මෝල් ගහ මිරිස් ගල පාවිච්චි කරනවා නම් අඩු වයසින් ලෙඩ වෙන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වයස යනු ඉලක්කමක් විනා, ජීවන ගමනේ දස්කම් විස්කම් පෙන්වීමට බාධාවක් නොවන බව ඇගේ රංගන හැකියාවෙන් අපට මනාව පෙන්වයි. 
ජීවන ගමනේ 83 වන විය පසු කරමින් සිටින ඇගේ රංගන කෞෂල්‍ය අදටද කාටවත් දෙවැනි වන්නේ නැත. ඇය කලාවට සම්බන්ධ වන්නේ 1955 වසරේදීය. රූපවාහිනිය මෙරට නොතිබු කාලයේදී බොහෝ කලාකාමින් එක්රොක් වුයේ ගුවන් විදුලියේ අසන්නටය. එදවස ඇය වඩාත්ම ජනප්‍රිය වූයේ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍ය මුවන්පැලැස්ස හරහාය.  
හඬ පෞර්ෂයත්, රංගන හැකියාවත් නිසාම ඔබේ ආදරය නොඅඩුව ලබන ඇය ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනි නෙතලි නානායක්කාරය. ලස්සන කුස්සිය අද රස ගැන්වෙන්නේ ඇගේ සොඳුරු කතා බහෙනි. 

• බොහොම සැහැල්ලුවෙන් ඉන්නේ නේද? 

අපොයි ඔව්. මොන වයසේ සිටියත් සැහැල්ලුවෙන් ඉන්න එකයි, කරන හැම වැඩක්ම සතුටින් කරන එකයි මගේ පුරුද්ද. ඒකයි අදටත් මෙහෙම ඉන්නේ. 

• දැන් වැඩිය ඉහුම් පිහුම් කටයුතු කෙරෙන්නේ නැද්ද? 

නැහැ. මම දැන් ඉන්නේ මගේ පුතාගේ ගෙදර. පුතයි, ලේලියි ගොඩක් ආදරෙන් මාව බලා ගන්නවා. ගෙදර වැඩ කරන්න අය ඉන්න නිසා ලොකුවට කුස්සියට යන්නෑ. නමුත් මම කැමති විදිහට කෑමක් හදන් කන්න හිතුණොත් ඒ වෙලාවෙම කුස්සියට ගිහින් අවශ්‍ය දේවල් හදා ගන්නවා. 
කරවල බැදුමක්, පරිප්පු තෙම්පරාදුවක් ඒ විදිහට නිතරම වාගේ කටට රහට හදා ගන්නවා. නමුත් දරුවො නම් නිතරම කියන්නේ වැඩ මොකුත් කරන්නේ නැතුව අම්මා දැන් රැජිනක් වගේ ඉන්න කියලා. 

• ඔබ අතින් සුවිශේෂි විදිහටම කෑම හැදෙන්නේ කවදාට ද? 

ලංකාවේ ඉන්න දරුවෝ එයාලාගේ දරුවෝ එක්ක මාව බලන්න එන දවසට. සර්වන්ලාට පැත්තකට වෙලා ඉන්න කියලා මම කුස්සියට පැනලා දරුවෝ ආසම කෑම වර්ග ටික දඩිබිඩි ගාලා හදනවා. 
වත්තේ ගහෙන් ගස්ලබු ගෙඩියක් කඩලා අච්චාරුවක් හදලා. බටු  මෝජු පරිප්පු, මාළු, මස්, හදලා බත් උයලා ගන්න මට වැඩි වෙලාවක් යන්නෑ. 
මම හදන කෑම දරු මුනපුරෝ රස කර කර කද්දී ඊට වඩා සතුටක් නෑ ඉතිං. දරුවෝ මම හදන කොළ මැල්ලුමටත් හරිම ආසයි. අපි මැල්ලුම් ලියන්නේ බිම ඉදගෙන. ඇහේ දැම්මා වගේ කොළ ටික ලියලා ගන්නවා. හදන්න පුළුවන් ව්‍යාංජන අතර කරවල තෙල්දාන එකත් සුවිශේෂයි. 

• ඉස්සරත් හොඳට කැම හැදිමේ හැකියාවක් ඔබට තිබුණාද?

අපොයි ඔව්. මගේ අම්මාට වගේම මටත් ඕනෑම කෑමක් රහට හදන්න පුළුවන්. ඉස්සර පුතයි, දුවලා හතර දෙනයි පුංචි කාලේ හරිම ආසයි මම හදන කකුළුවෝ කරියට. රසට හදලා ගන්න කකුළුවෝ ටික පස් දෙනාටම පිඟන්වලට දාලා දුන්නාම එයාලා හරි විනෝදයෙන් කනවා. මම ආසාවෙන් බලා ඉන්නවා. ඇත්තටම  ඒ දේවල් මතක් වෙද්දීම හරිම සතුටුයි. සුන්දරම කාලය හරිම ඉක්මනට ගෙවී ගියා වගෙයි දැන්නම් මට හිතෙන්නේ. 

• කාර්ය බහුලත්වයත් සමග දරුවන්ගේ කටයුතු මුළුතැන්ගෙයි කටයුතු කර ගැනීම බාධාවක් වුණේ නැද්ද? 

නැහැ. මම පූර්ණ කාලීනව රඟපෑම කළ කෙනෙක් නොවෙයි. ස්ථිර රැකියාවක් කරන ගමන් තමයි ගුවන් විදුලියට සම්බන්ධ වුණේ. සිනමා, රූපවාහිනි, වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ. කොහොමත් රාජකාරි බහුල වුණත් දරුවන්ගේ වැඩකටයුතු ගෙදර දොර කටයුතු පැහැර හැරුණේ නෑ. 
ගෙදර වැඩවලට සර්වන්ට් කෙනෙක් හිටියත්, දරුවෝ බලා ගන්න එක අම්ම කළත්, මම ගෙදරට අපු ගමන් කරන්නේ සාරිය ගලවලා පැත්තකට දාලා රාත්‍රී කෑම ටික දරුවන්ට අවශ්‍ය විදිහට පිළියෙල කරන එක. ඉස්සර අපි කඩෙන් කෑවෙම නැති තරම්. වර්තමානයේ කාන්තාවෝ තමයි වෙලාව නෑ කිය කියා පුළුවන් තරම් කඩෙන්ම දරුවන්ට කවන්නේ. 
උදෑසනම අවදි වෙනවා නම් දවස සැළසුම් කරනවා නම් කඩිසරව කරන හැම වැඩක්ම කරනවා නම් රස්සාවත් එක්ක ගෙදර වැඩ කරන්න දරුවන්ගේ වැඩ කරන්න කාලයක් නෑ කියලා කියන්න ඕනේ නෑ. 
වර්තමානයේ තරුණ කාන්තාවන්ට බහුලවම තියෙන ප්‍රශ්නයක්නේ ‘වෙලාව නෑ කිය කියා’ නහයෙන් අඬන එක. 

• ආහාරයක් වඩාත් රසවෙන්න මොනව ද බලපාන්නේ? 

මොන කෑමක් හැදුවත් හොඳම කුළු බඩු යොදා ගන්නවා නම් ප්‍රමාණ අවශ්‍ය විදියට යොදා ගන්නවා නම් සහ ඒ ඒ කෑමට ගැලපෙන රස තියෙන විදිහට කෑම හදා ගන්නවා නම් හරියට වටිනවා. ඒත් එක්කම මම හිතනවා අත්ගුණේ කෑම රසවෙන්න බලපානවා කියලා. 

• මුළුතැන්ගෙයි අරපිරිමැස්ම කියන දේ කාන්තාවකට තිබිය යුතුයි කියා විශ්වාස කරනවා ද?

ඔව්. පවුලක ගෘහ මූලිකයා තාත්තා වුණාට, සම්පූර්ණම ගෘහයේ කළමනාකාරිත්වය  රැඳි තිබුණේ කාන්තාව අතේ. ඉස්සර මට මතකයි මගේ අම්මා උයන්න ගන්න හාල් ටිකෙන් මිටක් අරං මුට්ටියක අරං තියෙනවා. ඒකට කියන්නේ මිටි හාල් කියලා. උයන්න ගන්න මිරිස් කරල් වලින් මිරිස් කරල් දෙක තුනක් අරං තියෙනවා. ඔය වගේ පුංචි පුංචි දේවල් නිසා කවදාවත් කුස්සියේ අවශ්‍ය දේවල් අඩු වුණේ නෑ. 

• කෑම පිළියෙල කරන්න අවශ්‍ය වෙන තුනපහ  එහෙමත් නිවසේම පිළියෙල කර ගත්ත ද? 

අද වගේ මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, එදා විකුණන්න තිබුණේ නෑ. අවශ්‍ය හැම තුනපහ වර්ගයක්ම ප්‍රයෝජනයට ගත්තේ. ගලේ අඹරලා. සුමානයටම අවශ්‍ය කහ, තුනපහ හා මිරිස්, ගම්මිරිස්, අබ, හැම දේම ගලේ අඹරලා ලුණු කැටේ කැටේ තියලා ඒවා කෑමවලට දැම්මාත් හරිම රසයි. ඒ වගේමයි අද වගේ ලෙඩ රෝගත් මිනිස්සුන්ට තිබුණේ නැත්තේ ස්වභාවික දේවල්ම පාවිච්චි කරපු නිසා වෙන්න ඇති. 

• දියණියකට මුළුතැන්ගෙයි කටයුතු ඉගැන්වීම මවකගේ යුතුකමක් බව ඔබ විශ්වාස කරනව ද?

අම්මේ ඔව්. දුවක් දීග දෙනකොට ලෑලි කෑලි, ප්ලාස්ටික් කෑලි උස්සන් යනවාට වඩා වටිනවා දියණියගේ ඉවුම් පිහුම් හැකියාව. මැහුම් ගෙතුම් හැකියාව. මගේ අම්මා මට කියලා දුන්නා වගේ මම මගේ දුවලා හතර දෙනාටම කුස්සියේ වැඩ හොඳට ඉගැන්නුවා. අදටත් දරුවෝ හතර දෙනා මට කතා කර කර ස්තුති කරනවා. අම්මා වගේ මැල්ලුම හැදුවා, අම්මාගේ වගේ ව්‍යංජන හැදුවා කියලා. 
බතක් බෙරි නොවෙන්න වතුර තියන්න මැල්ලුමක්  හීනියට ලියන්න, වංගෙඩිය, මෝල්ගහ, මිරිස්ගල පාවිච්චි කරන්න දරුවන් ඉගෙන ගත්තේ මව කරන දේවල් බලන් ඉඳලා. 

• මුළුතැන්ගෙයි කටයුතුවලට ක්ෂණික උපකරණ භාවිතය ගැන මොකද හිතෙන්නේ. 

කාන්තාවන් අඩු වයසින් ලෙඩ වෙන්න ප්‍රධානම හේතුව තමයි විදුලි උපකරණ කුස්සියට පැමිණීම. ඉස්සර පොල් ටික ගෑවේ හිරමනේ. පොල් මිරිකුවේ අතේ. තුනපහ ටික ඇඹරුවේ ගලේ. හාල් ටික, කුරහන් ටික කෙටුවේ වංගෙඩියේ. වතුර ටික ගත්තේ ළිඳෙන් ඇදලා. මැල්ලුම් ටික එළවළු ටික කැපුවේ බිම ඉඳගෙන. දැන් ඉන්න ළමයි බිම ඉඳගෙන එළවළු, මාළුපිනි කපනවාවත් දැකලා තියෙනවද කියලා මම දන්නේ නෑ. ඒ තරමට ඒවා ඉතිහාස ගත වෙලා. 
පොල් සම්බෝලයක්, ලුණු මිරිසක් පවා අපි හදා ගත්තේ ගලක කොටලා. එහෙම ගත්තාම තියෙන රස. 
දැන් ළමයි පොල් සම්බෝල හදන්නේ කෑලි මිරිස් ටිකයි, ලුණු කුඩු ටිකයි දාලා. ලූනු ගෙඩියක් පොඩියට කපලා දාලා, දෙහි බිංදු දෙකක් දාලා අතින් අනලා. එහෙම කෑම ඇත්තටම රස නෑ. 

• මුළුතැන්ගෙයි කටයුතු කරනකොට රේඩියෝ අහන්න, ටී. වී. බලන්න පුරුදු වෙලා ඉන්නව ද? 

නැහැ. කරන වැඩ ටික ඉක්මනට කරන්න ඕනේ නිසා මම කුස්සියේ ඉන්නකොට සිංදු අහන, ප්‍රවෘත්ති බලන පුරුද්දක් නම් එදා තිබුණෙත් නෑ. අදත් නෑ. නමුත් ඉස්සර උයලා ඉවර වෙලා කුස්සිය ඔක්කොම අස් කරලා ඉඩක් ලැබුණොත් කරන්නේ මැහුම් ගෙතුම් වැඩ. මට හරිම ලස්සනට මහන්න පුළුවන්. ඒ වගේමයි ගෙතුම් වැඩ. දුවලා හතර දෙනා පුංචි කාලේ කවදාවත් එයාලට කඩෙන් ඇඳුම් අරං දීලා නැහැ. ඔක්කොම ඇඳුම් මැහුවේ  මම. දරුවෝ හතර දෙනාටත් ඒ දේවල් ඒ විදිහටම පුරුදු පුහුණු කළා. 

• කාන්තාවට පමණක් උරුම වෙච්ච දෙයක් ද? ඉවුම් පිහුම් කියන්නේ 

ඒක මං හිතන්නේ ගෙදරක මවකට, බිරිඳකට ලැබුණු උත්තරිතර වගකීමක්. ගෙදරක ගැහැණියක් උයලා පිහලා, ගෙවල් දොරවල් ලස්සනට තියන් ඉද්දි මොන තරම් ලස්සන ද කාන්තාවක් ඉද්දි තමයි නිවසේ කළ එළි වෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. පිරිමි විතරක් හිටියොත් නි​ෙවසක් වුණත් කළ එළිවෙන්නේ නෑනේ. හැම තිස්සේම හැම තැනම එළිය වැටුණේ කාන්තාව නිසා. 
ඒ නිසා උයන පිහන එක ගෙදරදොර වැඩ කරන එක කවදාවත් වදයක් විදිහට කාන්තාවන් නොසිතිය යුතුයි. අනේ මන්දා මටනම් කවදාවත් එහෙම හිතිලා නෑ. කාන්තාවකගේ ජිවිතයේ වටිනාකම රැඳෙන්නේ ඇය කරන වටිනා රැකියාවටත් වෘත්තියටත් වඩා ඇය පවුලට දරුවන්ට ස්වාමියාට දක්වන ආදරය සෙනෙහස මත. ඒ සෙනෙහස ගොඩක්ම රැඳෙන්නේ මුළුතැන් ගෙයින් කියලයි මට නම් හිතෙන්නේ. 

අසුන්තා එදිරිසූරිය 

20210418Nethali-1