෙනවා.

• ලැබෙන සුබපැතුම් ගැන කිව්වොත්?

සුබපැතුම්වල නම් අඩුවක් නැහැ. 19 දවස ලබනවාත් එක්කම සුබපැතුම් ගලාගෙන එනවා. ඒ හැමදේම හරිම ආදරණීයයි. පෙරට වඩා දැන් වැඩි ප්‍රතිචාරයක් ලැබෙනවා කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් එක්ක. ඉතින් ඒ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ගැන ලොකු සතුටක් දැනෙනවා. මිනිසුන්ගෙන් ඒ විදියට ප්‍රතිචාර ලබන්න මම ගොඩක් පිං කරලා තියෙනවා කියලා හිතෙනවා. ඒ වගේම ගෙදරට ලැබෙන විශේෂ තෑගිත් තියෙනවා. ඒ දවසට කේක්, සුබපැතුම් පත්, මල්පොකුරු වගේ දේවල් ලැබෙනවා. ඔවුන් හිතේ සතුටින් දෙන දේවල්නෙ ඒ. ඉතින් පොඩි දෙයක් වුණත් ඒ ලැබෙන දේ හරිම වටිනවා මට. අපි අද මේ තැන ඉන්නෙ ආදරණීය ප්‍රේක්‍ෂකයන් නිසා ඔවුන් කරන අගය කිරීම් ඇත්තටම ගොඩක් වටිනවා. ගොඩක් ආදරෙයි මෙතරම් වටිනාකමක් අපි වෙනුවෙන් ලබාදෙනවට. 

• දුවගෙන්, සැමියාගෙන් ලැබෙන සුබපැතුම් කොහොමද?

ඒ දවසට ඉතින් දෙන්නගෙන්ම සුබපැතුම් එකතුවෙනවා. කොහොමත් දුවට තේරෙන වයසෙ ඉඳලා අනිවාර්යයෙන්ම දුවගෙ අතින්ම සුබපැතුම් පතක් නිර්මාණය කරලා දෙනවා. මම දකිනවා මට හොරෙන් උපන්දිනයට පෙර සුබපැතුම්පත් නිර්මාණය කරනවා. මගෙ චූටිම නංගි සහ මගෙ දුව එකතුවෙලා. මගෙ සැමියා මේ වෙද්දී විදෙස්ගත වෙලා ඉන්නෙ. ඉතින් මම දකිනවා දුව තාත්තා එක්ක දුරකථනයෙන් හොරෙන් කතා කරනවා. මේ දේවල් හරි සුන්දරයි. මට මහා ලොකු දේවල් ලැබුණත් නැතත් එයාලගෙන් ලැබෙන ඒ පොඩි දේ වුණත් ගොඩක් වටිනවා.

• උපන්දිනයට ලැබුණු කේක්වලින් සිත්ගත් කේක් ආකෘතියක් නැද්ද?

මගේ 21 වෙනි උපන්දිනයට අම්මගෙ බාලම නංගි කේක් එකක් හඳලා දුන්නා. ඒ පියානෝවක්, ඒක හරිම ලස්සනට හදලා තිබුණා. ඉතින් මේ අවුරුදු ගණනටම සිත්ගත්ම සහ ආසම කරන කේක් එක තමයි ඒ. 

• මෙවර උපන්දිනය වෙනුවෙන් මොනවගේ සැලසුමක්ද තියෙන්නෙ?

සුපුරුදු විදියට පවුලෙ අය ගෙදරට එකතු වෙනවා. ඊට අමතරව ලොකු සැලසුමක් නැහැ. දැන් පුරුදුවෙලා ඉන්නවනෙ සර්ප්‍රයිස්වලට. ඉතින් ඒ දවසට මොනවා වෙයිද දන්නෙ නැහැ.

ධනු විජේරත්න

20210418Nilukshi-1 20210418Nilukshi-2